Tuesday, July 26, 2011

දැනුවත්වන්න, පෙළගැසෙන්න


දේශපාලනය හා රට තුළ එදිනෙදා සිදුවන සිදුවීම් පිළිබඳ සංවේදී සමාජය තුළ  මේ දින වල කතා කෙරෙන මාතෘකා කිහිපයක් අතුරෙන් ප්‍රධාන මාතෘකාවක් වනුයේ සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වර්ධනය පිළිබඳ පැන නැඟී ඇති ගැටළුකාරී තත්වයයි. ඉදිරියේයෙදී ඇති මැතිවරණයේ උණුසුම පවා යටපත් කරමින් කරළියට පැමිණ ඇති මෙම මාතෘකාව සමාජයට හා රටට අධික බලපෑමක් ඇති කරන මාතෘකාවක් වීම එහි ඉදිරි ආගමනයට හේතුවක් විය හැක.

කෙසේ නමුත් මාස දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ උත්තරයක් දීමට නොහැකිව එකතැන පල්වෙන මෙම අර්බුදය නිසා සමාජයට හා රටට සිදුවන හානිය හා පාඩුව පිළිබඳ කතා කිරීමට වචන නැති තරම්ය. ඉන් පාඩු ලබන ක්ෂේත්‍ර කිහිපයකි. එක් ක්ෂේත්‍රයක් වනුයේ සෘජුවම සරසවි ආචාර්යවරුන් හමුවේ අධ්‍යාපනය ලබන වත්මන් සරසවි සිසු ප්‍රජාවයි. අනෙක් කොටස වනුයේ විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වීමට වරම් පත් සිසු ප්‍රජාවයි. ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා  කල් ගතවී ඇති අතර විශ්වවිද්‍යාල වල මූලික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කඩාකප්පල් වීම නිසා වර්තමානයේ සරසවිය තුල සිටින සිසුන්ද දැඩි දුෂ්කරතා රාශියකට මුහුණ දී ඇත.

ඉහත කී වෘත්තීයමය ක්‍රියාමර්ගය නිසා සරසවි ඇදුරන් ඔවුන් දරන සියළු ස්වේච්ඡා කටයුතු වලින් හා ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත් වී ඇති අතර මෙම කරුණ පිළිබඳ සාමාන්‍ය ජනතාව සැලකිය යුතු දැනුවත් කමකින් සිටිය යුතු බව අපි තදින් විශ්වාස කරමු.

පසුගිය සමය තුළ පැවති කුරිරු යුද්ධය නිසා ඔවුන් වැටුප් වැඩිකර ගැනීමට අරගලයක් දියත් නොකලහ. නමුත් ජීවන වියදම ඉතා අධික ලෙස ඉහල යන හා යමින් පවතින මෙවැනි අවස්ථාවක එසේ ඔවුන් විසින් ඉල්ලනු ලබන ඉල්ලීම් අසාධාරණ එකක් යැයි කිව නොහැක. එයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාව වැනි තුන් වන ලොකයේ රටක බුද්ධිමතුන් යනු එම රටේ ආර්ථිකය ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට අදාල කොඳු නාරටියයි. එසේ රටට ඉතා වැදගත් බුද්ධිමතුන් දායාද කරනුයේ සරසවි ආචාර්යවරුන්ය. මේ නිසා එම ආචාර්යවරුන්ට රටේ හිමි විය යුතු ස්ථානය සුළු පටු නොවේ. එම නිසා මේ සියල්ල සලකා රජය විසින් සිදු කල යුතුව තිබුනේ ඔවුන් විසින් එසේ කරනු ලබන ඉල්ලීම් ඉටු කර දීමය. නමුත් වර්තමාන රජය එවැන්නකට වෙර දරන බවක් නම් නොපෙනේ.

මෙම අර්බුදය පිලිබඳ රජයේ සිටින වගකිවයුතු ඇමතිවරයෙක් ලෙස විමල් වීරවංශ ඇමතිවරයා වරෙක ප්‍රකාශ කලේ මේ අර්බුදය පිටුපස ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවයි. සරසවිය හා එහි ආචාර්යවරුන්ට ජාත්‍යන්තර මැදිහත් වීමක් ආවේ කෙසේ දැයි යන්න අපට නම් මහා ගැටළුවකි. ආවානම් එයට වගකිව යුත්තේ ද ආණ්ඩුවයි. කර කියා ගත දෙයක් නොමැතිව එසේ කටට එන යමක් කියමින් මෙම ප්‍රශ්නයෙන් ලිස්සා යාමට ඔවුන් වෙර දරන බවක් නම් පෙනේ. තවත් වරක අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ඔවුන් කෙසේ හෝ සිදුකරනු ලබන බවයි. සරසවි ආචාර්යවරුන් නැතිව ඔවුන් එය සිදු කරන්නේ ත්‍රිවිධ හමුදාව මාර්ගයෙන් ද යන්න අමාත්‍යවරයාගෙන් ඇසිය යුතුව තිබේ. S.B. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නම් පවසන්නේ විශ්වවිද්‍යාල තුල සිටින්නේ ගංජා කාරයන් බවයි.

තවද දේශප්‍රේමී, දේශමාමක සීතාම්බර පටසළු පොරවාගෙන සිටින ඊනියා දේශප්‍රේමී ආණ්ඩුව මගින් තවත් අපූරු වැඩකට අතගසා තිබේ. ඒ මෙරට ඇති දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබමින් උසස් පෙළ සමත් ව විශ්ව විද්‍යාලයට වරම් ලැබිය යුතු අහිංසක දරුවන් 1000කගේ පමණ එම අයිතිය අහෝසි කරමින් ඒ වෙනුවට එම ඉඩකඩ තුල විදේශීය සිසුන් ගෙනැවිත් පිරවීමේ ව්‍යාපෘතියයි. එම සිසුන්ට මෙරට වෛද්‍ය උපාධිය රු. ලක්ෂ 65කට ද ඉංජිනේරු උපාධිය රු. ලක්ෂ 35කට ද අලෙවි කිරීමට දැන් සියලු කටයුතු සූදානම් ය. මෙරට සරසවි වරම් අහිමි වූ ඉහත සිසුන් 1000 ඇතුලුව තවත් සිසුන් ලක්ෂ ගණනක් මහ මඟ අනාථ කරමින් විදේශීය සිසුන්ට මෙරට අධ්‍යාපන වරම් දෙන්නේ කාගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නද? මෙය මෙම ලිපිය කියවන ඔබගේ හදවතට දැනිය යුතු කාරණයකි. මේ වෙන කිසිවක් නොව නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ආරම්භක පියවරයි. රාජපක්ෂ ජනාධිපති වරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් නිදහස් අධ්‍යාපනයට අත තබා හමාරය.

එසේ කටයුතු කරන ආණ්ඩුවට, සරසවි ඇදුරන්ට නම් දීමට මුදල් නොමැත. නමුත් S.B. දිසානායකට අමාත්‍යංශයේ මුදලින් ලක්ෂ තුන්සිය ගනණක ප්‍රාඩෝ රථයක් මිලදී ගැනීමට මුදල් ඇත. සරසවි සිසු නායකත්ව පුහුණු මගඩියට වියදම් කිරීමට රුපියල් කෝටි 20ක් භාණ්ඩාගාරයේ ඇත. අනෙක් අතට ටෙන්ඩර් පටිපාටියට පරිභාහිර ලෙසින් වංචනික ලෙස ගෙන්වන ලද ඉන්ධන වලින් කොමිස් ගසන රාජ්‍ය නිලධාරීන් ද, බාල පොහොර රටින් ලාබෙට ගෙන්වමින් මහජන මුදල් ගසාකමින් ඔවුන් ලෙඩ කරන රාජ්‍ය නිලධාරීන්ද ආණ්ඩුවේ සිටියි. ආණ්ඩුවට කල නොහැකි එකම දෙය වනුයේ සරසවි ආචාර්ය වැටුප් ප්‍රශ්නය විසඳීම පමණකි.

කරුණු මෙසේ වෙද්දී ජනතාව ලෙස ඔබට කිව යුතු එක් කාරණාවක් ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් කරමින්, සරසවි ආචාර්ය වරුන් පවා අපහසුතාවයට පත් කරමින් මේ යන්නේ ඔබේ දරුවාගේ, සහෝදරයාගේ, මිතුරාගේ අනාගතය සුඛිත මුදිත කිරීමේ ගමනක් නම් නොවේ. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයන කිරීම හා සරසවි වැටුප් අර්බුදය මගින් පාඩු ලබන්නේ දැන් සරසවිය තුල සිටිනා සිසුවා නොවේ. ඔහු කෙදිනක හෝ උපාධිය ලබාගෙන සරසවිය හැර යනු ඇත. නමුත් මේ දැනුවත් කිරීම ඔබ වෙනුවෙනි. ඔබේ දරුවාගේ, සහෝදරයාගේ, මිතුරාගේ අධ්‍යාපනය වෙනුවෙනි. නැතහොත් අනාගතයේ ඔබට සිදු වනුයේ ඔහු හෝ ඇය වෙනුවෙන් විවෘත කරන ලද බැංකු ගිණුමක රුපියල් කෝටි 2ක් පමණ ඉතිරි කර තැබීමටයි. ඒ අන් කිසිවකටත් නොව ඔහුට හෝ ඇයට උසස් අධ්‍යාපනය ලබා දීමටයි. එම නිසා මේ සිදු කරගෙන ය‍න නිදහස් අධ්‍යාපනය ඔබෙන් උදුරන ත්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසෙන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව, යෝධ බල යෝධ වීර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
   

No comments:

Post a Comment