Sunday, July 24, 2011

අපායේ සිට යම රජතුමා ලියයි

           පොඩි එකෙක් මොන්ටිසෝරි යන වයසට ආ පසු ආච්චිලා සියලා උන්ට එක එක කතා කියා දෙති. පව් කරන නරක ළමයි අපායේ යනවලු. එහෙ ගිහාම යම රජ්ජුරුවෝ දස වධ දෙනවලු. එය හරි වසයිලු. මොන පට්ටපල් බොරුද? දැන් අපාය තරම් සුන්දර තැනක් තවත් නැති තරම්. ඉස්සර නම් කොල්ලෝ හිතුවේ කෙල්ලන්ගේ අතින් අල්ලගෙන කැම්පස් වන්දනාවේ යන්න ඇත්නම් කියාය. දැන් මෙවන් පුහු මතවාද සංශෝධනය විය යුතු කාලය එළැඹ තිබේ. මන්ද ඊළඟ අවූරුද්දේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල කට්ඕෆ් මාර්ක් එකට වඩා අපායට ඇතුල්වීමේ  කට්ඕෆ් මාර්ක් එක වැඩිවන බැවිනි.

         මේ තත්වය පිළිබඳ මඳක් සොයා බැලීමට නර ලෝකයට ආවේ සිතකින් නොවේ. වරදීමකින්දෝ මා මතුවූයේ කැම්පස් එකේ කැන්ටිමේ කුස්සිය පැත්තෙනි. එහිදී දුටු දර්ශනයෙන් මාගේ සිතේ ඇතිවූ පහන් හැඟීම කෙසේද යත් යළි පොළොව පලාගෙන අපායටම යන්නට සිතිණි. මඳක් ඉදිරියට යන විට කැන්ටිමේ සේවකයෙක් පිඟන්වලට බත් බෙදමින් සිටියේය. ව්‍යංජන බෙදීමට මේස හැන්දක් නොමැතිව තේ හැන්දකින්එම කාර්යය ඉටු කරනු දැක සිතේ බලවත් සංවේගයක් ඇති විය.

          රස ගුණ කෙසේදැයි බැලීමට බත් කටක් කෑමට මට සිත්විය. ලුණු නම් ගාණට තිබේ. කොකියාගේ දහඩිය මහන්සියේත් ලුණු ඇති බව මට සිහිවුයේ එවිටය. වහාම කක්කුස්සිය වෙත යාමට අවශ්‍ය වුවද මට මෙන්ම බඩ අවුල් වූ අය බොහෝ ගණනක් සිටිය හැකි බැවින් පෝලිමේ සිටින්නට සිදුවනු නියතය. එහෙත් පුදුමයකි. කක්කුස්සියේ කිසිඳු පෝලිමක් නැත. මට හරකෙක්ට මෙන් කාරණය වැටහිණි. සතුන්ට ඕන කුණු ගොඩක් කෑ හැකිවාක් මෙන් මුන්ගේ උදරයද ඊට නිසි ලෙස අනුවර්තනය වී ඇත.

         බඩ ඌයියා නොවුවත් වටේපිටේ සිටි කෙල්ලන්ගේ කොල්ලන්ගේ මුණු නාලු වෙලාය. කස්ටිය බලා ගත්තු අත බලාගෙනය. ඊට හේතුව මොකක්දැයි දැන ගැනීමට ලඟපාත සිටි කොලු ගැටයෙක්ගෙන් විමසීමි. “අපි මෙහෙ වේලෙනවා හලෝ ” කැන්ටිමේ නිතරම වාගේ කරවල දෙන්නෙත් කොල්ලන් අරගෙන වේලිමෙන්දැයි ඇසීමට සිතුනත් එය මැටි ප්‍රශ්නයක් බැව් මටම පසක් වූයෙන් කට පියාගෙන සිටිමි. මට වැඩේ මීටර් නොවූ බව කොල්ලාට නෝට් වූ බැවින් “ලේක්චස් නෑ අයිසේ ” යි පැවසිය. එවිට කාරණය මොකක්දැයි වැටහිණි. “අයියෝ පුතා ගිහින් ඕක කියන්නකෝ පුතා බාරව ඉන්න ඇමතිතුමාට ” එවිට මදෙස තුෂ්ණිම්භුතව බලා සිටි ඔහු “තමුසේ මෙච්චර දවස් නිදාගෙනද අයිසේ හිටියේ ?” යි කියා ශ්ලෝකයකින් ඇමතිතුමාගේ ගුණ වර්ණනාවක් ද කළේය. එයට සවන් දීමෙන් පසු ඇමතිවරයා බැහැදැකීමට ප්‍රථම එතුමන්ගේ මෑණියන් සනීපෙන් සිටීදැයි බැලීම සුදුසු යැයි මට සිතිණි.

          තවුතිසාවේ සක් රජු නොවී අපායේ යම රජූ වීමේ භාග්‍යය මට වැටහෙන්නේ දැන්ය. සක් රජුගේ බිසවුන් වහන්සේ උදේට වතුර උණු කිරීමටත් දිව්‍ය බෝජන පිළියෙළ කිරීමටත් පඬුපුල් ආසනය යොදා ගන්නේ එය පැය විසිහතරේම  ගිණියම් වී ඇති බැවිනි. එබැවින් දැන් සක් රජතුමාගේ ගෑස් ටැංකිය මාස හතරක් වුවත් පාවිච්චි කළ හැකිය.ඒ පඬුපුල් ආසනයේ වැරදීමකින් හෝ ඉඳ ගත්තොත් පශ්චාත් භාගයෙන් භාගයක් තබා කාලක්වත් ඉතිරි වේදැයි සැක සහිතය. කැම්පස්වල එතරම්ම අම්බානකට ප්‍රශ්නය. අවුරුඳු ගාණක් තිස්සේ ඉගෙන ගෙන එන ආචාර්යයවරුන්ට ලැබෙන්නේ සොච්චම් පඩියකි. ඉන්දියාවේත් අපේ වගේ පස් ගුණයක් ආචාර්යයවරුන්ට පඩි ගෙවනවලු. වෙන කතා ඕනේ නෑ. අච්චර දුප්පත් ඉතියෝපියාවේත් බජට් එකෙන් 3.9% ක් අධ්‍යාපනයට වෙන් කරනවලු. මෙහෙ 2.8% යි. මේවා ඇහෙද්දී, දකිද්දී ඇඟේ පමණක් නොව මුහුදේද මාළු නැටීමට පටන් ගත් බැවින් වහාම ගොස් ඇමතිතුමා මුණ ගැසී ගැටලුව නිරාකරණය කර ගැනිමට ඉටා ගතිමි.

          කැම්පස් එකකට වඩා මඳක් ලොකු වූ කැම්පස් භාර ඇමතිතුමාගේ මන්දිරය සොයාගැනීම එතරම් අපහසු නොවීය. වත්තේ සිටිය හැකි දඩොරියන් පැමිණ දෙපා සිප ගැනීමට ප්‍රථම මම හනිකට ගෙට ගොඩ වීමි. අත දරුවකුගේ හැඩිමක් ගෙතුළින් ඇසි මා මවිතයට පත්විය. මැතිතුමාද තොත්ත බබෙක් මෙන් වුවාට කටහඬ හොඳින් හඳුන්නන බැවින් ඒ එතුමා නොවන බව පසක් විය. සෙමෙන් ගේ ඇතුළට ඔළුව දමා බැලීමි. කිරි අප්පට බල්ලෝ බුරපි. ගෙයි සාලේ මැද්දේ මැතිතුමා හිටගෙන තොටිල්ලක් පද්දයි. ළඟට කිට්ටුවී බැලුවිට ඒ අයි.ආර්.සී. තොත්ත බබෙක් බව තේරුණේ කොටා තිබු සුවිසල් පච්චය දුටු විටය. පපුව මැද්දේ ලොකුවට ‘වී’ යන්න කොටා තිබිණි. එහි අර්ථය කුමක්දැයි මැතිතුමාගෙන් විමසීමි. “තමුසේ පුලුවන්නම් ගෙස් කරනවා ” අපායේදී හැමදාම සිංහල පංතිය කට් කලද දන්න සිංහලෙන් කල්පනා කලෙමි. ‘විනාසය’, ‘විලංගු’, ‘විසබීජ’, ‘විරිත්තම’, ‘විකාරය’, ‘විලිලැජ්ජ’, ‘විලෝපික’ ම්හ් ..... ගැඹුරින් කල්පනා කළ විට මේ සෑම වචනයක්ම මැතිතුමාට කදිමට ගැළපුණද පොඩි එකාට ගැළපේදැයි හරියටම නොදනිමි. එවිටම පොඩි එකා එහෙට මෙහෙට ඇඹරෙන්නට විය.වම් අතේ හා දකුණු අතේ ද තවත් ‘වී’ යනු දෙකක් ඇති බව මා දුටුවේ එවිටය. දැන් ‘වි’යනු තුනක්ම ඇති බැවින් එම බැරෑරුම් ප්‍රශ්නය මම එතුමාට භාර කළෙමි. ‘වි.වි.වි’ කියන්නේ අයිසෙ විදේශ විශ්වවිද්‍යාල කියන එකනේ. ඒක නේද මගේ චුට්ටි පැටියාගේ නම? ‘කිචි කිචි කිචි’ කියා මඳක් පොඩි එකා සුරතල් කළ මැතිතුමා පොඩි එකාගේ නැප්කින් එකට දැඩි සෙනෙහසකින් හාද්දක් දුන්නේය. ඇමතිතුමාගේ මුණ ඇඹුල් වුයේ විදේශ විශ්වවිද්‍යාල බබා තෙමාගෙන තිබු බැවිනි. එක්වරම මිහිරි වදන් කිහිපයක් තෙපළමින්  නැප්කිනය ඉවත් කළ මැතිතුමා බබාවත් රැගෙන මඳකට ගේ ඇතුළට පිය මැනිය.

      තොටිල්ල තෙමි තිබූ බැවින් එහි රෙද්ද ඉවත් කර වෙනත් රෙද්දක් දමා මැතිතුමාට උදව්වක් කිරීමට මට සිත් විය. රෙද්ද මාරු කරන විට සිලිං බිලිං ගා මළු දෙක තුනක් බිම පතිත විය. ඒවා ඩොලර් පිරවූ මළු ය. මේ අනාථ විදේශ විශ්වවිද්‍යාල දරුවා රැකබලා ගැනීමට රටින් එවූ ආධාර විය යුතුය. මන්ද මන්දිරයේ මෙතරම් ප්‍රනීත ආහාර පාන තිබියදී ඇමතිතුමා ජරාව කතියි කිසි විටෙකත් සිතිය නොහැකි නිසාවෙනි. එවිටම ඇමතිතුමා බබාත් රැගෙන සාලයට පැමිණි බැවින් කිමිදී හුන් කල්පනා සාගරයෙන් වහා ගොඩට පීනා ගතිමි.

“ඇමතිතුමනි, මේ දරුවා හැර මෙවැනිම තවත් දරුවන් දරුකමට සාදා ගැනීමට බලාපොරුත්තුවක් තිබේද?”. “තිබේ තිබේ ” ඇමතිතුමා ගත් කටටම කීවේය. “ඉතින් ඔය විධිහට බබාලා හදන්න ඔබතුමාගේ සොච්චම් පඩිය මදි නේද?”. “සොච්චම් පඩිය?” ඇමතිතුමාට බකස් ගා කටින් පමණක් නොව තවත් තැනකින් හිනා ගියේය. “ඔබතුමා කන්න අඳින්නවත් බැරි තත්වයකට වැටෙන්න බැරි නෑ”. එතුමා ගැන පහළ වූ බලවත් සත්ත්ව කරුණාව නිසාම එසේ පැවසීමි. “බය නොවී ඉන්නවා අයිසෙ. මට කන්න තමයි මෙහෙ කැම්පස් තියෙන්නේ ”. “එතකොට මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කරලා, මේ විශ්වවිද්‍යාලවල තියෙන අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තොගේ විසඳන්න භාර වෙලා තියෙන්නෙ ඔබතුමාට නෙවෙයිද?”. මගේ ප්‍රශ්නයට ගම්මිරිස් පොඩ්ඩක් වැඩි වූ බව තේරුණේ එහි සැරට මැතිතුමාගේ බෝල මුහුණ හතරැස් වූ විට ය.

        මම වහාම පැනය ඉල්ලා අස් කර ගතිමි. මැතිතුමාගේ ඇන්ග්රි මූඩ් එක ශෝක මුඩ් එකක් වීමට මන්චි ජින්ජර් අවශ්‍ය නොවීය. එක්වරම සේරම නෑයන් ලොස් වුණු පටාචාරාව මෙන් බිම පෙරළි පෙරළී මැතිතුමා හඩන්නට විය. “ මෙහෙ කැම්පස් වලට මෙහෙම දෙයක් වේය කියල මං හීනෙකින්වත් හිතුවේ නෑ. ඉහි ඉහි...” දෙහිවල සූ එකේ හැල කිඹුලෙක්වත් මෙහෙම අඬනවා මා දැක නැත. කිඹුල් කඳුළුවලට කකුල් වණ වේ යැයි බියෙන් මම වහාම දෙපා ඉඳගෙන සිටි පුටුවෙන් උඩට ගතිමි. එකවරම හැඩිල්ල නැවතූ ඇමතිතුමා මා දෙස තුෂ්නීම්භූතව බලා සිටියේ ය. “ මොකද අයිසේ කකුල් උඩට ගත්තේ? නයි එනව ද?”. එතුමාගේ කතාව අමූලික සත්‍යයකි. එතුමාගේ දේශනය තවමත් ආරම්භ නොවූ බැවින් නයි ඒමට කිසිදු ඉඩක් නැත. එබැවින් බියෙන් සැකෙන් තොරව දෙපා බිම පතිත කල මා එතුමා හා සජීවී සංවාදයට එන්ටර් වුනෙමි.

