Thursday, February 2, 2012

පෙන්ගුයින් හා වේවැල


“ක්රාස්....ක්රාස්....”
   
සිහින ලොවින් මා බිමට ඇද දමා, පශ්චාත් භාගය ධරණි තලයේ  සිප ගැන්වීමට තරම් ඒ නුහුරු හඬ ප්‍රමාණවත් විණ. නොබෝ දිනකින් එළඹෙන විභාගය හමුවේ අකමැත්තෙන් වුවද මුහුණ දීමට මට කටයුතු සම්පාදනය වී හමාරය. එවැනි මොහොතක සිහින ලොවේ කරක් ගසමින් අල්ලාපයේ යෙදීම තරම් නොවුවද, සිහින කොදව්වෙන් මා ඉවත් කරගෙන පැමිණි ගොඩ උඩ අයියා කෙරෙහි පහන් හැඟීමක් ඇතිවුණේ මට නොවේ.

ගොඩ උඩ මෑතකදී සිදුවූ නවීකරණය හමුවේ එයට තව දුරටත් ඒ නම නොගැලපෙන බව තීරණය කළේ තතු දන්නන් බව පීඨයේ ඇතැමෙකු කියනු මා අසා ඇත. එතැන් සිට එය ‘පෙන්ගුයින් කැෆේ’ නම් වන්නේය. ආපනශාලා වල දහසකුත් ප්‍රශ්නවලට අප මුහුණදී ඇති මෙවන් සමයක ඇතැම් විට ඔවුන් එම නම් තැබීම කළේ ඒවාට ඇති පිළිතුරක් වශයෙන් විය හැකිය. සමහර විට එම නම් තැබීම හරහා ගොඩ උඩ මෙතෙක් තේ හැන්දෙන් බෙදූ එළවලු මේස හැන්දෙන් බෙදෙනු ඇත. නිවුණු කෑම වෙනුවට නැවුම්, රස බොජුන් ෂෝකේස් එකට එනු ඇත. ඇතැම් විට ගොඩඋඩ ඉඩ පහසුකම් ද වැඩිවනු ඇත.ගොඩ උඩ තිබෙන සින්ක්වල වතුර බැස නොගියද එම ජල ප්‍රමාණය පෙන්ගුයින් කෙනෙකුට මඳක් මදිය. එබැවින් ආදර්ශ පෙන්ගුයින් ටිකක් හෝ ඇතැම් විට පෙන්ගුයින් පැටවුන් කිහිප දෙනෙකුගේ "පෙන්ගුයින් සුරතල්" බැලීමට අපට ඉදිරියේදී අවකාශ ලැබෙනු ඇත.

ඒ අපට ගොඩ උඩ නම්  තැබීමේ උත්සව සමයේදී සිතුණ හැටිය. ඒ සිතුවිලි කොතරම් දුරට යථාර්තයක්ව ඇත්දැයි සිතෙන විට ගොඩ උඩ කෙසේ වෙතත් මගේ ඇඟේ නම් පෙන්ගුයින්ලා නටන්න පටන් ගන්නේ නිරායාසයෙනි. මෙම ගොඩ උඩ ‘පෙන්ගුයින් කැෆේ’ ලෙස නොව "බුවල්ලා කැෆේ" ලෙස නම් කළත් මට රුදාවක්‌ නැත. මට රුදාව ඇත්තේ ඒ පෙන්ගුයින්ට නිසිලෙස සාත්තු නොකිරීම ගැනය. ඌට කුඩම්මාගේ සැළකිලිවත් නොමැති වීම ගැනය. කෙසේ වෙතත් ඒ නම් තැබුවන් මෙනෙහි කර ගොඩඋඩ අයියාට මෙතැන් සිට පෙන්ගුයින් අයියා යැයි පවසමි.

