Friday, February 17, 2012

විචාරශීලිව ඇත්ත දකිමු......


ගතවන මේ නිමේෂය වූ කලී ලාංකීය තෘතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිශය සුවිශේෂී කඩඉමක් බව නොකිවමනාය. 1948 කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අප්‍රතිහත ප්‍රයත්නයක් ලෙස ඇරඹි නිදහස් අධ්‍යාපන සාර කෙතින් මුළු මහත් දිවයිනම විකසිතවුණු ඉතිහාසයක් අපට උරුමය. අද දින රට හමුවේ පවතින මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ක්‍රියාදාමය පිළිබඳව මතුපිටින් සිදුකරනු ලබන ඊනියා අතපතගෑමකින් එහාට ගිය පුළුල් හරයාත්මක සංවාදයක අවශ්‍යතාව එම ඉතිහාසය ඔබෙනුත් මගෙනුත් බලකර ඉල්ලා සිටින බව අතිශෝක්තියක් නොවන්නේ එබැවිනි.

ඔබත් මමත් දන්නා පරිදි ඕනෑම ප්‍රස්තුතයක් සර්වකාලීන හෝ සර්වභෞම තත්වයන්ට අනුව විග්‍රහකිරීම හෝ විසඳුමක් දීම සෛධාන්තිකකව විනා ප්‍රායෝගික තලයේදී සිදුකළ හැක්කක් නොවේ. මතුව ඇති තත්වය විග්‍රහ කිරීමේදී පවා බොහෝ දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව වරද්දා ගන්නා තැනක් බවට එය පත්ව තිබේ.ඒ වැරැද්ද හරහා ඇතම් විටක පරිකල්පන සීමාවෙන් ඉක්මවා ගිය, අනුභූතීන්ට භාජනය නොවූ සීමාවක් දක්වාම ඔවුන් මෙය විග්‍රහ කිරීමට කැන්ඳා ගෙන ගොස් ඇත. නමුත් මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප මෙම කාරණය ගැන කරන සාකච්ඡාව පවත්නා තත්ව හා රාමුව ගැන පුළුල් අවබෝධයක් හරහා සිදුකරනු ලැබූවකි.

ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය වූ කලී අද වනවිට අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අයත් වන්නකි. ඒ අර්ථයෙන් බලූ කල රජය විශාල අවදානයක් අධ්‍යාපනයට යොමු කර ඇතැයි යමෙක්ට සිතෙනු පුළුවන. මෙවන් කාරණයක් හරහා බලාපොරොත්තුවන ඵලදායීතාව කෙසේ වෙතත් කිසිවකුත් වගකීමක් භාර නොගන්නා තත්වයකට පත්ව ඇති බවක් දැකගත හැකිය. මේ බෝල පාස් කරගැනීම මීට දින කිහිපයකට පෙරාතුව සිදු වූ උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව හරහා පැහැදිලිව දක්නට ලැබිණ. උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව මෙහිලා සාකච්ඡාවේ වැදගත්කම අප දකිනුයේ එය ලාංකීය  තෘතික අධ්‍යාපනයේ ප්‍රවේශ දොරටුව වන බැවිණි. යමෙකුට ප්‍රවේශ දොරටුව බිඳ වැටෙන තැන ඉන් එහා ලෝකයක් ගැන සිතීමත් මිරිගුවක් නොවන්නේද?

ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන සුපුරුදු ප්‍රමාදයෙන් එහාට ගිය දිග්ගැස්සුණු පමාවක් මෙවර දක්නට ලැබිණ. ඒ පිලිබඳ කරන විමසුමේදී බලධරයන්ගේ පිළිතුර වූයේ විෂය නිර්දේශ දෙකක සිසුන්ගේ z-score එකම අගයකට ගෙන ඒමට අවශ්‍ය “ජ්‍යාමිතික සූත්‍රය” තවම සකස් වී නොමැත කියාය. එය තිබුණේ නම් ප්‍රතිඵල හෙට වුවත් දිය හැකි යයි විටක කියවිණ. අවසානයේ ප්‍රමාදයේ වගකීම භාරවුණේ සූත්‍රයටය. සූත්‍රයත් විභාග කළ සිසුන් හැදිය යුත්තේ දැයි සිතෙන තරමට ප්‍රතිඵල ප්‍රමාද කරමින් දිගින් දිගටම සිසුන් අසහනයට පත් කෙරිණ. විෂය නිර්දේශ දෙකක සිසුන් විභාගයට මෙවර මුහුණ දෙන බවත්, එම දෙපිරිසටම එකම Z ලකුණක් දිය යුතු බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක අවශ්‍යතාවක් පවතින බවත් හඳුනාගත යුත්තේ මේ අවසාන නිමේෂයේද? මීට වසර ගණනාවකට පෙර මෙවන් තත්වයක් උද්ගතව තිබු බව හඳුනාගැනීමට අදාල බලධාරීන්ට නොහැකිවූයේ මන්ද? සතියක් ප්‍රමාද වී නිකුත් වූ ප්‍රතිඵලවල නිරවද්‍යතාව පිලිබඳ ගැටලුව මතුවන්නේ ඊළඟටය. රජය කුමකින් කුමක් පැවසුවත් රජයේ ඉතිරිව තිබු එකම විශ්වාසනීය ආයතනය වූ විභාග දෙපාර්තමේන්තුව තම විශ්වසනියත්වය නැමති සාධකය නිරුවත් කොට හමාරය. ඒ සාධකය තවමත් ඉතිරිව ඇත්නම් සොයාගොස් අපුල්ලා, නැවත පළඳා ගැනීමේ බැරෑරුම් අභියෝගය අද එම ආයතනය ඉදිරියේ ඉතිරිව ඇත. ප්‍රතිඵල කලට වෙලාවට නිවැරදිව ඉදිරිපත් නොවේ නම් වසර තුනක් පුරා දහසකුත් වේදනා විදිමින්, නිඳිවරමින්, රටට ලෝකයාට ණය වෙමින් උසස් පෙළ කිරීමේ ප්‍රතිඵලයක් ඇත්දැයි යන ප්‍රශ්නය අද ද්විතියික අධ්‍යාපනයෙහි හිණිපෙත්තට යන සිසුවා තුළ මතුව ඇත. මෙකී ප්‍රතිඵල හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වන සංදර්භයක මතුව ඇති තත්වයේ බරපතළකම වහ වහා රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත.

රජය මගින් මෑත කාලිනව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙත වෙන් කරමින් පවතින මුදල් ප්‍රමාණය පිලිබඳ දැවැන්ත ගැටළුවක් ඇත. වාර්ෂිකව වැඩි වැඩියෙන් මුල්‍යමය සහය අවශ්‍ය සංදර්භයක පසුගිය වසරේ මුදල් ප්‍රමාණයවත් ඊළඟ වසරට වෙන්කිරීමට උත්සුකව ඇති බවක් නොපෙනේ. වාර්ෂිකව වැඩිවන උද්ධමනය හමුවේ එම මුදල් ප්‍රමාණයෙන් සරසවි පද්ධතියේ නඩත්තු වලින් එහාට යාමට හැකි වේ නම් ඒ අහම්බයකින්ම පමණි.

මෙවන් ක්‍රමෝපායන් ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් (Knowledge Hub) කිරීමේ රජයේ ඊනියා අභිමතාර්ථ හා කෙසේ පෑහේදැයි අපට නොතේරේ.මේ මොහොත වන විටත් සරසවි පද්ධතියේ පීඨ ගණනාවක අත්‍යවශ්‍ය ගොඩනැඟිලි හිඟයක් පවත්නා බව නොරසකි. ප්‍රමාණවත් තරමට දේශනශාලා, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් නොදියුණු වූ අවස්ථා අනන්තවත් පෙන්වා දිය හැක. මේ අඩුපාඩු නැවත නැවත උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන් අකැඹුලක් සේ දන්නා බැවිනි. ඒවාට අවශ්‍ය තරමින් ප්‍රයෝගික තලයේ විසදුම් නොදෙන කළ දැනුවත්කමින් ඇති ඵලක් නොමැත. සංවර්ධන හා පර්යේෂණාත්මක කටයුතු සඳහා පවතින නොහැකියාව මත බොහෝ පීඨ වලට සිදුව ඇත්තේ මීට දශක ගණනාවකට ඉහතදී තිබුණු දැනුම, ක්‍රමවේද සිසුන්ට ඉගැන්වීමටය.නමුත් වසර 4 කින් වැඩ ලෝකයට පිවිසෙන උපාධිධරයාට අත්දැකීමට සිදුවන්නේ එම යල්පැනගිය ක්‍රමෝපායන් නොවේද?

