Wednesday, July 27, 2011

උපකුලපතිවරුන්ගේ තීරණයක්‌ නිසා සරසවි කටයුතු යළි අවුල් වෙයි.......



දිවයින 27/07/2011
නිලන්ත මදුරාවල

අංශ ප්‍රධානී තනතුරුවලින් ඉවත් වූ ආචාර්යවරුන් යළි එම තනතුරුවලට පත් කිරීම සඳහා අලුතින් ලිපි නිකුත් කිරීම උපකුලපතිවරුන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

මෙම තත්ත්වය යටතේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම තවදුරටත් කල් යනු ඇතැයි ආචාර්යවරු පවසති.

එම ධුරවලින් ඉවත් වීම සඳහා ආචාර්යවරුන් කලින් ලබා දුන් ලිපි ඉවත් කර ගත යුතු බව උපකුලපතිවරුන් ප්‍රකාශ කරන නමුත් එම ලිපි ඉවත් කර ගැනීමට ආචාර්යවරුන් සූදානම් නැත. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අතර පසුගිය සතියේ පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් එකඟතාවක්‌ පැවැති අතර එහිදී අලුතින් ලිපි නිකුත් කිරීමට උපකුලපතිවරුන්ට උපදෙස්‌ දෙන බව ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි. එහෙත් අලුතින් ලිපි නිකුත් නොකිරීමට තීරණය කර ඇත්තේ උපකුලපතිවරුන්ගේ සම්මේලනයේදී බව උප කුලපතිවරයෙක්‌ "දිවයින"ට පැවැසීය.

මේ අතර ආචාර්යවරුන්ට අදාළව නිකුත් කර තිබූ අංක 956 දරණ චක්‍රලේඛය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊයේ (26 වැනිදා) ඉවත් කරගෙන ඇත. එම චක්‍රලේඛය ඉවත් කරන ලෙස ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා තිබිණි.



එමෙන්ම තවමත් නොවිසඳී පවතින ගැටලු කිහිපයක්‌ පිළිබඳව සම්මේලනයේ නියෝජිතයන් හා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අතර ඊයේ පෙරවරුවේ හදිසි සාකච්ඡාවක්‌ පැවැත්විණි. මෙම මාසයේ සිට රජයේ සේවකයන්ට ලැබෙන රුපියල් හයසියයක ජීවන වියදම් දීමනාව ආචාර්යවරුන්ට ද වෙනමම ලබා දීමට එම සාකච්ඡාවේදී එකඟතාව පළවී ඇත. කලින් මෙම දීමනාව ආචාර්යවරුන්ගේ වැඩි වන වැටුපට එකතු කර තිබිණි. එවිට ආධුනික කථිකාචාර්යවරුන්ට වැඩිවන්නේ රුපියල් දෙදහසකටත් අඩු මුදලක්‌ හෙයින් ඔවුන් වෙනුවෙන් ජීවන වියදම් දීමනාව අමතරව ලබා ගැනීමට සම්මේලනයේ නියෝජිතයෝ ලේකම්වරයා සමඟ සාකච්ඡා කළහ.

මීට අමතරව තාවකාලික කථිකාචාර්යවරුන් සඳහා සියයට දහයක වැටුප් වැඩිවීමක්‌ ලබාදෙන ලෙසද සම්මේලනයෙන් මෙහිදී ඉල්ලා ඇත.

No comments:

Post a Comment