Sunday, February 26, 2017

අධ්‍යාපනය පෞද්ගලීකරණය නවතනු! අධ්‍යාපනයේ සම අයිතිය සුරකින අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙනෙනු!


මානව පරිණාමයේ මුල් අවධියේ පටන් මිනිසා විසින් කලින් කලට මුහුණ දෙන අත්දැකීම් මත පරිසරයේ යම් යම් දේ පිළිබඳව, ඒවායේ හැසිරීම පිළිබඳව යම් යම් කරුණු කාරණා උකහාගැනුනි. ඔවුන් එම කරුණු තම වර්ගයා අතරේ හුවමාරු කරගත්තෝය. එය ඔවුනට සමුහයක් ලෙස යම් යම් අරමුණු මුදුන්පත් කරගැනීමේ දී පිටිවහලක් විය. ඔවුන් එතනින් නැවතුනේ නැත. තම ඉදිරි පරම්පරාවේ පැවැත්ම තකා තම දරුවන්ට තමන් ඉගෙනගත් දෑ ඉගැන්වුවෝය. එලෙස පෙර පරම්පරාවෙන් ලැබුණු දේ ත් තම පරම්පරාව අත්විඳි දේ ත් ඉදිරි පරම්පරාවට ලැබීමට සැලස්වූවෝය. 


උදාහරණයක් ගෙන මෙලෙස විස්තර කරමු. මුල් අවධියේ මිනිසා ආහාර සඳහා දඩයම් සොයා වනයේ ඇවිදින විට ඉදිරියෙන් යන පුද්ගලයා නවාගෙන යන අතු රිකිලි පසු පස එන පුද්ගලයාගේ ශරීරයේ ගැටී තුවාල සිදුවුනි. එදා ඔවුන් නැවුණු අතු නැවත දිගහැරිමේදී ශරීරයේ වැදුනොත් අනතුරක් වන බව ඉගෙනගත්තෝය. තම සගයන්ට, දරුවන්ට එයින් ආරක්ෂාවන ලෙස ඉගැන්වුවෝය. කාලයත් සමග නැවුණු අතු වල යම් ශක්තියක් ඇති බව ඔවුන් අවබෝධ කරගත්තේය. එම දැනුම යොදාගෙන ඔවුන් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන ආහාර සඳහා දඩයම් සොයාගැනීමේ පහසුව තකා දුන්න වැනි ආයුධ නිර්මාණය කලෝය. එයින් නැවතුනේද නැත. ද්‍රව්‍ය වල ගැබ්වෙන එම ශක්ති හඳුනාගෙන හඳුනාගෙන ඒවායින් විවිධ විවිධ දෑ තැනුවෝය. තම කටයුතු පහසු කරගන්නා තත්වයකට එම දැනුම තාක්ෂණයක් ලෙස දියුණු කලෝය. අද වන විට ඒකක වශයෙන් ගණනය කිරීම් කර ශක්තිය භාවිතා කරන තත්වයට දියුණුවුයේ මුල් අවධියේ මිනිසා තමන් ඉගෙනගත් දේ ඉදිරි පරම්පරාවට දායාද කල නිසාවෙනි.

තාක්ෂනය, උපකරණ පමණක්ම නොවේ කලාව, සංස්කෘතිය හා දේශපාලනය ද දැනුම, අධ්‍යාපනය මතින් ගොඩනැගුනු ඒවාය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලැබෙන අත්දැකීම් වෙනස් වනවා සේම උකහාගන්නා දැනුම ද වෙනස් වේ. විවිධ ප්‍රදේශ වල කලාව, සංස්කෘතිය හා දේශපාලනය එකිනෙකට වෙනස් වන්නේද මේ නිසාවෙන්ම ය.

