Showing posts with label නිදහස් අධ්‍යාපනය. Show all posts
Showing posts with label නිදහස් අධ්‍යාපනය. Show all posts

Friday, February 17, 2012

විචාරශීලිව ඇත්ත දකිමු......


ගතවන මේ නිමේෂය වූ කලී ලාංකීය තෘතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිශය සුවිශේෂී කඩඉමක් බව නොකිවමනාය. 1948 කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අප්‍රතිහත ප්‍රයත්නයක් ලෙස ඇරඹි නිදහස් අධ්‍යාපන සාර කෙතින් මුළු මහත් දිවයිනම විකසිතවුණු ඉතිහාසයක් අපට උරුමය. අද දින රට හමුවේ පවතින මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ක්‍රියාදාමය පිළිබඳව මතුපිටින් සිදුකරනු ලබන ඊනියා අතපතගෑමකින් එහාට ගිය පුළුල් හරයාත්මක සංවාදයක අවශ්‍යතාව එම ඉතිහාසය ඔබෙනුත් මගෙනුත් බලකර ඉල්ලා සිටින බව අතිශෝක්තියක් නොවන්නේ එබැවිනි.

ඔබත් මමත් දන්නා පරිදි ඕනෑම ප්‍රස්තුතයක් සර්වකාලීන හෝ සර්වභෞම තත්වයන්ට අනුව විග්‍රහකිරීම හෝ විසඳුමක් දීම සෛධාන්තිකකව විනා ප්‍රායෝගික තලයේදී සිදුකළ හැක්කක් නොවේ. මතුව ඇති තත්වය විග්‍රහ කිරීමේදී පවා බොහෝ දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව වරද්දා ගන්නා තැනක් බවට එය පත්ව තිබේ.ඒ වැරැද්ද හරහා ඇතම් විටක පරිකල්පන සීමාවෙන් ඉක්මවා ගිය, අනුභූතීන්ට භාජනය නොවූ සීමාවක් දක්වාම ඔවුන් මෙය විග්‍රහ කිරීමට කැන්ඳා ගෙන ගොස් ඇත. නමුත් මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප මෙම කාරණය ගැන කරන සාකච්ඡාව පවත්නා තත්ව හා රාමුව ගැන පුළුල් අවබෝධයක් හරහා සිදුකරනු ලැබූවකි.

ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය වූ කලී අද වනවිට අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අයත් වන්නකි. ඒ අර්ථයෙන් බලූ කල රජය විශාල අවදානයක් අධ්‍යාපනයට යොමු කර ඇතැයි යමෙක්ට සිතෙනු පුළුවන. මෙවන් කාරණයක් හරහා බලාපොරොත්තුවන ඵලදායීතාව කෙසේ වෙතත් කිසිවකුත් වගකීමක් භාර නොගන්නා තත්වයකට පත්ව ඇති බවක් දැකගත හැකිය. මේ බෝල පාස් කරගැනීම මීට දින කිහිපයකට පෙරාතුව සිදු වූ උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව හරහා පැහැදිලිව දක්නට ලැබිණ. උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව මෙහිලා සාකච්ඡාවේ වැදගත්කම අප දකිනුයේ එය ලාංකීය  තෘතික අධ්‍යාපනයේ ප්‍රවේශ දොරටුව වන බැවිණි. යමෙකුට ප්‍රවේශ දොරටුව බිඳ වැටෙන තැන ඉන් එහා ලෝකයක් ගැන සිතීමත් මිරිගුවක් නොවන්නේද?

ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන සුපුරුදු ප්‍රමාදයෙන් එහාට ගිය දිග්ගැස්සුණු පමාවක් මෙවර දක්නට ලැබිණ. ඒ පිලිබඳ කරන විමසුමේදී බලධරයන්ගේ පිළිතුර වූයේ විෂය නිර්දේශ දෙකක සිසුන්ගේ z-score එකම අගයකට ගෙන ඒමට අවශ්‍ය “ජ්‍යාමිතික සූත්‍රය” තවම සකස් වී නොමැත කියාය. එය තිබුණේ නම් ප්‍රතිඵල හෙට වුවත් දිය හැකි යයි විටක කියවිණ. අවසානයේ ප්‍රමාදයේ වගකීම භාරවුණේ සූත්‍රයටය. සූත්‍රයත් විභාග කළ සිසුන් හැදිය යුත්තේ දැයි සිතෙන තරමට ප්‍රතිඵල ප්‍රමාද කරමින් දිගින් දිගටම සිසුන් අසහනයට පත් කෙරිණ. විෂය නිර්දේශ දෙකක සිසුන් විභාගයට මෙවර මුහුණ දෙන බවත්, එම දෙපිරිසටම එකම Z ලකුණක් දිය යුතු බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක අවශ්‍යතාවක් පවතින බවත් හඳුනාගත යුත්තේ මේ අවසාන නිමේෂයේද? මීට වසර ගණනාවකට පෙර මෙවන් තත්වයක් උද්ගතව තිබු බව හඳුනාගැනීමට අදාල බලධාරීන්ට නොහැකිවූයේ මන්ද? සතියක් ප්‍රමාද වී නිකුත් වූ ප්‍රතිඵලවල නිරවද්‍යතාව පිලිබඳ ගැටලුව මතුවන්නේ ඊළඟටය. රජය කුමකින් කුමක් පැවසුවත් රජයේ ඉතිරිව තිබු එකම විශ්වාසනීය ආයතනය වූ විභාග දෙපාර්තමේන්තුව තම විශ්වසනියත්වය නැමති සාධකය නිරුවත් කොට හමාරය. ඒ සාධකය තවමත් ඉතිරිව ඇත්නම් සොයාගොස් අපුල්ලා, නැවත පළඳා ගැනීමේ බැරෑරුම් අභියෝගය අද එම ආයතනය ඉදිරියේ ඉතිරිව ඇත. ප්‍රතිඵල කලට වෙලාවට නිවැරදිව ඉදිරිපත් නොවේ නම් වසර තුනක් පුරා දහසකුත් වේදනා විදිමින්, නිඳිවරමින්, රටට ලෝකයාට ණය වෙමින් උසස් පෙළ කිරීමේ ප්‍රතිඵලයක් ඇත්දැයි යන ප්‍රශ්නය අද ද්විතියික අධ්‍යාපනයෙහි හිණිපෙත්තට යන සිසුවා තුළ මතුව ඇත. මෙකී ප්‍රතිඵල හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වන සංදර්භයක මතුව ඇති තත්වයේ බරපතළකම වහ වහා රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත.

