Thursday, July 14, 2011

ඇදුරු අර්බුදය අපේ ඇසින්...

         
      විශ්ව විද්‍යාලය වනාහි දැනුම සපයන , බුද්ධිමතුන් බිහිකරන කේන්ද්‍රස්ථානයක් පමණක්ම නොව ආර්ථික සමාජීය වශයෙන් රටක අනාගත හැසිරීම තීරණය කරන රටක හදවත බඳු ස්ථානයක් ද වන්නේය. දේශයක ජීව රුධිරය කැටි වූ කේන්ද්‍රස්ථානයක් වන් විශ්වවිද්‍යාල,උගතුන්ගේ පාරාදීසයකි. අරුමයට කාරණාව නම්, එවෙනි පාරාදීසයක ජීවත් වූ මිනිසුන්ම මනසින් අංගවිකල වූවන් සේ හැසිරෙමින්, එම පාරාදීස වැනසීමට තැත් කිරීමයි. මෙසේ රටක හදවත වන් විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කිරීමට උත්සාහ ගන්නේ කාගේ උවමනාවක් සඳහාද? මෙම අර්බුධයට හේතුව කුමක්ද? මෙය ආණ්ඩුව කියන පරිදි බටහිර  කුමන්ත්‍රණයක්ද? අපි මෙය ගැඹුරින් විමසා බලමු.

උගත් අකුරක හරය වටහා නොගත් මූසිලයන්, තම මවගේ තනකිරට පෙරලා කෙළ ගසන්නාසේ, දේවතාවන් බඳු වූ ඇදුරන්, තම අයිතීන් හා තම සිසුන්ගේ දියුණුව සඳහා මෙන්ම රටක  දියුණුව සඳහා අවශ්‍ය අධ්‍යාපනික පසුබිම සකස්කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටියදී, ඔවුන් මෙතෙක් කල් කළ සේවය නින්දිත අයුරින් පහත් කොට අවමන් කිරීම බුද්ධිමතුන් වශයෙන් ඔබටත් මටත් බලා සිටිය හැකිද?

සරසවි ඇදුරන් පිළිබඳව සමාජයේ ආකල්පය කෙබඳුවේද? සරසවි ඇදුරන් යනු කව්රුන්ද? පළමුව එය විමසා බලමු.  අ.පො.ස. උසස් පෙළ සමත්වීමෙන්  විශ්ව විද්‍යාල සඳහා දොරගුලු විවරවන්නේ ඉතාමත් සුළු පිරිසකට පමණි. එම පිරිස අතරිනුත් ඉහළම දස්කම් පෙන්වන්නෝ, තම දැනුම අනාගත පරපුරට දායද කිරීමේ අභිලාෂයෙන් ආචාර්ය වෘත්තියට පිවිසෙති. තම දැනුම වඩාත් පුළුල් කරගැනීමට ඔවුහු විදේශගතවී ආචාර්ය උපාධිවල නියැලෙති .තම උපාධිය හමාරකර ඔවුන්ට එම රටවලම සැපසේ ජිවත්ව්මට හැකි වුවත් ඔවුන් පෙරළා මෙරටට පැමිණෙන්නේ මන්ද? ඒ ඔවුන් අප රටට දක්වන ආදරය නිසාවෙනි. අප රටේ දරුවන්ගේ ඇස් පාදන්නට ඔවුන්ට තිබෙන දේශහිතෛෂී කැක්කුම හේතුවෙනි. ඔවුන් එම දැනුමෙන් සන්නද්ධ වන කාලය තුළ ඔවුන් සමග එක්ව උපාධිය ලබාගත් පිරිස් බොහෝ ඉහළ වැටුප් ලබමින් උසස් සේ ජිවත් වෙති. නමුත් තම පිරිසිදු චේතනාව මුදුන්පත්කරවාගැනීමේ අරමුණින් කටයුතු කරන ඇදුරන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම අනුමත කළ හැකිද?