නුහුරු හඬින් තිගැස්සී ඉදිරිය බැලු මා ඉදිරිපස සිටින ඒ අසාමාන්‍ය පෞරුෂය අපේ ගොඩ උඩ අයියාගේය. සමාවන්න  පෙන්ගුයින් අයියාගේය. වැරදුනේ හිතේ තිබු තිගැස්සමටය. ඉද්ද ගැසුවාක් මෙන් මා ඉදිරියේ මට පිටුපා අයියා සිය අසාමාන්‍ය දේහ පෞරුෂය විදහාලමින් සිටගෙන සිටී. ඒ ආරෝහ පරිනාහ දේහය අඳුන් කුලක් මා දැක නැතිමුත් සිත්හි චිත්‍රනයට සමත්ය. පුන්සඳ වන් හිස් මුදුනේ ඉතිරිව ඇති කෙස්රොදවල් කෝපයෙන් නලියන ගමන්ය. හුරු පුරුදු නිල ඇඳුම වුවද කලබලයට අවුල්ව ගොසිනි. අඳුන් කුළෙන් දුම් පිටවෙන්නාක් මෙන් අයියාද තවමත් හතිලමින්ය.

රූප විද්‍යාව කෙළ පැමිණ නැති මුත් මේ එන්නේ  හොඳකට නොවන බව ඉවෙන් මෙන් මට දැනිණ. අයියා සිටින ඉසව්ව ළඟ පාතක සිසුවකු පවා නොමැත. මේස දෙක තුනක් එහායින් සිටින අපත්, තවත් පිරිසකුත් අයියා දෙස බලා ගත් වනමය. ගෙදරින් ආ දා පටන් කටක් පුරා උදේ හවස "පුතේ" කියන්නේ  අපේ පෙන්ගුයින් අයියා ය. ඇත්තම කියනවා නම් මම එම වදනට පෙම් කරමි. නිවුන බත් පිඟාන ‘පුතේ’ කියා දත් තිස් දෙකම පෙන්වා දික් කරද්දී කන්නට පෙරම බාගයක් බඩ පිරිලාය. පෙන්ගුයින් අක්කාගේ සුකුමාල හිනාව හා කෝල වදන් එක්වූ විට බත් වලට බඩේ ඇත්තේ සුළු ඉඩක් පමණි. හිත අයියා ළගට දිව ගොස් කිමදැයි ඇසීමට  බල කළද මම තවත් මොහොතක් ඉඳීමට ඉටා ගතිමි. ‘ක්‌රාස්...’ හඬ නැවතත් රැව්පිළි දුන්නේ ඔය අතරය. වඩා විමසිලිමත්ව බැලූ විට, අයියා සුරතින් වේවැලක් දරන බව දක්නට ලැබිණ.

මා දන්නා පරිදි අයියා බස්තමක් පාවිච්චි කල යුතු වයසක නම් තවම නැත. අනේ මේ අහිංසකයාට කුමක් නම් සිදු වී ද? මගේ මෙමරිය auto refresh විය. මීට මොහොතකට පෙර මම අයියා ගහක් ගලක් මෙන් ඇවිදිනු දිටිමි. විලාසිතාවක් විලසින් අයියා වේවැලක් භාවිතා කරනු ඇතැයි සිතීමද උගහටය. සිද්ධි සමුදායේ සම්භාවිතාව එකින් එක පිරික්සන අතරතුර ඊට ඉඩ නොතබාම අයියා දනි පනි ගා මේස අතරින් ඉදිරියට දිව යන්නට විය. ඒ පංචස්කන්ධයේ බරට දක්ෂිණ අධිවේගයේ පාලමක දිව ගියේ නම් මහින්ද මාමාගේ ජන්ම දිනයේදී මාවත විවෘත කිරීම සිහිනයක්ම වනු ඇත. රා කළ හතක් ගිජිඳකුට පෙවිය හැකි නම් ඌ කොතරම් භිරාන්ත දසුනක් මවනු ඇත්දැයි සිතීම මට දැන් උගහට නොවේ. පෙන්ගුයින් කැෆේහි සියලු දෙනා මේ නෙත් දල්වා සිටින්නේ එළඹෙන මොහොතේ කුමකින් කුමක් සිදුවේදැයි සිතිය නොහැකිව ය. වේගයෙන් පෙරළුණු අයියා තම අයෝමය සුරත් බාහුව  ඔසවා, පරිසරයම ගිගුම් දෙමින් නැවතත් තම වේවැල් රාජයාගෙන් කුමකට දෝ තඩිබානු දිටිමි. ද්වන්ධ සටනේ අනෙක් තරඟකරු පිටියට අවතීර්ණව ඇති බව දුටුවේ එවරය. කුඩා කාලයේ අසා තිබුණු ගලිවර් හා ලිලිපුට්ටන්ගේ කතාවේ ලිලිපුට්ටන් ගලිවර් දුටු සැණින් කෙතරම් විස්මයාර්තයට, උභතෝකෝටිකයකට, භිරාන්තයකට ලක් වුණාදැයි සිතීම එවෙලේ අනෙකාගේ වත කමල දිටී නම් මොනවට පැහැදිලි වන්නට තිබිණ.