රජය මගින් මෑත කාලිනව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙත වෙන් කරමින් පවතින මුදල් ප්‍රමාණය පිලිබඳ දැවැන්ත ගැටළුවක් ඇත. වාර්ෂිකව වැඩි වැඩියෙන් මුල්‍යමය සහය අවශ්‍ය සංදර්භයක පසුගිය වසරේ මුදල් ප්‍රමාණයවත් ඊළඟ වසරට වෙන්කිරීමට උත්සුකව ඇති බවක් නොපෙනේ. වාර්ෂිකව වැඩිවන උද්ධමනය හමුවේ එම මුදල් ප්‍රමාණයෙන් සරසවි පද්ධතියේ නඩත්තු වලින් එහාට යාමට හැකි වේ නම් ඒ අහම්බයකින්ම පමණි.

මෙවන් ක්‍රමෝපායන් ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් (Knowledge Hub) කිරීමේ රජයේ ඊනියා අභිමතාර්ථ හා කෙසේ පෑහේදැයි අපට නොතේරේ.මේ මොහොත වන විටත් සරසවි පද්ධතියේ පීඨ ගණනාවක අත්‍යවශ්‍ය ගොඩනැඟිලි හිඟයක් පවත්නා බව නොරසකි. ප්‍රමාණවත් තරමට දේශනශාලා, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් නොදියුණු වූ අවස්ථා අනන්තවත් පෙන්වා දිය හැක. මේ අඩුපාඩු නැවත නැවත උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන් අකැඹුලක් සේ දන්නා බැවිනි. ඒවාට අවශ්‍ය තරමින් ප්‍රයෝගික තලයේ විසදුම් නොදෙන කළ දැනුවත්කමින් ඇති ඵලක් නොමැත. සංවර්ධන හා පර්යේෂණාත්මක කටයුතු සඳහා පවතින නොහැකියාව මත බොහෝ පීඨ වලට සිදුව ඇත්තේ මීට දශක ගණනාවකට ඉහතදී තිබුණු දැනුම, ක්‍රමවේද සිසුන්ට ඉගැන්වීමටය.නමුත් වසර 4 කින් වැඩ ලෝකයට පිවිසෙන උපාධිධරයාට අත්දැකීමට සිදුවන්නේ එම යල්පැනගිය ක්‍රමෝපායන් නොවේද?

මේ තත්වයන් වෙනස් වීමට දැන්වත් විසදුම් සෙවීමේ දැවැන්ත වගකීමක් රජය සතුය. අධ්‍යාපනයට වැයකරන මුදල වියදමක් නොව ආයෝජනයක් බව පසක් කරගත යුතුමය. දළ දේශීය නිෂ්පාදිතයේ 5’ ක අවමයකට යටත්ව අධ්‍යාපනයට මුදල් ආයෝජනය කිරීමට අප කටයුතු නොකරද්දී, ඒ පිළිගත් ජාත්‍යන්තර සම්මත නම රැදී, ලෝකමට්ටමින් අපට වඩා අන්ත දුගී දුප්පත් රටවල් අපට වඩා මිලියන ගණනකින් මුදල් වෙන්කරන්නේ එය ආයෝජනයක් බව වටහා ගැනීමෙනි. රජය විසින් සිදුකරනු ලබන පුහු මාධ්‍ය සංදර්ශනාත්මක වැඩසටහන්, අතළොස්සගේ මන දොළ පිනවන, හරසුන් ව්‍යපෘති වලට කරනු ලබන බිලියන ගණන් ආයෝජන රාජ්‍ය සරසවි වලට කළ නොහැක්කේ මන්දැයි අපට නොතේරේ. රජය විසින් මෙම තත්ත්ව හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියම් යෙදිය යුතුය.

