Thursday, July 14, 2011

අපි තාමත් උසස් පෙළ

                                     
                    “උසස් පෙළ පන්තිය කියන්නේ ජීවිතේ turning point එක“ බව සදහන් කරමින් තමයි උසස් පෙළ ගුරුවරුන් පාඩම් පටන් ගන්නේ. මේ කතාවේ බරපතලකම තේරුම් ගත්තු, ජීවිතේ වගකීම් ගැන හිතපු අය විභාගය සමත් වෙන්න වෙහෙස වුණේ කරන්න පුලුවන් හැම කැපකිරීමක්ම කරමින්. උසස් පෙළ පන්තියේ හිටපු අවුරුදු 2 ½ පුරාවටම පාන්දර 2-3 වෙනකම් නිදි මරාගෙන පාඩම් කරපු ඒ අයට තමන්ගේ නෑදෑ හිතමිතුරන් ගැනවත් අඩුම තරමේ තමන් ගැනවත් සැලකිල්ලක් නොදක්වා වැඩ කරන්න සිදු වුණේ සමාජශීලීත්වය ශූන්‍යත්වයට පත් කරගෙනයි. ඒ කෙසේ වුවත් උසස් පෙළ පන්තියේ ගුරුවරුන් සුරපුරයක් ලෙසින් පෙන්වා දුන් සරසවි සිහිනය සැබෑ කර ගන්න ඒ සිසුන් කරපු කැපවීම හැම කෙනෙක්ම කරන්නේ නෑ, හැම කෙනෙක්ටම කරන්නත් බෑ. තමන් දරපු වෙහෙසට සරිලන ප්‍රතිඵල ලබමින් සරසවි වරම් ලබන්න පුළුවන් උනෙ ටික දෙනාටයි.ඒ අතර අවශ්‍ය සුදුසුකම් සපුරා නැති අනෙක් අය එම බලාපොරොත්තුව අත්හැර දමා පුද්ගලික උපාධි පාඨමාලා හා වෙනත් විකල්ප වෙත යොමුවෙද්දි තවත් කොටසක් රටටත් සමාජයටත් බරක් බවට පත් වෙමින් ඉතුරු වෙනවා.

         පසුගිය ජුලි මාසය වනවිට 2009 අවුරුද්දෙ උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලැබූ ලංකාවේ දක්ෂතමයින් කණ්ඩායම විශ්වවිද්‍යාල සිසුන් බවට පත් වී වසරක් ගත වී අවසන්. රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉංජිනේරු පීඨ වල ඉගනුම ලබන සිසුන්ගේ තත්වය පවතින්නේ ඉතාම සෝචනීය මට්ටමක. පළමු වසර අවසන් වන විට නියමිත කාල සටහන් අනුව සමාසික (semester) 2ක් අවසන් වී තම විෂය ක්ෂේත්‍රය පිළිබද සිසුන් තුළ පැහැදිලි දැනුමක් වර්ධනය වී තිබිය යුතුයි. සම්මතය එසේ වුවත් රාජ්‍ය අවධානය කිසිදු ලෙසකින්වත් යොමු නොවූ සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රමුඛව සරසවි පද්ධතිය තුළ උද්ගතව ඇති ගැටලු රැසක් හේතුවෙන් පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ  දැනුම අදටත් පවතින්නේ උසස් පෙළදී නැවතුනු තැනමයි. තම කෙටි ජීවිත කාලයෙන් වසරක කාලයක් නිරපරාදේ නාස්ති කර ගැනීමට සිහිනෙකින්වත් නොපැතූ, මහත් කැප කිරීම් මතින් උසස් පෙළ සමත් වූ ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ හා උසස් පෙළදී අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ජීවිතය කාලකණ්ණි කර ගත් පුද්ගලයෙකුගේත් ජීවිතවල වෙනසක් නොමැති තත්වයට පත් වීම වගකිව යුත්තන්ගේ අවධානය‍ට යොමු නොවීම පිළිකුල් සහගත කරුණක්.

                වර්තමානයේද ක්‍රියාත්මක පුද්ගලික විශ්වවිද්‍යාල වලින් පිට වන උපාධිධාරීන් මෙරට තුළ පවතින සීමිත රැකියා වෙළදපොළ ගිලගන්නා විට, බලධාරීන්ගේම වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් උපාධිය ලබා ගැනීමට මාස ගණනක් ප්‍රමාදව දේශීය විශ්වවිද්‍යාල වලින් පිට වන උපාධිධාරීන්ගේ ජීවිත වල වගකීම භාර ගන්නේ කවුරුන්ද? මෙම ගැටළුවේ බරපතලකම තවමත් වගකිව යුත්තන්ගේ ඇගට නොදැනීම හේතුවෙන්දෝ, ඔවුන් අත්තනෝමතික ජනප්‍රිය තීන්දු හරහා ප්‍රශ්න යට ගැසීමට යෑමෙන් මුළුමහත් විශ්වවිද්‍යාල පද්ධතියටම සිදු වන්නේ අනර්ථයක්ම පමණි. මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වීමට ඇති ප්‍රධාන බාධකය කහ පාට, කළු පාට කෙල්ලන් හා කොල්ලන් නොසිටීම නොව දේශීය වශයෙන් පර්යේෂණ නොකිරීම හා විදේශීය බුද්ධිමතුන්ගේ සේවය ලබා නොගැනීම බව නොවැටහෙන පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති පදවිය හෙබවීම ජාතියේම අවාසනාව නොවේද? 

              -කාලකන්නි මං-

1 comment: