Monday, July 18, 2011

සරසවි බිම හා සරසවි සිසුවාගේ අනාගතය!


     නූතන මානව සමාජයේ අභිවෘධිය කෙරෙහි බලපාන්නා වූ හේතු ප්‍රත්‍යක්ෂ අතර රටක තිබෙන්නාවූ සාක්ෂරතාව ඍජු බලපෑමක් සිදුකරයි. එය රටක සාමාජීය මට්ටම මෙන්ම ආර්ථික මට්ටම කෙරෙහිද ඉතා සූක්ෂම ලෙස බලපෑම් සිදුකරයි. එය රන්කිරි කට ගා ගල් ලෑල්ලේ අකුරු කොටන්නා වූ මොන්ටිසෝරි ළදරුවා සිට රටකට බුද්ධිමතුන් බිහිකරන්නාවු සරසවි බිමේ කොල්ලා කෙල්ල දක්වා යන මාර්ගයේ දිස්වන්නා වූ දර්ශනයකි. වර්තමානයේ සුභ අනාගතයක් යැයි පුරසාරම් දොඩනා රටේ ඇතැම් වගකිව යුතු පාර්ශවයන්, රටේ විශ්වවිද්‍යාලීය සිසුන් හට තිත්ත බෙහෙත් පොවා ,තිත්ත ටොපියක් බැස්සවීමට අරාදින ආකාරය මැදහත් සිතින් බලනා ඕනෑම අයෙකුට සුපැහැදිලි කරුණකි. රටක උගතුන් බිහිකරන්නා වූ කේන්ද්‍රස්ථාන අද කුඩම්මාගේ සැලකිලි ලබමින්, සරසවි අධ්‍යාපනයට අද වන විට කණ කොකා හඬා ඇත. අද වන විට දේශන ශාලා අමු සොහොන් පිට්ටනි මෙන්, පාලු අම්බලම් මෙන් ගොඩනැගිලි වලට පමණක් සීමා වී ඇත. සරසවි ඇදුරන්ගේ ශ්‍රේෂ්ඨ සේවය තඹ දොයිතුවකටවත් මායිම් නොකරන දේශපාලකයෝ බඩගෝස්තරවාදය ‍රැකගනු පිණිස අද වනවිට රටේ සරසවි අධ්‍යාපනය බිල්ලට දීමට සැරසී සිටිති. රටේ උගතුන් බිහිකරන්නා වූ උගතුන් හට සිදුකරන්නා වූ සමාජ අසාධාරණය,රටේ අනාගතයක් භාරව සිටින මුළු මහත් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපි දැඩිලෙස හෙළා දකින්නෙමු.

අද වන විට සරසවි ගුරුන්හට ලැබෙන්නාවූ වැ‍ටුප ලෝකයේ අන්කිසිම රටකටත් වඩා පහළ මට්ටමක පවතී. අධ්‍යාපන මට්ටමට අනුව රටක ඉහළම වැ‍ටුප් දැරියයුතු පිරිස අතර ඔවුනට ලැබී ඇති ස්ථානය කුමක්ද?

මෙහි සියලුම වගකීම් දැරිය යුත්තේ රටක් පාලනය කරනා රජය විසින්ය. කොටින්ම කිවහොත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය භාර අමාත්‍යවරයාය. කණගා‍ටුවට කරුණක් නම් පසුගිය වසර දෙක තුළදී අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කළ අගය 2.8% වන අතර, එයින් උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රමාණය 0.5% පමණ අඩු අගයක් වීමයි. එය අනෙකුත් රටවල් හා සංසන්දනයේදී ඉතා අඩු අගයකි. උදාහරණයක් ලෙස සාක්ෂරතාව අප රටට වඩා පහළ මට්ටමක ඇති මොන්ගෝලියාව 9% ක්ද,කියුබාව 18.7% ක්ද,යේමනය 9.5% ක්ද, මැලේසියාව 8.1% ක්ද ඔවුන්ගේ දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇත. 2008 වසරේ සංඛ්‍යා ලේඛන වලට අනුව උසස් අධ්‍යාපනය සඳහා වැය කර ඇත්තේ 0.31% කි. එම වසර රටේ පැවති වාතාවරණය අනුව යුද්ධය මත එම වරද පැටවිය හැකිය. එය මුළු මහත් ජාතියක් වෙනුවෙන් අපිඑකාවන්ව ඉවසා දරා සිටියෙමු. එයට සරසවි ඇදුරන්ගේද නොමද සහය ලැබිණ. මක්නිසාදයත් ඔවුන් විසින් එම අවස්ථාවේදී තමාට ලැබෙන්නාවූ මාසික වේතනය වෙත බලා ලද දෙයින් සතු‍ටු වී යුධ ජයග්‍රහයනයට දැක්වූ නොමද සහය නිසාවෙනි.