අයිසැක් නිවුටන්ට පෙර කිසිවෙකුවත් ගණිතය, විද්‍යාව පිලිබඳ න්‍යායයන් ගොඩ නැගුවේ නැතිනම් ගුරුත්වාකර්ෂණය පිලිබඳ න්‍යායය නිවුටන්ට ඉදිරිපත් කිරීමට නොහැක. එහිදී නිවුටන් සැලකිය යුතු කාර්ය භාර්යයක් සිදුකල ඇතත් පෙර ගොඩ නැගුනු දැනුම නොතිබුනේනම් ඔහුට එය සිදුකල නොහැකි බව අප කාටත් ප්‍රත්‍යක්‍ෂ කාරණයකි. එනම් දැනුමට තනි අයිතිකාරයෝ නැත. දැනුම ගොඩනැගෙන්නේ මුළු මහත් සමාජයයක් මතිනි. එනම් එහි අයිතිය ඇත්තේ ද සමාජයටමයි.

අධ්‍යාපන ක්‍රමය ගොඩනැගුනේ මෙසේය. සමාජය මතින්ය. අධ්‍යාපනය ලබා දීමේ අරමුණ වූයේ සමාජය විසින් ඉගෙන ගත දෑ සමාජයේම ප්‍රගමනය වෙනුවෙන් යෙදවීමයි. අධ්‍යාපනය ලබා දීම ආයෝජනයකි. එහි ප්‍රතිපල සමස්ත ජනයාටමයි. 

අධ්‍යාපනය ගොඩ නැගුනේ සමාජය මතින් නම් අධ්‍යාපනයේ අයිතිය ඇත්තේ සමාජයට නම් අධ්‍යාපනයේ අරමුණ සමාජ ප්‍රගමනය නම් අපට ඔබෙන් අසන්නට ඇත්තේ මෙපමණකි. එනම්, අධ්‍යාපනය විකුනන්නේ කෙසේද? විකිණීමේ අයිතිය ඇත්තේ කාටද? අධ්‍යාපනය විකිණීම හරහා අධ්‍යාපනයේ අරමුණු ඉටුවේ ද?

මෙහි දී ඔබ කාටත් ඒත්තු ගැන්වෙන කාරණය නම් අධ්‍යාපනය යනු අලෙවි භාණ්ඩයක් නොවන බවය. විකිණීම හරහා අධ්‍යාපනයේ සමාජයමය කාර්යභාරය ද ඉටු නොවෙන බව ඔබට හොඳින්ම ඒත්තු ගැන්වෙනු ඇත.

මෙපනක් ඒත්තු ගැන්වූවාට ප්‍රමාණවත් නොවන බව ද දනිමු. මුදලට ශරීර අවයව පවා විකුණන තරම් ප්‍රාථමික තත්වයකට ඇද වැටී ඇති සමාජය අධ්‍යාපනය විකිණීම පිළිබඳව මුනිවත රැකීම පිළිබඳව අපි පුදුම නොවෙමු. නමුත් අධ්‍යාපනය ලැබීමේ අයිතිය සිමාකිරිම හරහා සමාජය මීටත් වඩා පරිහානියට පත්වන බව හොඳින්ම දනිමු. එය සිදුවනු දැක දැක නිහඬව සිටීමට තරම් අපි නිවට නොවෙමු.

අපගේ අරගලය පෞද්ගලික උපාධි කඩවලට තම සේසතම වියදම් කර තමන්ගේ සමාජ පන්තිය ඉහලට ගැනීමට වෙර දරන අපගේම සහෝදරයින්ට එරෙහිව නොවේ. අධ්‍යාපන කප්පාදු ක්‍රම හරහා ඔවුන්ගේ අයිතිය උදුරාගන්නා පාලකයාට එරෙහිවයි. මුදල් බලයෙන් සියල්ල තමා සතු කරගන්නට මාන බලන ධනපතියාට එරෙහිවයි. 

පිරිසක් ධනය එක්රැස් කිරීමේ අරමුණින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරමින් සිටින්නෝය.

තවත් පිරිසක් තම ධන බලය උපයෝගී කරගනිමින් මුදල් වලට සුසුදුකම් මිලදී ගන්නෝය.

පාලකයා තමා මත ඇති වගකීමෙන් නිදහස් වීමට ඒවාට රුකුල් දෙන්නෝය.


විය යුත්තේ විකිණීම නොවේ. 

සරසවි බඳවා ගැනීම් ඉහල දැමීමයි. 

අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන ඉහල දැමීමයි.

රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් සමග සමගාමිව අධ්‍යාපන ක්‍රමය විධිමත් කිරීමයි. 


සොයුරනි,

ධනපතියාගේත් පාලකයාගේත් අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්තියට එරෙහිව පෙළ ගැහෙමු!

සැමගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නගමු!


පාලකයිනි,

අධ්‍යාපනය පෞද්ගලීකරණය නවතනු!

අධ්‍යාපනයේ සම අයිතිය සුරකින අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙනෙනු!




දුෂාන් පසිඳු තිවංක,

ලේකම්,
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.

SAITM නීතිගත කිරීමේ කුමන්ත්‍රණය පරදවමු!


2017 ජනවාරි 30

ගෞරවණිය ස්වාමීන්වහන්ස/පුජක තුමනි,
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය,

අධ්‍යාපනය විකිණීමේ ගැටලුවේ උග්‍රතම අවස්ථාවට එළඹ ඇත. එනම් අධ්‍යාපනය විකිණීමේ නියමු ව්‍යාපෘතිය වන SAITM මුදලට උපාධි විකුණන ආයතනය නීතිගත කරවාගැනීම සඳහා SAITM සිසුවියක් විසින් අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. එහි තීන්දුව ජනවාරි මස 31 වෙනි දා SAITM ට පක්ෂපාති වන ලෙස ලබා ගැනීමට SAITM මුදලාලිලා සහ ආණ්ඩුව අර අදිමින් සිටින මොහොතක ඔබව මෙසේ ආමන්ත්‍රණය කරමු.

SAITM යනු ආරම්භයේදී ම ඔවුන්ට නොමැති සුදුසුකම් පෙන්වමින් සිසුන් මුලා කිරීමකට ලක් කල ආයතනයකි. එමෙන්ම SAITM තුල වෛද්‍ය විද්‍යාලයක් සතුව පැවතිය යුතු ප්‍රමිතිය නොමැති බව සහ SAITM උපාධිය පිළි නොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) මගින් ද ප්‍රකාශ කර ඇත. එවන් පසුබිමකදී මෙය නීතිගත කර පවත්වාගෙන යාමේ සැලැස්මක් හොර රහසේ ක්‍රියාත්මක වේ.

SAITM ආරම්භ කරනුයේ උසස් පෙළ කඩයිමෙන් වෛද්‍ය විද්යාලයකට තේරී පත් නොවුනු නමුත් Z Score එක කඩයිම් ලකුණට ආසන්න සිසුන්ට නැතහොත් දශමෙන් මග හැරුණු සිසුන්ට වෛද්‍ය වරයකු වීමේ අවස්තාවක් සලසා දීමේ අරමුණින් යන්න අමුලික බොරුවකි. ඒ මක්නිසාද යත් දශමෙන් මග හැරුණු සිසුන්ගෙන් කීයෙන් කී දෙනෙකුට ලක්ෂ 120 ක් වැනි ඇති විශාල මුදලක් වියදම් කිරීමට හැකි ද යන්න ගැටලුවක් වන බැවිනි. නිදසුනක් ලෙස සාමාන්‍ය රැකියාවක නියුතුවුවකුගේ මාසික වැටුප දල වශයෙන් රුපියල් 30,000 ක් ලෙස ගනිමු. ආහාර ඇතුළු මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට රු. 15,000 ක් වැය වුනේ යැයි සිතන්න. ඉතිරිය රු. 15,000 යි. ලක්ෂ 120 ක් එකතු කිරීම සඳහා ආසන්න වශයෙන් අවුරුදු 66 කට අධික කාලයක් ගතවේ. මාසිකව රුපියල් 100,000 බැගින් එකතු කල ද අවුරුදු 10 ක් මුදල් එකතු කල යුතුය. එනම් මෙය සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්තාවක් සලසන ආයතනයක් නොව මුදල් හිමි බලවතුන්ට සුදුසුකම් මිලදී ගැනීමට හැකි ලාබ ලබන ආයතනයක් බව මැනවින් පැහැදිලි වේ.