මේ තත්වයන් වෙනස් වීමට දැන්වත් විසදුම් සෙවීමේ දැවැන්ත වගකීමක් රජය සතුය. අධ්‍යාපනයට වැයකරන මුදල වියදමක් නොව ආයෝජනයක් බව පසක් කරගත යුතුමය. දළ දේශීය නිෂ්පාදිතයේ 5’ ක අවමයකට යටත්ව අධ්‍යාපනයට මුදල් ආයෝජනය කිරීමට අප කටයුතු නොකරද්දී, ඒ පිළිගත් ජාත්‍යන්තර සම්මත නම රැදී, ලෝකමට්ටමින් අපට වඩා අන්ත දුගී දුප්පත් රටවල් අපට වඩා මිලියන ගණනකින් මුදල් වෙන්කරන්නේ එය ආයෝජනයක් බව වටහා ගැනීමෙනි. රජය විසින් සිදුකරනු ලබන පුහු මාධ්‍ය සංදර්ශනාත්මක වැඩසටහන්, අතළොස්සගේ මන දොළ පිනවන, හරසුන් ව්‍යපෘති වලට කරනු ලබන බිලියන ගණන් ආයෝජන රාජ්‍ය සරසවි වලට කළ නොහැක්කේ මන්දැයි අපට නොතේරේ. රජය විසින් මෙම තත්ත්ව හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියම් යෙදිය යුතුය.

විටෙක රජය විසින් නිර්ලජ්ජිත මඩ ප්‍රහාර එක පිට එක එල්ල කළද විශ්වවිද්‍යාල පද්ධතියේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයයි.අද වන විට සමස්ථ සරසවි පද්ධතියටම අඩු ගුරු හිඟයකින් පිඩාවට පත්ව හමාරය.ඇතැම් පීඨවල අත්‍යවශ්‍ය අවම ප්‍රමාණයවත් නොමැතිකමින් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත. තව තවත් ආචාර්යවරුන් කැන්දාගෙන එම වෙනුවට ඉතිරිව සිටින ආචාර්යවරුන්ටත් පල නොකියා පළා බෙදන අයුරක් දක්නට ඇත. ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට මේ දක්වා ස්ථිරසාර පිළියමක් ලැබී නැත. විදේශගත වීම හරහා වඩාත් සුඛිත මුදිත දිවිපෙහෙතක් ලැබිය හැකිවුවද ඔවුන් එම පහසු තීරණයට යනු වෙනුවට ලක් මවට සේවය කිරීමට අභිලාෂයෙනි. නමුත් ඔවුනට හිමි නිසි ගරුත්වය ලබා දීම රජයේ මුලිකම වගකීමකි. ඔවුන්ට පර්යේෂණ සඳහා , වැඩිපුර අධ්‍යනයට තිබු කාලය පවා අද මුදල් ඉපයීමට වෙන්කිරීමට ඔවුනට බලකර ඇත්නම් ඉන එහාට කවර නම් කතාවක්ද? මෙම තත්වය වහවහා වෙනස්ව ගොසින් කතාවෙන් ක්‍රියාවෙන් ඔවුනට නිසි ගරුත්වය ලබාදෙන වටපිටාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය.

අද වන විට රැකියා විරහිත උපාධිධරයන් ගණන 45,000  ක් දක්වා වැඩිව ඇත. එක වසර සිට සරසවියේ සිව්වැනි වසර තෙක් නිදහස් අධ්‍යාපනය ලබා දී රැකියාවක්ද රජය විසින් ලබා දිය යුතු යැයි අපි විශ්වාස නොකරන්නෙමු. නමුත් උපාධිධරයන් මෙතරම් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටීම හරහා පවත්නා විෂය නිර්දේශය හා උපාධියේ සැකැස්ම කොතරම් දුරට පවත්නා සමාජ ආර්ථික තත්ත්වයට ගැලපේදැයි විචාරශීලිව විමසීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුත්තකි. විශ්වීය නව ප්‍රවණතාවන්ට අනුකුලව එමෙන්ම ලාංකීය මුද්‍රාව සහිතව විෂය නිර්දේශ නිරන්තරයෙන් යාමත් කාලින කළයුතුය. මේ ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනුම උද්ගතව ඇති ප්‍රශ්න අතරින් අතලොස්සක් පමණි. පෞද්ගලික විශ්වවිද්‍යාල පණත කඩිමුඩියේ ගෙන ඒමට පෙරාතුව නැවත නැවත මෙම කරුණු විශ්ලේෂණාත්මක විමසා බලා කල්යල් නොයහම නිසි පිළිතුරු ලබාදීම කළ යුතුමය.

පංචාල් අබේසිංහ.

No comments:

Post a Comment