විටෙක රජය විසින් නිර්ලජ්ජිත මඩ ප්‍රහාර එක පිට එක එල්ල කළද විශ්වවිද්‍යාල පද්ධතියේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයයි.අද වන විට සමස්ථ සරසවි පද්ධතියටම අඩු ගුරු හිඟයකින් පිඩාවට පත්ව හමාරය.ඇතැම් පීඨවල අත්‍යවශ්‍ය අවම ප්‍රමාණයවත් නොමැතිකමින් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත. තව තවත් ආචාර්යවරුන් කැන්දාගෙන එම වෙනුවට ඉතිරිව සිටින ආචාර්යවරුන්ටත් පල නොකියා පළා බෙදන අයුරක් දක්නට ඇත. ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට මේ දක්වා ස්ථිරසාර පිළියමක් ලැබී නැත. විදේශගත වීම හරහා වඩාත් සුඛිත මුදිත දිවිපෙහෙතක් ලැබිය හැකිවුවද ඔවුන් එම පහසු තීරණයට යනු වෙනුවට ලක් මවට සේවය කිරීමට අභිලාෂයෙනි. නමුත් ඔවුනට හිමි නිසි ගරුත්වය ලබා දීම රජයේ මුලිකම වගකීමකි. ඔවුන්ට පර්යේෂණ සඳහා , වැඩිපුර අධ්‍යනයට තිබු කාලය පවා අද මුදල් ඉපයීමට වෙන්කිරීමට ඔවුනට බලකර ඇත්නම් ඉන එහාට කවර නම් කතාවක්ද? මෙම තත්වය වහවහා වෙනස්ව ගොසින් කතාවෙන් ක්‍රියාවෙන් ඔවුනට නිසි ගරුත්වය ලබාදෙන වටපිටාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය.

අද වන විට රැකියා විරහිත උපාධිධරයන් ගණන 45,000  ක් දක්වා වැඩිව ඇත. එක වසර සිට සරසවියේ සිව්වැනි වසර තෙක් නිදහස් අධ්‍යාපනය ලබා දී රැකියාවක්ද රජය විසින් ලබා දිය යුතු යැයි අපි විශ්වාස නොකරන්නෙමු. නමුත් උපාධිධරයන් මෙතරම් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටීම හරහා පවත්නා විෂය නිර්දේශය හා උපාධියේ සැකැස්ම කොතරම් දුරට පවත්නා සමාජ ආර්ථික තත්ත්වයට ගැලපේදැයි විචාරශීලිව විමසීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුත්තකි. විශ්වීය නව ප්‍රවණතාවන්ට අනුකුලව එමෙන්ම ලාංකීය මුද්‍රාව සහිතව විෂය නිර්දේශ නිරන්තරයෙන් යාමත් කාලින කළයුතුය. මේ ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනුම උද්ගතව ඇති ප්‍රශ්න අතරින් අතලොස්සක් පමණි. පෞද්ගලික විශ්වවිද්‍යාල පණත කඩිමුඩියේ ගෙන ඒමට පෙරාතුව නැවත නැවත මෙම කරුණු විශ්ලේෂණාත්මක විමසා බලා කල්යල් නොයහම නිසි පිළිතුරු ලබාදීම කළ යුතුමය.

පංචාල් අබේසිංහ.

Friday, February 10, 2012

උසස් පෙළ ප්‍රතිඵල සහ හොරාගේ අම්මගෙන් පේන ඇසීම

ප්‍රතිඵල ඇයිද මෙච්චර කල් පමා                    උනේ
අද දෙනවා හෙට දෙනවා කියල                     අනේ
දෙනවා කියල පැය ගාණක් පමා                   උනේ
දුන් ප්‍රතිඵලත් මේ මොනවද                  අවුලක්නේ

එකෙක් කියයි උඹට වඩා මම                     දක්ෂයි
rank එකෙන් කිව්වානම් ඒක                      සැකයි
ඒ නම් මදැයි තව දේවල් සිද්ධ                     උනයි
කලා කරපු උන් ගණිතෙත් පාස්                   උනයි

කාටත් සැකයි දැන්නම් මේ                     ප්‍රතිඵලය
සැවොම කියයි වරදිලු දිස්ත්‍රික්                      අගය
කාටත් හොරා නැතුවම කිසි                   කලබලය
ජාලෙන් යළිත් මතුවුනි නව                    ප්‍රතිඵලය

දෙවන වරත් දුන් ප්‍රතිඵල නිම                       වුයේ
තව එක් බසක ප්‍රතිඵල නෑ හමු                     වුයේ
පේපර් බලන්නට යැව්වද                       රුසියාවේ
එහෙ කොම්පියුටරෙත් කැඩිලද වගේ අපේ    පායේ

කොහොමද එකතු කලෙ දෙරණින් ප්‍රශ්න      කලා
කැරකුනි කොමා 360 කුත් එකක්                 කලා
පත් අට එකට සිඳ අරගෙන මෙව්වා              කලා
ඇයි වැරදිද මම ඒ දෙක එකතු                     කලා

ප්‍රතිඵල අවුල දැන අප මහ                    රජාණෝ
දැමු කොමිසමේ උප කුලපති               තුමාණෝ
විමසා බලා වූ සැම                          කාරණාවෝ
කොම්පියුටරේ වරදකි කිසි සැකක්               NO

උප කුලපති පත් කළේ සිසු                ඡන්දෙන්ද
ඔහු පත්කළේ ජනපති බව                   දන්නැද්ද
එහෙව් කොමිසමක විනිවිද බව                නැද්ද
ඇහුවේ පේන හොරාගේ                අම්මාගෙන්ද

මට බැරි දේ වයිමට කළ හැකි                   උනිද
එහෙව් මෙමට ගණ දෙවියොත්             කජ්ජක්ද
ප්‍රතිඵල ගැන සිසු පැමිණිලි                   නැගුනාද
කියයි බන්දු මැති සබේ දාගෙන                  සද්ද

කිවත් ඇමති ප්‍රතිඵල හරි                     දැකුම්කලු
මානව හිමිකමේ පෙත්සම් ගොඩ               වේලු
මෙවන් බසට ගැමි වහරේ                     කිව්වාලු
මුව නරි වදන් රෙදි පල්ලෙන්                බේරේලු

ජීවන මීගහගේ
6 කණ්ඩායම - ඉංජිනේරු පීඨය

Wednesday, January 25, 2012

විශ්වවිද්‍යාල අර්බුධයේ තවත් පැතිකඩක්, අනධ්‍යයන වෘත්තීය සමිති ක්‍රියාදාමය සහ එහි පසුබිම



රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම විවිධ හැලහැප්පීම්, අර්බුධ හමුවේ ඒවාට මුහුණ දෙමින් විකාශණයවු අතර මෑත කාලීනව අර්බුධ රාශියකට එකවර මුහුණපෑමට සිදුවීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උණුසුම් වතාවරණයක් පැනනගින්නට විය. පැහැදිලි කරගත යුතු තත්වයන් වන්නේ මෙම අර්බුධ කිසිවක් එකවර පැන නැගුණු ඒවා නොවන නිසාය. මෙම ගැටළුකාරී තත්වයන් දිගු කාලයක් තුළ සංවාදයට බඳුන් වී තිබුනත් නිසි විසඳුම් නොලැබීම නිසා අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඒ හරහා අපැහැදිලි චිත්‍රයක සේයාවක් මවමින් තිබේ. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ ඉතාමත් කතාබහට ලක්වු ආන්දෝලනාත්මක අර්බුධයක් ලෙසින් අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් අර්බුධය හැඳින්විය හැක. මෙම අර්බුධය සාකච්ඡාවට බඳුන් කල යුතු වන්නේ එම අර්බුධය හමුවේ විශ්වවිද්‍යාල කටයුතු බොහෝමයක් වරින්වර ඇනහිටීම් වලට ලක්වූ අතරම එවැනි තත්වයන්, විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවය කෙරෙහි කෙසේ බලපා ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තවමත් නිවැරදි වැටහීමක් නැති හෙයිනි. අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනයකදී පමණක් සමාජය හා බහුතර විශ්වවිද්‍යාල ජනතාව සොයාබලන ඔවුන්ගේ කාර්යභාරය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේද යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙසින් විමසා බැලීම, විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගත සුරක්ෂිතභාවය සොයන බොහෝදෙනෙකුට වැදගත් වේ.

අනධ්‍යයන සේවකයන් විශ්වවිද්‍යාල පද්ධතිය හා නිරතුරුව බැඳී පවතී. ශිෂ්‍යන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන්ගේ සහය නිරතුරුව හිමිවේ. ඔවුන්ගේ වැඩ මුරය වන්නේ පැය 8 ක කාලයකි (8 - 4). නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප දන්නා කාරණයක් නම් ඇතැම් ප්‍රයෝගික පරීක්ෂණ සවස 6.00, 7.30 දක්වා පමණ දීර්ඝ වන අවස්ථා ඇත. එමෙන්ම විද්‍යාගාර නඩත්තු කිරීම, පිරිසිදු කිරීම්, සැපයීම් කටයුතු සියල්ල සිදුවන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලය හරහාය.  ගොඩනැගිලි, දේශනශාලා විවෘත කිරීම,පරීක්ෂණ කටයුතු ආදී ආචාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවටද දැනෙන බොහෝ ක්‍රියාකාරකම් රාශියකට සෘජුවම මෙන්ම වක්‍රවද අනධ්‍යයන කාර්යමණ්ඩල සම්බන්ධ වේ. සුළු කාල පරිච්චේදයක් අනධ්‍යයන සේවකයන්ගේ සහාය රහිතව පවත්වාගෙන යාහැකි වුවද එය දීර්ඝ කාලින නොවේ. යම් හෙයකින් පරිපාලන නිලධාරින්ද ඒ සමග ඒකාබද්ධ වුවොත් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වනු ඇත. විභාග කටයුතු, බඳවා ගැනීම්, සියල්ලම අඩපණ වනු ඇත. මෙය විශ්වවිද්‍යාලයේ සියලුම කටයුතු වලට දැඩිව බලපාන අර්බුධයක් වන්නේ මේ හෙයිනි.