වත්මන් ශ්‍රී ලංකාව තුළ දැවෙන, නමුත් මහජනතාවගේ හදවතට එතරම් නොදැනෙන ගැටළුවක් සේ විශ්ව විද්‍යාල ඇදුරන් ගෙනයන වෘත්තීය ක්‍රියාමාර්ගය දැක්විය හැකිය. මෙහිදී වඩාත්ම අවධානය යොමුකළ යුතු වැදගත් කරුණක් ඇත. රජය විසින් පවසන්නේ මෙම අරගලය, හුදෙක් තම වැටුප  රු 200,000 තෙක් වැඩිකරගැනීමට දරන උත්සහයක් ලෙසය. ඔවුන් ඇදුරන්ව ඔබට පෙන්වන්නේ දේශපාලන පක්ෂයක ඕනෑකම් සඳහා පෙනීසිටින කඩා කප්පල්කාරීන් පිරිසක් ලෙසය. ශ්‍රීලංකාව, ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට යන ගමනට අකුල් හෙලන්නන් ලෙසය.මෙමගින් පාලකයන් උත්සහ දරන්නේ මෙම අරගලයේ සැබැ මුහුණුවර විකෘති කොට මහජනයාට පෙන්වා, ගැටළුව නොවිසඳා, දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය අඩාල කිරීමටය. මේ නිසා සමාජයේ බුද්ධිමතුන් අතර ඇති මෙම කතිකාව සමාජයේ සෑම කොටසකටම ගෙනයාම විශ්වවිද්‍යාල සිසුන්ගේ වගකීම වේ. මෙය හුදෙක් වැටුප් අර්බුධය විසඳීමට කරන අරගලයක් නොව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම උන්නතිය සඳහා සිදුකරන්නාක් බව අප පසක්කරගත යුතුය.

විශ්ව විද්‍යාල පරිපාලනය පිණිස පවතින්නේ දෙපාර්තමේන්තු, සංස්ථා හෝ මණ්ඩල පරිපාලනය පිණිස පවතින කාර්යය පටිපාටිය නොවේ. විශ්ව විද්‍යාල පනතෙහි නිතිප්‍රකාරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිහිටුවා තිබේ. විශ්ව විද්‍යාල සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සහ උසස් පෙළ සමත් සිසුන් විශ්ව විද්‍යාල වලට යොමුකිරීම හැරුණු විට අධ්‍යාපන වැඩසටහන් අනුමත කිරීම සහ ඒවායෙහි තත්වය සහතික කිරීම යන කාර්යයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැවැරී තිබේ. විශ්ව විද්‍යාලය පාලනය වන්නේ ඊට අදාළ දෙපාර්තමේන්තු සභා, පීඨ සභා, සෙනෙට් සභා සහ කවුන්සිල් සභා යන පරිපාලන ඒකක මගිනි. මේ වූ කලි විශ්ව විද්‍යාල පනත මගින් ස්ථාපිත කොට තිබෙන ප්‍රශස්ථ ක්‍රමවේදයකි. උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ සෘජු පාලනයෙන් විශ්ව විද්‍යාල මුදවා තබා ඒවායෙහි ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස මෙම නීති ප්‍රතිපාදන පනවා තිබේ.