අයියා මෙතෙක් වෙලා දිව ගොස් ඇත්තේ කුඩා බැලූ පැටියෙකු පිටුපස්සේ බව පසක් වුයේ දැන්ය. වේවැලෙන් විටක මේසයටද, විටක බිමටද තඩිබාමින් අයියා  බලු කුක්කාව පෙන්ගුයින් කැෆේ සංකීර්ණයෙන් පිටමං කිරීමට තැත් කරයි. භිරාන්තවූ බලු කුක්කා කිසිත් සිතා ගත් නොහී, පස්සෙන් පස්සට දිව යන්නේ පණ ගැහෙමිණි. පස්සෙන් පස්සට ගිය කුක්කා අවසානයේ මුල්ලකට හිරවුණේ අසරණත්වයේ පතුලටම කිමිදීමෙන් අනතුරුවය. ඉනික්බිති එළඹුණ නිසොල්මනේ ක්ෂණය ඌ තම අවසන් කැමැත්ත මෙනෙහි කිරීමට වැය කළා විය හැකිය. එනමුදු පෙන්ගුයින් අයියා නොවේ ඌට එකක්වත් තැලුවේ. ඒ වෙනුවට ඌ අසළ පොළවට වැරෙන් පාරක් දෙකක් වේවැල ඔසවා පහර දෙද්දී අභය දානයලත් කුක්කා මර හඬළමින් කැෆේ පඩි පෙළ තරණය කර නොපෙනී ගියේය.

මීට ඉහතදී පෙන්ගුයින් කැෆේහි පිඟන්වල පූසකු හා බලු කුක්කකු ඉඳුල් රස බලන පින්තුරයක් සයිබර් අවකාශයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම පින්තුරය අන්තර්ජාලයේ පළවීම මා තුල යම් කළකිරීමක් ඇති කළද, මේ නිසාවත් අපේ PHI මහතාගේ ඇස් ඇරෙනු ඇතැයි මම සිතීමි. කණ කැස්බෑවා අර මොකෙන්ද හඳ දුටුවත් අපේ PHI නොවේ මෙම ගැටළු දුටුවේ. ලංකාවේ උසස්ම ප්‍රතිඵල ලැබ මෙහි පැමිණි අපට රන් තලියක හොවා රජ බොජුන් පිලිගැන්විය යුතු යැයි මම යෝජනා නොකරමි. එනමුත් බල්ලන් පූසන් ළෙවන පිඟන්වල හොවා කෑම පිලිගැන්වීම කෙතරම් දුරට තරම් දැයි සිතිය යුතුය. මා මෙවැන්නක් ලිවීමට අදහස් කළේ මටත් සිතා ගත නොහෙන ප්‍රශ්නයක විසඳුම් කොහිදැයි සෙවීමට ය. "ඇත්තටම වැරද්ද කොතනද?" ඒ මා මෙතැන් සිට ඔබට යොමු කරන පැනයයි.

පැනයට පිළිතුරු සෙවූ මාගේ පළමු චූදිතයා එම බලු කුක්කාය. බල්ලකු වුවද උගේ බලු මොළයට ඌ කරන නොපනත්කම් පිලිබඳ වැටහීමක් තිබිය යුතුය. ඒ අතින් බලන කළ උගේ මේ හැසිරීම ජුගුප්සාජනකය. තමන්ගේ  වරිගයේ උන් අද රටේ ඉහළම තැන් වල කටයුතු කරන බව හේ දැනගත යුතුය. ජලවන්නාවේ උන්ගේ උන් මුළු රටටම බල පවත්වන්නට නීති කෙටුම්පත් සකසද්දි ඌට මීට වඩා නීතිගරුකව හැසිරීමේ වගකීමක් ඇත. ඒත් උගේ පැත්තෙන් බැලූ විට ජලවන්නාවේ උගේ උන් ද කෙතරම් නීති රීති තැනුවත් උනුන්ම ඒවා රිසි රිසි සේ කඩා බිඳ දමත්. එසේ නම් ඒ බලු ගතිය වීමට බැරි නැත.
වැරැද්ද අපේ සහෝදර ශිෂ්‍යන්ගේවත් ද? රටේ මිනිස්සුන්ට පාන්වත් කියා ගන්නට බැරි කල, සරසවි ශිෂ්‍යයන්ට  අතිගරු ජනපති ආශීර්වාදයෙන්, උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ මෙහෙයවීමෙන්, ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ උපදේශකත්වයෙන්, තාරුණ්‍යයට හොටක් සංවිධානයේ පුර්ණ අනුග්‍රහයෙන්, පෙන්ගුයින් අයියා විසින් රුපියල් 25 ට බත් පත ලබාදෙද්දී බල්ලන්ට බළලුන්ට කෑමට පිඟන්වල කෑම ඉතිරී කිරීම කොතෙක්නම් යුක්තිගරුකද? ඒ අතින් බලද්දී පිඟානේ බත් ඇටයක් නෑරම සූරා කා, ඇඟිල්ලද ලෙව කා, අවසානයේ පිඟාන ද ළෙව්වානම්, බල්ලන් බළලුන් අර පිඟන් සොයා පැමිණෙනු නොඇත. මෙතරම් ප්‍රණීත ආහාර ඉවතලන්නන් දේශ ද්‍රෝහීන් ලෙස ඇතැම් විට "විමසුමෙන් " හෙට දිනයේ හංවඩු ගැසුවොත් පුදුම වීමට දෙයක් නම් නැත. අබේසුන්දරලා කුමක් කියා හංවඩු ගැසුවත් සාගතයකටවත් කැම්පස් බතක් කෑ එවුන් "විමසුම" නැවත විමසන බව මම දනිමි. 

ආපනශාලා මෙබඳු තැනකට පත්වීමට PHI මහතා ප්‍රමුඛ නිලධාරීන් වගකිව යුතු යැයි මට සිතිණ.එහෙත් අනික් පසින් බලද්දී උන්ද රාජ්‍ය සේවකයෝය. ලොකු පුටුවල ඉන්නා නිලධාරීන් ප්‍රතිපත්තියක් ලෙස නොමනාව හැසිරෙද්දී මොවුන්ටද වැරැද්දක් කීමට උගහටය. ඔවුන්ගේ පැත්තෙන් බැලු විට ඔවුන් කාර්යාල පටිපාටිය අකුරටම පිළිපදී. කණිෂ්ඨ නිලධාරීන් ජෙෂ්ඨයන්ට, ඔවුන්ගේ ක්‍රියාවන්ට නිරන්තරව අවනත විය යුතුය; අනුකූල විය යුතුය. තවද දන්නා තරමින් PHI මහතාගේ පුතාවත් දුවවත් මොරටුවෙන් අකුරු නොකරති.ඒ නිසා හේ එතරම්ම කලබල විය යුතුද නැත. වැදු මව පියා තම අලුත උපන් දරුවා කාසි කොළ වලට විකුණන පසුබිමක අපේ PHI මහතා අනෙකුන්ගේ දරුවන්ට බල්ලන් බළලුන් ලෙවන පිඟානකින් බත් කෑමට සිදුවීම සැලකිල්ලට ගැනීමද නුවුවමනාය.