අනධ්‍යයන සේවකයන් ලෙස ප්‍රචලිත මෙම කොට්ඨාශය කුමන සංයුතියක්‌ තුළින් නිර්මාණය වීද යන්න ප්‍රථමයෙන් විමසා බලමු. අනධ්‍යයන සේවකයන් ඔවුන්ගේ තනතුරු හා ශ්‍රේණි මට්ටමින් වු වෘත්තීය සමිති හා සංගම් තුළින් නියෝජනය වුවකි. මේ අනුව සමස්ථ අනධ්‍යයන සේවක පිරිස නියෝජනය වන්නේ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අධ්‍යයන සහයක සංගමය, විශ්වවිද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ලිපිකාර සේවා සංගමය, විද්‍යාගාර සහයක සංගමය ආදී වශයෙන් වු බොහෝමයක් සංගම් ඒකරාශී වීම තුළය. ඔවුන්ගේ ඇතිවී තිබෙන වැටුප් අර්බුධය නිසා වෙන්වු වෙන්වු ශ්‍රේණි නියෝජනය කරමින් පවත්නා වු වෘත්තීය සංගම් තම තමන්ගේ න්‍යාය පත්‍රය පසෙකාලමින් පොදු අරමුණක් සඳහා ඒකරාශී වී ඇත. ඒ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙනි. මෙහිදී පෙර අවස්ථාවලදී නොවු පරිපාලන නිලධාරීන්ගේ හා අධ්‍යයන සහයක සංගම්ද මෙම අවස්ථාවේදි සමස්ථ පොදු අරමුණ වෙනුවෙන් කැපවීමක් දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් වෘත්තීමය වශයෙන් ශක්තිමත් වීමකි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන මෙම වැටුප් අර්බුධය අවසන් වෘත්තීමය ක්‍රියාමාර්ගය තෙක්ම දිග් ගැස්සීමට ලක්වූ අතර මෙම අර්බුධකාරී වාතාවරණය කෙසේ ඇතිවුවක්ද යන්න දැනගත යුතු කාරණයකි. මුලික වශයෙන්ම මෙහිදී ඇතිවී තිබෙන්නේ වටුප් විෂමතාව පිලිබඳ ගැටලුවකි. රාජ්‍ය සේවය හා විශ්වවිද්‍යාල සේවා (අධ්‍යයන / අනධ්‍යයන) සැලකු විට විශ්වවිද්‍යාල සේවා වල වැටුප් තල ඉදිරියෙන් පැවතිය යුතුය. සම්මතයක් වශයෙන් විශ්වවිද්‍යාල සේවා පමණක් නොව සංස්ථා මණ්ඩල ආදී ආයතනවලද වැටුප් තල රාජ්‍ය අංශයකට වඩා 33% ක් ඉදිරියෙන් පැවතිය යුතුය. ඊට සාධාරණ වු හේතු ගණනාවක් දැකිය හැක. මුලිකව විශ්වවිද්‍යාල සේවා සඳහා බදවා ගැනීම් සිදුකිරීමේදී රාජ්‍ය අංශයේ සේවා වලට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් හා පලපුරුද්ද සලකා බලයි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට රජය විසින් ලබාදී ඇති විශ්‍රාම වැටුප්, අග්‍රහාර රක්ෂණය, නිවාස ණය (4.5% පස් අවුරුදු, දස අවුරුදු) ආදී වරප්‍රසාද රැසක් විශ්වවිද්‍යාල සේවා වලට නොලැබෙයි. ඔවුන්ගේ ඇත්තේ ඔවුන් විසින්ම දායකත්වය ලබාදී පවත්වාගෙන යන විශ්‍රාම වටුප් ක්‍රමයක් හා අග්‍රහාර රක්ෂණ අරමුදලක් පමණි. මෙවැනි තත්වයක් තුළ වැටුප් සංශෝධන ගණනාවකට පසුව අවසන් වරට 06-2006 චක්‍රලේඛණය (2006 ජුනි මස) මඟින් සිදු කරන ලද වැටුප් සංශෝධනය මඟින් රාජ්‍ය සේවාවල හා විශ්වවිද්‍යාල සේවාවල වැටුප් තල සමාන කර ඇත. මෙම වැටුප් තලයන් සමාන වුවත් රාජ්‍ය අංශයකට හිමි වරප්‍රසාද කිසිවක් විශ්වවිද්‍යාල සේවාවලට හිමිවන්නේ නැත. උදාහරණයක්‌ ලෙස සඳහන් කළහොත් ජෙයෂ්ඨ මහාචාර්යවරයාගේ හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ/ අමාත්‍යංශ ලේකම්වරයාගේ වැටුප් තල සමාන කර ඇත. එතැනින් ආරම්භකර ඉන් පහලට වු ශ්‍රේණි හා වැටුප් තල සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාකර ඇත.නමුත් මෙහිදී විශ්වවිද්‍යාල සේවකයන් ඉල්ලා සිටින්නේ තමන්ටද ඉහත වරප්‍රසාද ලබා දෙන මෙන් නොව තමන් මුලින් පිහිටා තිබු වැටුප් තල වලම පිහිටුවනු ලෙසය. එලෙසම වාර්ෂික වර්ධක ලබාදීමේදී එය මුලික වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස ගණන් බලයි.නමුත් අදාල ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක මොවුන්ව පිහිටුවා ඇත. මෙම විෂමතා සියල්ල පාහේ වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාවට විස්තරාත්මකව පැහැදිලි කරදී ඇතත් මෙම විෂමතා ඉවත් කිරීමට කොමිෂන් සභාව මෙතෙක් සමත් වී නැත.