            ඉහත සඳහන් කරන ලද සභා (කවුන්සිල් සභාව හැර) ආචාර්ය මණ්ඩලය විසින් ගෙවීම් රහිතව දරනු ලබන ස්වේච්ඡා තනතුරු රාශියක අනුහසින් ක්‍රියාත්මක වේ. මෙම ස්වේච්ඡා තනතුරු උප කුලපති, පීඨ අධ්‍යනාංශ ප්‍රධානි, ආයතන අධ්‍යක්ෂ, අධ්‍යාපන සංවර්ධන සහ සැලසුම් කමිටු සාමාජික, අධ්‍යාපන මණ්ඩල සභාපති, විනය පාලක, ශාලා පාලක, විභාග පරීක්ෂක, ශිෂ්‍ය සුබසාධක නිළධාරී, ශිෂ්‍ය උපදේශක වැනි මූලික තනතුරු හැරුණු විට වෙනත් කමිටු සිය ගණනකින් සමන්විත වේ. අචාර්යවරු මෙම තනතුරු දරන්නේ සිය වෘත්තීය කාර්යයන් ලෙස පැවරෙන පර්යේෂණ කිරීම, පළකිරීම සහ ඉගැන්වීම යන කාර්යයන්ට අමතර වශයෙනි. මෙම ස්වේච්ඡා තනතුරු දරා තිබීම වෙනුවෙන් මුල්‍යමය ගෙවීමක් කරන්නේ නැති තරම්ය. අධ්‍යනාංශ ප්‍රධානියාට සහ පීඨාධිපතිට දිනකට ගෙවන රුපියල් 33 දීමනාව මගින්ම බැව් පැහැදිලිවේ. උප කුලපති, නියෝජ්‍ය උප කුලපති සහ පීඨාධිපතිට පමණක් ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ. ස්වේච්ඡා තනතුරු වෙනුවෙන් අතිකාල දීමනා හෝ ප්‍රසාද දීමනා හෝ වෙනත් කිසිදු දීමනාවක් හෝ නොලැබේ. එසේ තිබිය දී ආචාර්යවරු දිවා රෑ නොබලා මෙම ස්වේච්ඡා තනතුරුවලට සම්බන්ධ කාර්යයන්හි නිරතව මහගු සේවයක් කරති. එබැවින් වෙනත් බොහෝ ආයතනවල මෙන් දීමනා වලින් අභිප්‍රේරණය කරනු ලබන තනතුරු විශ්ව විද්‍යාල තුළ නොමැත. ස්වයං අභිප්‍රේරණය මත ස්වේච්ඡා තනතුරුවල නිරතව සිටීම ආචාර්යවරුන්ගේ සිරිතකි. එය විශ්ව විද්‍යාලයේ සම්ප්‍රදායකි.



 අද ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයෙකුට සියලු දීමනා සමග ලැබෙන්නේ රු 57 ,755 ක පමණ වැටුපකි.ඔවුන්ගේ තත්වයට සමාන මට්ටමේ සිටින මහ බැංකු සේවකයෙකුගේ වැටුප 150,000 ක්‌ පමණ බව ඔබ දන්නවාද? මෙය කොතරම් සාධාරණ ඉල්ලිමක්දැයි උගත් ඔබට වැටහුනද, රටේ පාලනය අතට ගත් නුගත් පාලකයන්ට නොවැටහීම අප රටේ අවාසනාවකි. මෙය හුදෙක් වියදමක් නොව ආයෝජනයක් බව පාලකයන් වටහාගත යුතුය. ඔවුන්ට අවසාන වශයෙන් වැටුප් වර්ධකයක් ලබාදී ඇත්තේ 1996 දිය. දිනෙන් දින වැඩිවන ජිවන වියදම ඔවුන්ටද ගැටළුවක් නොවන්නේද? එසේනම් අද ජිවන වියදමට සරිලන වැටුපක් ඉල්ලීම අසාධාරණද? ඔවුන් මස් රාත්තලම ඉල්ලා නොසිටින අතර ඉල්ලා සිටින්නේ තම සේවයට සරිලන වැටුපකි. දකුණු ආසියාවේ අනෙක් රටවල් හා සසඳන කල අවම වැටුප් ලබන ඇදුරන් සිටින රට ශ්‍රීලංකාව වීම ආසියාවේ ආශ්චර්යද? අද අන් සියලුම රටවල් අභිමවා, දුෂණයෙන් පළමු ස්ථානයට පත්ව සිටින අප රටේ, අධ්‍යාපනයට වෙන්කරන්නේ දේශීය ආදායමෙන් 2.8 % ටත් වඩා අඩු මුදලක් බව ඔබ දන්නවද? එමගින් උසස් අධ්‍යාපනයට වෙන්වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙරටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය ඉන්ජිනේරුවරුන් ,වෛද්‍යවරුන්, කළමනාකරුවන්, ගණකාධිකාරවරුන්  බිහිකිරීමට මෙම මුදල් ප්‍රමාණවත්ද? යහපත් මනසකින් නොව කලකිරීමකින් ඉගෙන්වීම් කටයුතු කරන ඇදුරන් බිහිවීමේ අනිටු ප්‍රතිපල නුදුරු අනාගතයේදී දැකගැනීමට ඔබට සිදුවීමට පුළුවන. එතෙක් ඔබ බලාසිටිනවාද? සිසුන් හා ඇදුරන් කලකිරීමට පත්කර, රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන්ට ඇති උනන්දුව අඩුකර, බාහිර උපාධි වැඩපිළිවෙල නවත්වා, විදේශ විශ්වවිද්‍යාල මෙරට ස්ථාපිත කිරීම මගින් ඔබේ දරුවාගේ නිදහස් අධ්‍යාපන අයිතිය නවතා, අධ්‍යාපනය අදායම් මාර්ගයක් කරගැනීමට පාලකයන් පිඹුරුපත් සකස් කරමින් පවතින බව ඔබට වටහාගැන්ම අසීරුද?