වැරද්ද පීඨාධිපති, අංශාධිපති ප්‍රමුඛ කරගත් පරිපාලනයේ දැයි සිතුණේ ඊළඟටය. ඒත් මඳක් විපරම් කරද්දී මේ බලු ගැටළුව ගැන  ඔවුන් ශිෂ්‍ය නියෝජිතයන් සමග පවත්වන රැස්වීම්වලදී පුරුද්දක් ලෙස නිරතුරුවම සාකච්ඡාවට බඳුන් කරන බව දැනගන්නට ලැබුණ. කොතෙකුත් ශිෂ්‍ය ගැටළු පවතිද්දී මෙවන් ප්‍රශ්නයක් නිතිපතා පුරුද්දක් ලෙස විමසන පරිපාලනයක් සිටීම කොතරම් නම් භාග්‍යවන්තද? එසේනම් මේ වනවිට මාස ගණනක් මුළුල්ලේ, පැය විසි තිස් ගණනක් මෙම ගැටළුව සාකච්ඡාවට බඳුන්ව ඇත. ඒ අතින් බලද්දී විසඳුම් ලබාදීම කෙසේ වෙතත් එකම කාරණයක් හාරා අවුස්සමින්, නැවත නැවතත් විමසමින්, උඩ දමමින්, වටේ යමින් එම ගැටළුව අවබෝධ කර ගැනීමට ඔවුන් දරනා වෑයම අතීශය ප්‍රශංසනීයය. අනෙක් අතින් බල්ලන් පූසන් සමග එකම පිඟානක බත් කෑම නිසා විශ්ව විද්‍යාලයේ ශ්‍රේණිගතකිරීම් පහළ යන්නේද නැත. උපාධි සහතිකයේ වටිනාකම පහළ යන්නේද නැත. ඇතැම් විට ඔවුන් මේ හරහා ලබා දෙන සහතිකයේ ප්‍රමිතිය ඉහළ දැමීමට තැත් කරනවා විය හැක.ඒ හරහා ලබන වසරේ සිට අපේ සහෝදර ශිෂ්‍යයන්ට eco - friendly engineering ඩිග්රියක් වුවද ලැබීමට බැරි නැත.

මෙවන් දෙයක වගකීම පෙන්ගුයින් අයියා ඇතුළු පිරිස ගත යුතු දැයි බැලීමට මට සිතිණි. අපට මෙන්ම  අයියාට ඇත්තේ අත් දෙකකි. එසේනම් කවුන්ටරයේ කෑම විකුණන අයියාට එකවර කැන්ටිමේ මේස අස්කිරීම කළ නොහැක. තව තවත් සේවකයින් බඳවා ගතහොත් අත ඉතිරිවන සොච්චම් ලාභයටද හෙට දිනයේ අනිවාර්ය සේවා ලෙස හෙනහුරා කඩා පනිනු ඇත. ලාභ ඉපයීම පිණිස මහජන නියෝජිතයින් කුඩු විකුණන, ගණිකා ව්‍යාපාරය කරවන සිරි ලංකාවේ එම නියෝජිතයින්ව අපි නැවත නැවත කතිරය ගසා උස් පුටුවලට නිතරගයෙන්ම යවමු. කලින් දා වහලට ඇස්බැස්ටෝස්  ෂීට් දෙකක් දුන් විට, පාරට තාර කට්ටයක් දැමු විට අපි උන්ගේ සියලු අලුගුත්තේරු වැඩ අමතක කර ඉහළම මනාපයක් දී ආසනයේ ඉහලට ඔසවා තැබීමට පසු නොතවෙමු. එලෙස ඔවුන් විසින් ලාභ සෙවීමට කරන ඒ අවැඩ අප මනාපයෙන් අනුමත කරන සන්දර්භයක පෙන්ගුයින් අයියගේ ගුණ උදේ හවා  පචවාහිනියෙන් වැයිය හැකිය. ලාභ තකා ඔවුන් කරන අලුගුත්තේරුකම් සිහිවද්දි අයියා වරදක් කර ඇත්දැයි සිතීම පවා තරම් නොවේ. එකිනෙක ඉදිවන පුද්ගලික උපාධි කඩ හමුවේ තව කොතෙක් කල් මොරටුව තිබේදැයි පෙන්ගුයින් අයියාට සාධාරණ පැනයක් තිබෙනු නොඅනුමානය. බදු කාල සීමාවේ ඉම ඈතින් පෙනෙන කල්වත් ඉදීමට පෙරුම් පුරන ඒ අහිංසකයා මෙහිලා චෝදනාවට බඳුන් කිරීම අතිශය අසාධාරණය.

එකින් එකා වෙන වෙනම මගෙ ජූරි සභාවට ගෙන්නුවද නිසි වගඋත්තරකරුවකු මට සොයා ගත නොහීවීම මගෙ නොහැකියාවද, නොදැනුවත්කමද, එසේත් නැත්තම් වෙන මොකක්දැයි මම නොදනිමි. මට දැනෙනා සැටියට අප සැවොම වූ කලී මෙම දූෂිත සමාජ ක්‍රමයෙන්ම ජනිතවූ, එය මතම යැපෙන, එයින්ම පුහු ඊනියා වින්දනයක් ලබා එතකුදු නොනැවතී එයම ඉදිරියට දායාද කරන දූෂිතයෝය. අප කොතෙක් පිළිගැනීමට අකමැති වුවද ඔබත්,මමත් මෙම ක්‍රමයේ දූෂිතයෝය. අප මෙහිලා පමණක් නොව අන් සෑම තැනකදීම බෝලය අනෙකාට පාස් කිරීමට‍ දරන තැත නිරර්ථක වන්නේ එබැවිනි. එක් එක් අවස්ථාව තෘප්ත කිරීමෙහිලා දමන පැලැස්තරය නියම විසඳුමයයි ඒත්තු ගැන්වීමට තරම් මෙම ක්‍රමය සූක්ෂ්මය. වෙනසක් නොවී එදා සිට හෙට දක්වාම අපි අපටම ඇඟිල්ල දිගු කරමින් සිටිමු. අපම මවූ, අපම වැවූ, අපම දායාද කරන්නාවූ ගැටළුවට අපම ඇඟිල්ල දික්කිරීමට තරම් නිරලජ්ජිත එඩිතරකමක් මේ ක්‍රමයෙන් අපට උරුමව හමාරය. එබැවින් අපට අවශ්‍ය ක්ෂණයේදී පමණක් අපම ක්‍රමයෙන් වියුක්තව එකී ක්‍රමයම අනුකම්පා විරහිතව විවේචනය අපට දැන් හොඳ හැටි හුරු පුරුදුය.



එබැවින් ආදර සබඳ හැමදාමත්ම 
          ඔබ නිදොස්ය ...
                   ඔවුන් සදොස්ය......

දෙවන වසර සිසුවෙක්

7 comments:

  1. පෙන්ගුයින්ලා වෙනුවට කැ‍ෆේ එකට එන්නෙ බල්ලො නම්, ඒකට කරන්න තියෙන්නෙ ගේට්ටු දෙකක් දාලා, බල්ලෙක්ගෙ රූපයක් උඩින් කතිරයක් ගහපු බෝඩ් එකක් ගේට්ටුවෙ එල්ලලා තියන එක විතරක් නෙමෙයි. යනකොට ගේට්ටුව වහල යන්න කොල්ලන්ට බැරි ඇයි?

    "පැමිණෙනු නොඇත" කියන යෙදුම වැරදියි. හරි එක "නො පැමිණෙනු ඇත" කියන එක.

    ReplyDelete
  2. බල්ලොන්ට හපන් කොල්ලන්/ කෙල්ලන් ගේට්ටුව හෝ, බල්ලන්ට එන්ට බැරි වෙන්ට දාල තියෙන දොර ඇරගෙන ඇවිත්, වහලා ඇතුලට එනවා නම් ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ නේද?

    ගෙදරදි වගේ පිඟන් හේදුවෙ නැතත් කවුන්ටරෙන් තිබ්බා නම්? බල්ලො ලෙවකයිද?

    පිටරටක ගියානම් විනය මෙයිට වඩා හදා ගන්ඩ තිබුනා. වරද සිසුවන්ගේ. පෙන්ගුවින් අය්යාට සහයට කියලවත් පිඟන් හරිතැන තියලා, යෝගට් කෝප්ප ඩස්ට් බින් දමාපල්ලා. ඔව්වා අම්මලා තාත්තලා පොඩිකාලෙ ඉඳන් උගන්නන්ඩ ඕනැ සිරිත්. වෙන කවුරුත් පලි නැහැ ඔව්වට

    ReplyDelete
  3. @ano - බල්ලෝ ලෙව කෑවේ පිගන් එකතු කරන මෙසේ උඩ තිබුන පිගන් තමයි.

