Wednesday, July 20, 2011

“මා ඔබ ළඟ අම්මේ.........................”

ජීවිතයට නව අරුතක් ගන්න          සොයා
මව හා පියා සමඟින් උන් පැමිණ        ගියා
එය දුටු මගේ හිත එකවර මට      නොකියා
සිහියට ගෙනෙයි ආ දින සරසවිය    සොයා

       දහසක් දුක්‌ කම්කටොලු, බාධා ජයගෙන උපාධිය නම් කිරුළ පැළදීමේ අටියෙන් තවත් මැවිසුරන් පිරිසක් සරසවි මෑණියන් වෙත පියනගනවා මෙම 18 දා අපි දුටුවෙමු. ලියාපදිංචිවීමට මෙහි පැමිණි ඔවුන් නැවත සරසවියට එන්නේ මාස තුනකට අනතුරුවය. අනේ!! අපට බොරු කියන්නට නම් බැරිය. නැවත එන්නේ නොව නැවත ඒමට නියමිතව තිබුණේ මෙයින් තවත් මාස තුනකට පසුවය. අලුත් ජුන්නන් දැක සින්නන්ගේ සිත්වලට දැනෙන සතුට අපේ සිත් අහලකවත් නොමැතිබවද ඊට පෙරම අපි වටහා ගත්තෙමු. කාරණාව පැහැදිලිය. නිදහස් අධ්‍යාපන මාතාවගේ සෙවණේ වැඩෙන කුමන අයෙක්‌ හෝ වේවා ඇය මෙසේ ඔත්පළව, ලෙඩ ඇඳේ ඉදිද්දී කෙසේනම් මුවඟින් සිනා නගත්ද?එනමුදු, ගිය වසරේ අප මෙහි පැමිණි පළමු දින ඇය හිස අතගා තුරුලට හොවා ගත් අයුරු,එතැන් සිට සියල්ල අප වෙනුවෙන් කැපකර, අවසන තම දිවි කුසුමත් ලොවට හොරා අපේ නමට ලියනයුරු අපේ නෙත් මානයේ එකින් එක අද දිග හැරෙන්නේ දෛවයේ සරදමකටදැයි අපි නොදනිමු. ඒ ලෙන්ගතුකම,බැදියාව පෙරලා අප හදින් දළු ලෑමට, සංසාර බැදියාව හද කරලියේ විකසිත වීමට අපට එදා(හරියටම කියනවනම් ගිය වසරේ ජුනි 29 දා) පැය ගණනාවක් ඕනාවටත් වඩා ප්‍රමාණවත් විය.

කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
         ඔබ සරණයි අම්මේ....
රෑ දහවල් මට සෙවනැල්ලක්‌ මෙන්
         සුවඳ ඔබේ අම්මේ.....
මා ඔබ ළඟ අම්මේ.....................


කාලය ගතවී ඇත,වසරකටත් වඩා නික්ම ගොසිනි.අපේ පොඩි උන්ට ඇගේ ලතෙත්බව, උණුහුම කෙසේ වෙතත් ඇගේ සුවඳවත් දැණුනාදැයි සැකය. ගල් තාප්පය පසු කරමින් ඉදිරියට එන ඔබව දුවවිත් පිළිගෙන “පුතේ මං බලාන හිටියා උඹ එනකම්” කියන්නට අද ඇගේ දෙපා වාරු නොමැත. ඒත් ඔබට නොහැගෙන ඇගේ ඒ (අපට මෙහිලා විශේෂණ පද ගොනු කරනු උගහටය.) හිත ඇයට ලෙඩ ඇඳේ වැතිරී නිමග්නව සිටින්නට ඉඩ නොදේ . බැරි බැරගාතේ වුවද එබැවිනි ඇයව මෙහි වත්තම් කරගෙන ඔබ හමුවට අවේ.

අපට නම් දැන් සෑහෙන්න වැටහී තිබේ. ඒත් මේ අලුත් කිරි සප්පයෝ මොනවා දනිත්ද?අපි අපේ යුතුකම ඉටු කළෙමු. අපේ මතකයන්, මතවාද මෙන්ම ලත් පාඩම් ද අපි “මේ ඔබේත් අපේත් සදාදරණීය නවාතැනයි....” ලෙස ඔබේ අත් තැබුවෙමු. තෙළි තුඩෙන් මග දෙපස මෙසේ සැරසුවේ මුස්පේන්තු ගතිය ටිකක් හෝ අකා මකාලන්නට පමණක්ම නොවේ. නිදාහුන් මනෝ ලෝකයෙන් ඔබට දැන්වත් අවදිවන්නට ඒ ප්‍රමාණවත්දැයි අපි නොදනිමු.


සියල්ල අවසානයේ නික්මයන්නට පෙර ඔවුන්ටද තිබුණේ එකම ප්‍රශ්නයකි.කව්දෝ කියන පරිදි “මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා” අපි ද පුරුදු පරිදි නිහඩවම උන්නෙමු.

“අයියේ, කවදා විතර campus......... පටන් ගනීවිද ?”


                                               -මීට ඔයගොල්ලන් වෙනුවෙන් කැපවුණු,
                                               Level 2
ආදරණීය අයියලා හා අක්කලා.
                                               2011 – 07 – 18.

1 comment:

  1. munta meka visadanna kisima uwamanawak ne.boruwata penna sakachcha thiyanawa. janathawa denuwath karanawa kiuwa wedeta mokada une.ai thawath balan inne.

    ReplyDelete