මෙහිදී නැවතත් සඳහන් කළයුතු කරුණක් වන්නේ විශ්වවිද්‍යාල සේවක පිරිස් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිවීමක් නොව මන්ද යත් වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාව මඟින් අනුමත කරන ජාතික වැටුප් වැඩිවීම් නොතකා එලෙස වැටුප් වැඩිවීම්  සිදුකිරීමට නොහැකි බව ප්‍රයෝගික තත්වයක් ලෙස වටහා ගත යුතු නිසාය. නමුත් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග වල ඔවුන් තවදුරටත් නිරතව ඇත්තේ එහි ඇති විෂමතා මෙන්ම වැටුප් විකෘතිතා ද බොහොමයක් නිසා අසාධාරණයට ලක්වී ඇති හෙයිනි. විශ්වවිද්‍යාල සේවා සැලකීමේදී අනධ්‍යයන සේවකයන්ගේ හා වැටුප් තලයට ඉහළින් පිහිටන ඉදිරි වැටුප් තලය වන්නේ අධ්‍යයන සේවකයන්ගේ වැටුප් තලයයි.මෙම වැටුප් වැඩිවීම් සිදුවිය යුත්තේ දෙපාර්ශවයටම සම්මත පරතරයකින් යුතුව සමගාමීවය. මේ සඳහා නිර්දේශිත අනුපාතයක්  සහිත වැටුප් වක්‍රයක් පවතී. නමුත් පසුගිය දශකය තුළ අධ්‍යයන කාර්යමණ්ඩල වලට විශාල වශයෙන් වැටුප් වැඩිවීම් ලබාදුන් අතර ඊට සමගාමිව අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම් ලබා නොදීම තුළ වැටුප් මට්ටම් අතර තිබිය යුතු අනුපාතය හා සුමට වක්‍රය බිඳ වැටීම සිදුවිය. එලෙසම මෙහි ඇති විෂමතාවයන්ට එක් උදාහරණයක්‌ කිවහොත් අධ්‍යයන කාර්යමණ්ඩලයේ මහාචාර්යවරයාගේ වැටුප් තලය හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉහළම නිළධාරියා වන ලේඛකාධිකාරීවරයාගේ වැටුප් තල එකම මට්ටමක පැවතිය යුතුය. නමුත් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමේදී පුස්තකලාධිපතිගේ වැටුපද ඊට සමගාමිව වැඩිවු නමුත් පුස්තකලාධිපති වගකිව යුතු නිලධාරියා වන්නේ ලේඛකාධිකාරීය. නමුත් ලේඛකාධිකාරීගේ වැටුප් තල අභිබවා යමින් පුස්තකලාධිපතිගේ වැටුප් තලය පිහිටුවා ඇත. මෙවැනි වැටුප් තල අතර තිබිය යුතු පරතර නැති කරමින් විකෘතිතා බොහොමයක් මෙහි දැකිය හැක.(මෙවැනි විෂමතා වැටුප් ශ්‍රේණි අතර රාජ්‍ය අංශයේ නිලධාරීන්ට සිදුවී ඇති අතර ඇතැම් සේවා ඒකාබද්ධ කිරීම් තුලින් සිදුවු විෂමතාවන්ට එරෙහිව මේ වන විට නීති මඟින් කටයුතු කරමින්ද පවතී. රාජ්‍ය සේවකයන්ගේ සේවා ව්‍යවස්ථා කිසිවක් නොතකා කතයුතු කිරීම නිසා මෙවැනි විෂමතා රාශියක් පන නැගී ඇත. ඇතැම් විට මෙය ජාතික අර්බුධයක් ලෙසද හඳුන්වා දිය හැකි නමුත් අප මෙහිදී සලකා බලනුයේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ලා ඇති වන බලපෑම්ය.)