    ReplyDelete
  4. මෙ බලු ගැටලුව පෙන්ගුයින් කැෆේ එකට පමණක් සීමාවූ දෙයක් නොවේ. ගොඩ යට හා අනෙකුත් ආපනශාලා වලද මෙම ගැටලුව මේ අයුරෙන්ම පවතී. කෑමක් රැගෙන ගොඩ යට මේසයක වාඩිවූ විට බලු රෑනක් පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා සිටීම අප සැමට හුරු පුරුදුය.

    ආපනශාලා වල පමණක් නොව මුලු සරසවි පරිශ්‍රයටම පොදුවූ මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන සෙයක් නම් පෙනෙන්නට නැත. සරසවි බිම පුරා රෑන පිටින් සැරිසරන බලු ප්‍රජාවට බලු වෑන් විසදුමකට මෙපිට විසදුමක් මටනම් නොපෙනේ.

    ReplyDelete
  5. විසදුමක් නොමැති මෙවන් ප්‍රශ්නයක් පිළිබඳව දෙවන වසර ඔබ දැක ඇති ආකාරය නම් ඇත්තටම ප්‍රසංසනීයයි. ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් ඇත. අප එය දෙස බලන කෝණය අනුව එහි විසදුම තීරණය වේ. ඔබ මෙම ප්‍රශ්නය පරිපාලනයේ දුර්වලතාවක්ද, බල්ලන්ගේ ප්‍රශ්නයක්ද, නැතහොත් අපගේ දුර්වලතාවක් නිසා ඇතිවූ දෙයක්ද යන්න ප්‍රශ්නයක් ගොඩ නැඟීමට උත්සාහ කරයි. නමුත් මම දකින ආකාරයට නම් මෙවැනි දෙයක වගකීම අප සියලු දෙනාම දැරිය යුතු වේ. මන්ද කෑම ආහාරයට ගන්නේ අපි නම් එයින් ආහාර ගත් පසු නිසි තැන තැබීමට අප වග බලා ගත යුතුය, ගොඩ උඩ කැන්ටිම ඇත්තේ විශ්වවිද්‍යාලයේ නිසා විශ්වවිද්‍යාල පරිපාලනයද මෙහි වගකීම බාරගත යුතුය, බල්ලන් සිටින්නේ ගොඩ උඩ කැන්ටිමේ නිසා එහි අයියාද මෙහි වගකීම බාර ගත යුතුය, එසේම මෙම ප්‍රශ්නයට මුල බල්ලා නිසා ඌ ද මෙහි වරදක් කර ඇත. එබැවින් කිසිම දෙයක වරද තනි පාර්ශවයක් සතු නොවේ. එබැවින් මෙම ප්‍රශ්නය හමුවේ පීඩාවට පත්වන හා වගකිවයුත්තන් නිසි අයුරින් කටයුතු කරන්නේ නම් කාටවත් කිසිම ආකාරයේ ප්‍රශ්නයක් නැත. වරද ඇත්තේ කිසිවෙක් නිසි අයුරින් කටයුතු නොකර එහි වරද සෑම විටම අනුන් පිටම පටවන බැවිනි.

    ReplyDelete
  6. ඇතුලෙ ප්‍රශ්න මුලු ලෝකෙටම පෙන්න දාන්නෙ උඹලට පිස්සුද බං?

    කැම්පස් එක චාටර් කරන්න කී දාහක් බලං ඉන්නවද කියලා දන්නෙම නැද්ද?

    කොච්චර ප්‍රශ්න තිබුනත් ඒවා අපි හදා ගන්න බලමු. මේ වගේ දේවල් අඬ බෙර ගහලා ලෝකයාට දැන්නුවට අවැඩක් මිසක් වැඩක් වෙන්නෙ නෑ කොහෙත්ම.

    ReplyDelete
  7. අයියෝ පෙන්ගුයින්ලා ගැන හොයන්න ආවා මදැයි

    ReplyDelete