“ඇමතිතුමෝ, ඇත්ත ද මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කුඩම්මාගේ සැලකිලි කියන්නේ?”. “කවුද කියන්නේ, මං ඒක තරයේම ප්‍රතික්ෂේප කරනවා”. කතාව ඇත්තය, කුඩම්මා පවා දරුවන්ට අඩුම ගානේ කන්න අඳින්න ටිකවත් ලබා දෙයි. අද රාජ්‍ය විශ්වවිද්‍යාලවල එකදු දේශනයක්වත් නැති බැවින් ඇමතිතුමා කාරණාව නිහතමානිව පිළිගැනීම ගැන සතුටු වුනෙමි. “එතකොට මේ දේශන පවත්වන්නේ නැති වුනාම ළමයින්ට උපාධිය ලබාගන්න බැරි වෙනවනේ.”  “අන්න මිස්ටර් පොයින්ට් එක. ඒකට තමයි අපි නායකත්ව පුහුණුව ලබා දෙන්නේ”. “ඒකයි මේකයි කනෙක්ට් වෙන්නේ කොහමද සෑර්?” යැයි මා ඇසු පැනයට පිළිතුරු දීමට එතුමා පුටුවේ හරි බැරි ගැසී වාඩි විය. මට පොඩි කාලේ සුරංගනා කතා කියා දීමට සීයා හාන්සි පුටුවේ ඇල වෙන අන්දම සිහියට නැගුණි. මෙයද සුරංගනා කතාවක් වීමට ඉඩ තිබේ.

“මන් මුන්ට කාලකන්නි කියන්නේ ඇයි? තේරුමක් ඇතුවයි එහෙම කියන්නේ. අවුරුදු 4ක් 5ක් ඕක අස්සට වෙලා කාලේ කාකා ඉදලා ඩිග්‍රිය අරං එනවා. අන්තිමට ජොබ් එකකුත් නෑ”. “ඉතින් ඒකටත් වගකියන්න ඕනේ ඔබතුමන්ලාගේම අයනේ”. හරස් ප්‍රශ්න ඇසීම ගොටුකොළ තරම් ඇඟට ගුණ නොවන බව තේරුණේ  මැතිතුමාගේ රත්වූ සුපහන් දෙනෙත් ආදරයෙන් මා දෙස බලා සිටින බව දුටු විටය. “මේ අවුරුදු ගණනක් කන කෝර්ස් එකට වඩා හොඳ කෝර්ස් එකක් අපි සතියෙන් කරලා යවනවා. දැන් බලනවා අපි මේකේ එහෙ මෙහෙ නගින්න එහෙමත් පුරුදු කරවනවනේ, එතකොට ගහකට නැගල පොල් කඩලා, අතු කපලා උණත් ජිවත් වෙන්න පුළුවන්නේ, අනික පොල් ගණන් කාලෙනෙ අයිසේ.” පෙර නැගු ප්‍රශ්නයම යලිත් දිව අගට ආවත් අමාරුවෙන් එය ගිල ගතිමි. “ඊළඟට අපි තාප්ප උඩින් පනින්න පුරුදු කරනවා. කම්බි වැටවල් අස්සෙන් රිංගන්න පුරුදු කරනවා. හදිස්සියකට පිට් පොකට් ගහල අයිතිකාරයා එළවන් එද්දී දුවාගන්න හරි පුලුවන්නේ. අනික රෑට ගෙයක් බිඳින්න උණත් ඒ වගේ දෙයක් ප්‍රයෝජනවත් වෙන්නැද්ද?” ඇමතිතුමාගේ විකල කතාව අසා මගේ සකල සරරීරයම බකල වුණු සෙයක් දැනිණි. “ඉතින් ඔබතුමන්ලා ඔය නායකත්ව පුහුණුව අවුරුද්දකට සැරයක් තියද්දි ඒකට මිලියන 2000 ක් වැය කරනවනේ. ලංකාවෙ විශ්වවිද්‍යාල ආචාර්යවරු 4000 ක් විතර ඉන්නවනේ.ඔය රුපියල් මිලියන 2000, 4000 න් බෙදුවත් එක්කෙනාට මිලියන 1/2 ගානේ එනවනෙ. ඒ කියන්නේ එක ආචාර්යවරයෙක්ට අවුරුද්දකට ලක්ෂ 5ක් ගානේ වැටෙනවනෙ. අපිට බැරිද ඔය නායකත්ව පුහුණුව නවත්තල ඒ සල්ලි වලින් පොඩි කොටසක් වැය කරලා මේ ආචාර්යවරුන්ගේ පඩි වැඩි කළානම්, එතකොට ප්‍රශ්නේ විසඳෙනවනේ”. අන්දමන්ද දුපත්වල අතරමං වූ ඇමතිවරයා කැල් එක හොයාගෙන රුපියල් 2000, 4000 න් බෙදන්න ට්‍රයි කරන්නට විය. මෙවන් වටිනා යුග පුරුෂයෙක් දායාද කිරීම සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති කිරීමට මම උඩ බැලීමි. “මම තරම් දරුවන්ට ආදරේ කෙනෙක් තවත් නෑ” කියා උඩ බිත්තියේ පොල් අකුරින් ගසා තිබිණි. හරාකිරි නමින් බඩ කපාගෙන මිය යාමේ ජපන් ක්‍රමයක් අසා තිබුණ ද මෙම වැකිය දුටුවිට එම ක්‍රමය අත්හදා බලන්නට මට සිත් විය. “ බය වෙන්න එපා අපි හෙට වෙද්දී 36%කින් පඩි වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟ සතියේ ඉඳල කැම්පස් පටන් ගන්නවා.” මැතිතුමාට බාල ගිරි දෝෂය ඇති බව දත් මා වහාම ඊළඟ පැනයට මාරු වුනෙමි. “මෙහේ කැම්පස් වැහුවම ඒවායේ ඉන්න දහස් ගාණක් ශිෂ්‍යයෝ අනාථ වෙනවනේ?”. “එකටනේ මගේ මේ පැටිය ඉන්නේ” කියමින් මැතිතුමා යලිත් විදේශ විශ්වවිද්‍යාල බබා සුරතට ගෙන සුරතල් කරන්නට විය. “ඉතින් දුප්පත් ළමයින්ට ඕවට දෙන්න තරම් සල්ලියක් තියනවයැ”. “අපෝ අධ්‍යාපනයට වියදම් කරන්න ලෝභ වෙන්නෙපා, අනික පිටරටවලින් පිළිගැනීමක් තියනවනේ. දුප්පත් එකාට ඉතිං කුලී වැඩක පලක් කරන් ඉන්න බැරියැ”. මා සිටගෙන සිටියේ ටයිල් කළ ගෙබිමක නිසා පොළොවේ පස් කෑමට සිතුණු අදහස සිතින් අත්හැරගතිමි.

ඇමතිතුමාගේ කතාව ඉවර වනවාත් සමගම පොළොව පැලෙන්නාක් මෙන් දැනුනි.මෙතුමාගේ බේගල් වරුසාවට මහී කාන්තාවගේ ශ්‍රී මුඛ්‍ය විවර වන්නාක් මෙනි. දසත සෙලවීමට පටන් ගැනුනි.මා පණ බියේ ගැහෙන මුත් ඇමතිතුමා මල් හිනාව දාගෙන තාමත් හීදී. කෙතරම් එඩිතර මිනිසෙක්ද? එක්වරම මා පය පැකිලී පොලෝ විවරය තුලට ඇදවැටිණි. නර ලෝකයේ විශ්වවිද්‍යාලවල හොල්මන් දැක මාගේ සිල්වත් සිත වල්මත් වී තිබූ බැවින් එය යලි කුල්මත් කර ගැනීමට යලි අපායටම යෑමට ලැබීම භාග්‍යක් කොට සලකමි.

3 comments:

  1. No matter who wrote this, it's truth in style carry your good work on....!!! thumbs up for the talent.

    ReplyDelete
  2. සිරා මචන් නියමෙට ලියලා තියෙනවා.කතෘ ගේ නමත් දැම්ම නම් හොදයි තමා ............

    ReplyDelete
  3. niyamai bro weldone you wrote the truth

    ReplyDelete