              

අප සිරිලක දිළිඳු දේශයක් වුවද දැනුමින් සපිරි පිරිසක් බිහිකරන තෝතැන්නකි .මෙරට ආචර්යවරයෙකුට විදේශ රටවල මහත් ඉල්ලුමක් පවතී. පාලකයන් ඇදුරන්ගේ අගය වටහානොගෙන ක්‍රියාකිරීම හේතුවෙන් පසුගිය වසර 4 තුල මෙරටට අහිමිවූ බුද්ධිමතුන්ගේ ගණන 500 ට අධිකය.මෙය කෙතරම් කණගාටුවට කරුණක්ද? මෙලෙස ආචාර්යවරුන් විදේශගතවීම සඳහා පාලකයන් වගකිව යුතුය. මෙම බුද්ධිගලනය වලක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගෙන, පාලකයන් විදේශ විශ්වවිද්‍යාල පිහිටවන්නේ දුප්පත් ඔබගේ දරුවාගේ අනාගතය ආලෝකවත් කිරීමටද? පැය දෙකක දේශනයක් කිරිම සඳහා දින ගණන් වෙහෙසවී කරුණු රැස්කර, ඒ සඳහා නොයෙක් පර්යේෂණ කර ඔවුන් ගන්නා වෙහෙස සඳහා සාධාරණ වැටුපක් ගෙවීමට තරම් සංවේදී නොවන පාලකයන්, සුදානම් වන්නේ විශ්වවිද්‍යාල උපාධි කඩ බවට පත්කිරිමටය. විශ්වවිද්‍යාල යනු ඩොලර් නිපදවන කම්හල් නොව බුද්ධිමතුන් බිහිකරන තිබිරි ගෙවල්ය.