පෞද්ගලික විශ්වවිද්‍යාල

උසස් පෙළ අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට බොහොමයක් ශිෂ්‍ය ප්‍රජාව සුදුසුකම් ලැබුවත් සීමිත සම්පත් හා තරඟකාරිභාවය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට ඇතුල්වීමේ හැකියාව ලැබී ඇත්තේ සීමිත පිරිසකටය. එය ඔවුන් ලැබු වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්ද වන්නේය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන ශිෂ්‍ය ප්‍රජාවට තම අනාගත සුරක්‍ෂිතභාවය වෙනුවෙන් උසස් අධ්‍යාපනික වරම් හෝ වෙනයම් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් මතුව ඇත.නමුත් එය විදේශ/ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන්ම පමණක් පිළිතුරු සොයා ගත හැකි ප්‍රශ්නයක්ද යන්න විමසාබැලිය යුතුය. දිනෙන් දින ඉහළ යන විරැකියාව ඊටම බද්ධ වූ දේශපාලන ඇඟිලි ගැසීම් හා රැකියා ලබාදීමේ කළුකඩ ව්‍යාපාර හා ‘පස්සා දොරෙහි’ දේශපාලනය හමුවේ ‘උපාධි කඩ’ ඇතිකිරීමෙන් පිළිතුරු ලබාගත හැකිද? අල්ප වු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පවතින්නාවු ඉහළ ධනවත් පන්තිය හෝ බහුතර මධ්‍යම පන්තිය හා පහළ දිළිඳු පන්තිය හෝ වෙනත් ආසියාතික රටවල ශිෂ්‍යයන් එම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළට ආකර්ෂණය කරගැනීමට අදහස් කරන්නේ නම එහි ඇති සක්‍යතාවය කුමක්ද යන්න සලකා බැලිය යුතුය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළහොත් ඒ සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හෝ වැටුප් අර්බුධ / විෂමතා වලින් හෙම්බත් වී සීමිත එම සේවකයන් ඒ සඳහා යොමුකරවා ගැනීමට ප්‍රයත්නයක් ඇතිවිය හැක. නමුත් මෙහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ වටිනා මෙහෙයක් සිදුකරන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටසක් වන ඔවුන්ගේ මතය පැසසීමට ලක් කල යුතුය. විචාරශීලිව ‘ලොකු ගොඩ’(මුදල්මය) බලා දුවන පිරිසක් නොවන බව රට හා එහි අනාගත අභිවෘද්ධිය කෙරෙහි සංවේදී වන තවත් පිරිසක් වන බව මෙහිදී සඳහන් කල යුතුය.

විශ්වවිද්‍යාල සඳහා වන පෞද්ගලික ආරක්‍ෂක අංශය හා නායකත්ව පුහුණුව.

රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය කුමක් වුවත් රජයේ ටෙන්ඩර ප්‍රතිපත්ති කුමක් වුවත් ටෙන්ඩර අතරමඟ නවතා නව පෞද්ගලික ආරක්‍ෂක අංශයකට විශ්වවිද්‍යාල පද්ධතිය භාරදී ඇත.මුහුණු වෙනස් නොවුනත් නිල ඇඳුම පමණක් වෙනස් කරමින් ආරක්‍ෂාවට පෙරට වඩා තුන් ගුණයක් පමණ වියදම් කරමින් එකම සේවය වෙනස් ප්‍රධානින් තුලින් ඉටුවීම ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරන්නකි. මෙම මුදල්ද වෙන්වන්නේ රටේ උසස් අධ්‍යාපන වැය තිරයටය. නමුත් ගුණාත්මකභාවයන් රහිත ඇතිවන මෙම තත්ව නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්වය තවත් පල්ලම් බසිනු ඇත.කලින් පවතී ආරක්‍ෂක අංශවල යම අඩුපාඩු හා චෝදනා රාශියක් තිබුනද නව ආරක්‍ෂක අංශයකට එය පැවරීම තුළින්ම පමණක් එම ප්‍රශ්න විසදී නැත. ඒ සඳහා බලධාරීන් ගත් ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන වැයතිරයකට තවත් බරක් වුවා පමණක් නොව තව අර්බුධ ද රාශියක් ඇතිකර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව, මෙහිදී සඳහන් කල යුතු වැදගත්ම කාරණයක් වන්නේ විශ්විද්‍යාල ප්‍රජාව ලෙස ශිෂ්‍ය, අධ්‍යයන, අනධ්‍යයන ආදී සෑම කොට්ඨාශයක්ම දැඩි මර්දනකාරී ක්‍රියා පටිපාටියකට දැනුවත්ව හෝ නොදැනුවත්ව ලක්කර ඇති බවයි. කිසිදු අවසරයකින් තොරව හමුදා පාලනයක ලක්‍ෂණ ගැන අසන්නට ලැබුණත් ඒ පිළිබඳව ඉදිරිපත් වන්නට මැලිකමක් දක්වන්නේද මෙම මර්ධනයේම ක්‍රියා පිළිවෙල නිසාය. නායකත්ව පුහුණුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගේ නායකත්වය හා විනය වැඩිදියුණු කිරීමටය. නමුත් එසේ එවන ලද පළමු කණ්ඩායම තුළින්ම එහි බොළඳ බව මනාව පැහැදිළි විය.ඔවුන් ඇතුල් වුයේද කලින් පවති විශ්වවිද්‍යාල පද්ධතිය තුළට මිස නායකත්ව පුහුණුවලද කඳවුරු තුළට නොවේ. ශිෂ්‍යන් අතර ඇතිවිය යුතු අන්තර් සබදතා සියල්ල සුනුවිසුනු කිරීමට එයට හැකිවන්නේ නැත. විශ්වවිද්‍යාල තුළට ඔත්තුකරුවන් රිංගවීම වැනි පහත් ක්‍රියාමඟින් විනය නිර්මාණය කල හැකිද යන්න තේරුම් ගත යුතු තත්වයකි. මිලියන ගණනින් හැඩවන මෙවැනි ව්‍යාපෘති සඳහා උසස් අධ්‍යාපනයට හිමි මුදල් ප්‍රමාණයම වැය වනවා නම් වැටුප් අර්බුධ, නේවාසිකාගාර ප්‍රශ්න, නඩත්තු සේවා, ආපනශාලා තත්වය හා ගුණාත්මකභාවය වෙනුවෙන් මෙන්ම පාඨමාලා ගුණාත්මකභාවය ගැනද විමසා බැලිය යුතුය. එසේ ගණන් බැලු කල, මහබැංකු වාර්තා කුමක් වුවත් ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට පැමිණෙන්නේද කප්පාදු වු ප්‍රතිපාදන ප්‍රමාණයකි. එසේ හෙයින් ප්‍රතිපාදන ප්‍රමාණාත්මක පමණක් ගණන් බැලීම රජය කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වභාවික මරණයක් කරා ගෙන යාමටද යන්න ප්‍රශ්නාර්ථයක් නංවයි.