සිදුවිය යුත්තේ කිසිඳු බේදයකින් තොරව සැමට අධ්‍යාපන අවස්ථා ලැබෙන පරිදි අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි. වැඩි සිසුන් ප්‍රමාණයකට උසස් අධ්‍යාපන වරම් ලබා දීමට හැකිවන ලෙස රාජ්‍ය අධ්‍යාපන ආයතන දියුණු කිරීමයි. වසරින් වසර සරසවි වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල දැමීමයි. එම සිසුන් රටේ ආර්ථිකය නගා සිටුවීමට යොදා ගැනීමට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින් අධ්‍යාපනය හා සමගාමිව අනෙකුත් ක්ෂේත්‍ර නියාමනය කිරීමයි. නමුත් තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙය පවත්වාගෙන යන්නේ සැඟවුණු අරමුණක් පෙරදැඩි කරගෙන බව අමුතුවෙන් තේරුම් ගත යුතු කරුණක් නොවේ.

තව දුරටත් සිසුන් මුලාකරමින් SAITM හරහා සිදුවන මෙම ක්‍රියාවලිය වහා නතර කල යුතුය. එමෙන්ම එම රැවටීමට ලක් වූ සිසුන්ට ද සාධාරණයක් ඉටු කර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සුරක්ෂිත කල යුතුය යන්න අපගේ අදහසයි. 

නැතහොත් පෞද්ගලික ප්‍රවාහන සේවා නිසා ලංගම කඩා වැටීම සිදු වුවා සේම පෞද්ගලික රෝහල් නිසා නිදහස් සෞඛ්‍යය සේවය කඩා වැටුනා සේම නිදහස් අධ්‍යාපනයත් සම්පුර්ණයෙන්ම කඩා වැටෙන දවස වැඩි ඇතක නොවේ. මක්නිසාද යත් දැනටමත් රජයේ විශ්වවිද්‍යාල වලට අයවැයෙන් වෙන්කරන මුදල් කප්පාදු කරමින් පවතී. 2017 වර්ෂයේ දී මොරටුව විශ්වවිද්‍යාලයට පමණක් අයවැයෙන් වාර්ෂිකව වෙන් කරන මුදලින් රුපියල් මිලියන 450 ක් කප්පාදු කර ඇත. එමෙන්ම වැඩි වරප්‍රසාද හමුවේ ආචාර්යවරු රාජ්‍ය විශ්වවිද්‍යාල හැරදමා කෙමෙන් කෙමෙන් පෞද්ගලික ආයතන වල ඉගැන්වීම් කටයුතු වලට නැඹුරු වෙමින් පවතී. 

එම නිසා අනෙක් ඒවාට සිදු වුවා සේම නිදහස් අධ්‍යාපනය කඩා වැටීමට මත්තෙන් අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්තිය අහෝසි කල යුතුය. තව තවත් අධ්‍යාපන අවස්ථා විවර කරමින් නිදහස් අධ්‍යාපනය විධිමත්ව පවත්වාගෙන යා යුතුය. එමෙන්ම ලාබ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය විකුණන ආයතනයකින් කිසිවිටෙක ප්‍රමිතියක් බලාපොරොත්තු නොවිය හැකි නිසා පෞද්ගලිකරණය, අධ්‍යාපන ක්‍රමයේ හිදැස් වලට පිළිතුරක් නොවන බව තරයේ සිහි තබාගත යුතුය.

නිදහස් අධ්‍යාපනය කඩාවැටෙන්නට පෙර එය ආරක්ෂා කර ගැනීමට ඔබ අප සැම එක්ව සටන් කලයුතු කාලය එළඹ ඇත. මතු පරපුර වෙනුවෙන් එය රැක දීම අප සතු වගකීමකි.

ඔබේ දරුවාගේ මතු අනාගතේ වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය සුරකිමු!

නිදහස් අධ්‍යාපනයට වල කපන කුමන්ත්‍රණ පැරදවීමට පෙළගැසෙමු!

දුෂාන් පසිඳු තිවංක,
ලේකම්,
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.