සෑම ගැටලුවකදිම මගහැරයන පාලකයන් ඇදුරන්ගේ ගැටලුව මගහැරීමට සමාජයේ විවිධ මත පැතිරුවද මෙහි සැබෑ තත්වය ඔබ වටහා ගතයුතුය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය බලපාන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් යයි ඔබ සිතනවානම් මදක් ගැඹුරින් සිතා බලන්න. මෙය ඉදිරියේදී ඔබේ දරුවාට බලපාන අයුරු විමසා බලමු. උසස්පෙළ ප්‍රශ්නපත්‍ර සකස්කිරීම සිදුවන්නේ මහාචාර්යවරුන් අතිනි. පිළිතුරුපත් ඇගයීම සිදුවන්නේ ඔවුන්ගේ අධීක්ෂණය යටතේ වන අතර ඔවුන්ගේ මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් නොදීම නිසා උසස්පෙළ විභාගය පැවැත්වීමේ විශාල අර්බුධයක් හටගැනීම වැළක්විය නොහැක.දෙමව්පියන් වශයෙන් ඔබගේ එකම සිහිනය තම දරුවා අධ්‍යාපනික, සමාජීය, වශයෙන් ඉහළට යනු දැකීමය. එය එසේ නම්, මෙම ගැටලුවට පිළියම් නොයෙදීම සාමාන්‍ය පෙළ සමත් දරුවකුගේ අනාගතය සාර්ථක කරගැනීමට ඇති එකම මාර්ගයේ දොරගුලු වැසීමක්  නොවේද? දරුවෙකු විදේශගතකර ඉගෙන්වීමට තම දහදිය කඳුළුවලින් උපයාගත් සොච්චම ප්‍රමාණවත්ද? විදේශීය ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භකර ශ්‍රී ලාංකික දරුවන්ගේ විශ්වවිද්‍යාල සිහිනය කප්පාදු කරමින්, විශ්වවිද්‍යාල සම්බන්ධ ගැටලුවලට පිළියම් නොයොදා, විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කිරීමට පාලකයන් ක්‍රියාකරමින් සිටී. දෙමාපියනි….. මදක් සිතන්න. මෙය නිදහස් අධ්‍යාපනය වැනසීමේ පළමු පියවර බව වටහාගන්න. විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ගැටලුවලට පිළියම් නොයොදා සිටින්නේ ඒ සඳහාය. විශ්වවිද්‍යාලවල පැවැත්ම සඳහා ඇදුරන්ට ඔවුන්ගේ උගත්කමට සරිලන වැටුපක් ගෙවීම පාලකයන්ගේ වගකීමයි. ඒ වගකීම ඔවුන්ට පසක් කරදීම රටේ ජනතාවගේ වගකීමයී. ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඒ වගකිම ඉටුකරන්න.

ඩොලර් මිටිවලට යටවී තම හෘද සාක්ෂිය පාවා දෙන කුහක පාලකයන්ගෙන්, තම වෘත්තීය ගෞරවය සඳහා සාධාරණ ඉල්ලීමක් කරන ඇදුරන්ට සිදුකරන අපවාද, නින්දා වලට පිළිතුරු දීමට අපි සැවොම එකාවන්ව එක්වෙමු. සැමදා අපව රවටමින් කල්මරමින් තම පරපුර පෝෂණය කරගන්නා පාලකයන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාමාර්ග වලකා, මේ රටේ බුද්ධිමතුන්ට නිසිලෙස ගරුකරන ප්‍රබුද්ධ සමාජයක් බිහිකිරීමට අපි ද මෙම බුද්ධිමතුන් සමග පෙළගැසෙමු.!
                                                                -          මූලාශ්‍ර ඇසුරෙනි


4 comments:

  1. ඇයි මේක තෙරෙන්න ඕනෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ? එකම උත්තරය තමයි හරි අධ්‍යාපනයක් නැතිකම...

    ReplyDelete
  2. මිනිස්සු මේක ගැන දැනුවත් නැතිකමත් එක හේතුවක්... ඒ වරඳ නිවැරදි කරන්න තමයි අපේ උත්සාහය.. - sp

    ReplyDelete
  3. තනුක වන්නිආරච්චිJuly 18, 2011 at 2:22 PM

    මේ අදහස සාමාන්‍ය ජනතාව අතරට යවන වැඩපිළිවෙලක් තිබිය යුතුයි.
    මාධ්‍ය වලින් දෙන පරස්පර විරෝධී අදහස් නිසා ජනතාව මේ ගැන උකටලී වෙලා ඉන්නෙ.

    දන්න අය කොහොමත් දන්නවා.
    නොදන්න අයව බුද්ධිමත්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි.මේ අදහස සාමාන්‍ය ජනතාව අතරට යවන වැඩපිළිවෙලක් තිබිය යුතුයි.
    මාධ්‍ය වලින් දෙන පරස්පර විරෝධී අදහස් නිසා ජනතාව මේ ගැන උකටලී වෙලා ඉන්නෙ.

    දන්න අය කොහොමත් දන්නවා.
    නොදන්න අයව බුද්ධිමත්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි.

    ReplyDelete
  4. උගත් යැයි කියා ගන්නා පිටරටවල ඉඳන් බ්ලොග් ලියනා සමහර අයත් මේ ටික දන්නේ නැති එක දුකට කරුණක්.

    ReplyDelete