Friday, July 29, 2011

අංශ ප්‍රධානීන්ගේ අස්‌වීම පාලක සභා බාරගෙන නෑ එනිසා අලුතින් ලිපි නිකුත් කරන්නත් අවශ්‍ය නෑ - උපකුලපති සම්මේලනය


දිවයින 29/07/2011
නිලන්ත මදුරාවල

අංශ ප්‍රධානීන්ගේ ඉල්ලා අස්‌වීම පාලක සභාවන් භාරගෙන නොමැති හෙයින් එම ධුරවලට යළි අලුතින් පත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීමේ අවශ්‍යතාවක්‌ නොමැති බව ඊයේ (28 වැනිදා) තීරණය කළ උපකුලපතිවරුන්ගේ සම්මේලනය අංශ ප්‍රධාන ධුර බාර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඉල්ලා සිටියේය.

අංශ ප්‍රධාන ධුරවලින් ඉල්ලා අස්‌වීමේ ලිපි යළි ඉල්ලා අස්‌ කර ගැනීමට නොහැකි බව පවසන ආචාර්යවරුන්ගේ සම්මේලනය කෙසේ වුවද අද (30 වැනිදා) සවස පැවැත්වෙන එහි විධායක සභාවේදී සාකච්ඡා කර තීරණයක්‌ ගැනීමට නියමිතය.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උපකුලපතිවරුන්ගේ සම්මේලනය ඊයේ රැස්‌ වූ අතර වෘත්තීය ක්‍රියා මාර්ගය නතර කිරීම පිළිබඳ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක්‌ද එහිදී අනුමත විය. අංශ ප්‍රධාන ධුර භාර ගන්නා ලෙස ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටීමට ද සම්මේලනය තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතා "දිවයින" ට පැවසීය.

උපකුලපතිවරුන්ගේ සම්මේලනය ගෙන ඇති තීරණය පිළිබඳව අද සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.

ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැර සතියක කාලයක්‌ ගත වුවද මෙම ගැටලුව මත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

No comments:

Post a Comment