සුබ අනාගතයක් පෙර‍ටුකොට ගනිමින් පසුගිය දෙවසර තුළදී මහින්ද චින්තනය යටතේ ශ්‍රී ලංකාවේ හතර දිග් බාගයේ ඉදිකෙරුනු සමහර ඉදිකිරීම් සලකා බැලීමේදී රටට සිදුකළ ලාභය කුමක්ද යන්න විවාදයට බඳුන් කළ යුතු කරුණකි. මෙම වසරේදී අප රට ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රටක් ලෙස කටයුතු කිරීමට හැකිවීම සතුට දනවන කරුණකි. කණගා‍ටුවට ඇති කරුණ නම් මෙයින් ඇතිවූ ලාභය කුමක්ද යන්නයි. අද වනවිට ක්‍රිකට් පරිපාලන කමි‍ටුව පත් වී ඇති මුල්‍යමය වංචා හා තරඟ ප්‍රවේශපත්‍ර වලින් ඇතිවූ පාඩුව නම් සුලුප‍ටු නොවේ. මෙතරම් ධනස්කන්ධයක් නාස්තිකිරීම රටක ඉදිරි අනාගතයට මරු පහරකි. තවද ලෝකයේ ලොකුම පිටිය යැයි පවසමින් සිදු කළා වූ ඉදිකිරීම කෙතරම් මහජන මුදල් විනාශ කිරීමක්ද? මෙහි වරද ඇත්තේ පිටිය තැනීම නොව, පමණට වඩා ඔද තෙද පෙන්වීමට යාමය. එම පිටියේ තරඟ නැරඹීමට අපිද ගියෙමු. එහි වපසරිය කෙසේද යත්, පන්දුව නැරඹීමට දුර දක්නයක් සෑම ප්‍රේක්ෂකයකු හටම ලබාදිය යුතුය. සියලුම ප්‍රේක්ෂකයන්ට පන්දුව දැක බලාගැනීමට නොහැකි ක්‍රිඩා පිටියකින් ඇති ඵලය කුමක්ද? මෙවැනි කිසිම හරයක් නොමැති ක්‍රියාවන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම කෙතරම් අනුවණ ක්‍රියාවක් ද? මෙවැනි නාස්ති කර දමනා මුදලින් සරසවි ගුරු වැ‍ටුප් අර්බුදය විසඳා රටේ බුද්ධිමතුන් හට නිදහස් අධ්‍යාපනයේ පහස හරියාකාරව විඳීමට අවස්ථාව සලසා දිය හැකි නොවන්නේද ?

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා එම වැ‍ටුප් වැඩිකිරීමට නොහැකි බවත්,එසේ වැඩි කළහොත් රටේ අනෙකුත් පාර්ශවයන්ගේද වැ‍ටුප් වැඩි කළයුතුබවත්, තවද ඔවුන්ගේ වැ‍ටුප් වැඩිකිරීම අසාධාරණ බවත් සමාජගත කිරීමට තැත් දරයි. අවධාරණයෙන් කිව යුතු කරුණනම් ඔවුන් ඉල්ලා සිටින්නේ වැ‍ටුප නොව උසස් අධ්‍යාපනයට හිමි නිසි ගෞරවයයි. වැටුප් ගෙවීමට නොහැකියැයි කන් කෙඳිරි ගානා ආණ්ඩුව රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කළ, විනාශකරන ආකාරය කෙතරම් අමානුෂික නොවේද? පසුගියදා ආණ්ඩුව විසින් ඇමරිකාවෙන් ගෙන්වන ලද අති සුඛෝපබෝගී ලිමොසින් රථ තුන සඳහා වැය කළ මුදල මිලියන 2100කි. තවද අයිෆා උළෙල සඳහා විනාශ කළ මුදල මිලියන 100කි. නායකත්ව පුහුණුව සඳහා වැය කළ මුදල මිලියන 900කි. තත්වය මෙසේ තිබියදී රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් නැතිබව ප්‍රකාශ කරමින් සිදුකරනා ප්‍රෝඩාකාරී දෙබිඩි ප්‍රතිපත්තීන් ඇත්තෙන්ම පිළිකුල් සහගතය. ආණ්ඩුව විසින් විනාශ කළා වූ මේ විශාල ධනස්කන්ධය ආචාර්ය වැ‍ටුප් වැඩි කිරීමට යෙදවූයේ නම් , වර්තමානයේ සරසවි සිසුන්හට මෙවැනි දුක්ඛිත තත්වයක් උදා නොවෙනු ඇත.

අවසාන වශයෙන් සටහන් කළ යුතු දෙයක් ඇත. රටේ සිටිනා බුද්ධිමය ප්‍රජාවහට රජය විසින් සිදුකරනා සැලකීම ඉතා පහත් ගණයේය.ආචාර්යවරයෙකු යනු රටකට සිටිනා බුද්ධිමය දේපළකි. ඔවුන් ‍රැකගැනීම මුලු මහත් ශ්‍රි ලාංකික ජාතියක් වෙනුවෙන් සිදුකරනා මහඟු සේවයකි. පරදේසක්කාර සල්ලි කොළ සුවඳට ලොල් වෙමින් ජාතිය පාවාදෙන ඇතැම් දේශපාලුවන් හා ඔවුන්ගේ හෙන්චයියන් රටේ ජාතික ධනය සූරාකනවිට, රටේ නොදියුණුභාවය තව තවත් ඉස්මතුවේ. මේ අනුව ඉමහත් බලාපොරොත්තුවෙන් සරසවි බිමට පා තබනා, අසරණ දෙමාපියන්ගේ දරුවන්හට සිදුවන්නාවූ අසාධාරණය මෙපමණයි කියා කිව නොහැක. 


අවසානයේ ඔවුනට සිදුවන්නේ හැමදාමත් පාරක්,වටරවුමක් අසල බෝඩ් කෑලි ඔසවමින් උද්ඝෝෂණය කිරීම පමණි. දැන් මෙය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත.

සරසවි සිසුවනි,

ඔබගේ ජවය පෙන්වීමට ඇති හොඳම කාලය එළඹ ඇත.

අපි එක්වෙමු.

සරසවි නිදහස රැකගමු!!!!

No comments:

Post a Comment