විදේශ ශිෂ්‍යයන් සඳහා වන කෝටාව

ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදී එහි ඉහළ දක්ෂතා පෙන්වන ශිෂ්‍යයන්ට ඇතැම් විදේශ රටවලින් ශිෂ්‍යත්ව ලබාගත හැක.ඒ එම ශිෂ්‍යන්ගේ අධ්‍යාපනික සුදුසුකම් වලට සධාරණයකි. (රටේ බුද්ධි ගලනයට ප්‍රශ්නයකි). ශ්‍රී ලංකාවේ ඉතාමත් දැඩි තරඟකාරී විභාගයක් ලෙස උසස් පෙළ ඉහළ ගුණාත්මකභාවයක් ඇත. නමුත් විදේශ රටවලින් මෙරටට ගෙන්වන ශිෂ්‍යයන් අප රටට‍ පැමිණෙන්නේ එම මට්ටමේම ඇති විභාග ක්‍රමයකින්ද, එය අප රටට ප්‍රති බුද්ධිගලනයක් සිදුකිරීමට හැකිද, යන්න විමසා බැලිය යුතුය.මෙම ප්‍රශ්න වලට බලධාරීන්ට නිසි පිළිතුරු නොමැත. සියළුම ශිෂ්‍යයන් පැමිණෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා යැයි පැවසීම වගකීම් විරහිතභාවය මනාව පෙන්නුම් කිරීමක් මෙන්ම මෙවැනි ප්‍රතිපත්ති කගේ උවමනාවක්ද, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවකට ලක්කිරීමක් ද , රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති වල තත්වය කුමක්ද යන්න සියලු දෙනාටම දැනෙන කාරණයකි. ඒ සඳහා යෝග්‍ය බුද්ධිමට්ටමකින් යුත් ශිෂ්‍යයන් පැමිණෙන්නේනම් අපට ප්‍රශ්නයක් නැත. නමුත් එයින් අහිමිවන්නේ අප රටෙහි ශිෂ්‍යයෙකුගේ අවස්ථාවක් නම් මෙම අසහනය ඇතිකරන්නේ කුමන අරමුණු ඇතිවද යන්න ගැටලුවකි.මෙම ස්වභාවික මරණයක සේයාවක් අප තුළ ජනිත වුවද එහි ඝාතකයන් නිර්මාණය කරන තත්වයක් අද දැකිය හැක.එහි ඝාතකයන් වීමට ශිෂ්‍යයන් වන අපටත්, ආචාර්යවරුන්ටත්, අනධ්‍යයන සේවකයන්ටත් පිඹුරුපත් සකසන්නන්ගේ පිහිටෙන්ම හැකිවනු ඇත. 3% ක් ලබා දී ඇති විදේශ කෝටාව සම්පුර්න කර නැතත් තවත් වැඩි කරමින් එය 5% ක් දක්වා ඉහළ දමන්නේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ඇති අවස්ථාවන් තවත් හකුලවමින්ය. අප රටෙහි ශිෂ්‍යයන්ට ලැබිය යුතු නිසි අවස්ථාවන් ලබා දෙමින් කප්පාදුවකින් තොරව සිදු කල යුතු වුවත් එය එසේ සිදුවන්නේ නැත. මෙම කෝටාවද සියළු විශ්වවිද්‍යාලවලටද අයත් වේද? දැඩි ඉල්ලුමක් පවතින පාඨමාලාවන්ට පමණක් විදේශ ශිෂ්‍යයන් ඇතුළු වී ඇති අතර එවිට 5% ක කෝටාව සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගහණයට (21000) නොව පාඨමාලා ප්‍රමාණයට සලකා බැලූ විට විශාල ප්‍රතිශතයක් (20%) වනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් ප්‍රවර්ධනය කිරීමට අර අදින්නේ කුමන අරමුණුද යන්න පැහැදිලිය.මෙය පුන පුනා කිව යුතු තත්වයක් නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යම හෙයකින් හකුලා ගනු ලැබුවද වෙනත් මුහුණුවරකින් පනත් ගණනාවක්ම නැවත පැමිණෙනු ඇත. පනත් පමණක් නොව වෙනත් අර්බුධ රාශියක්ම වෙනත් මුහුණු ගණනාවකින්ම පැමිණෙනු ඇත. ඒ සියල්ලන්ගේම අරමුණු සෘජුව හෝ වක්‍රව එකක් බවට පත්වනු ඇත. කුමන ආකාරයේ මුහුණු පැමිණියත් එහි සැබෑ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.


විශේෂ ස්තුතිය : - K.M. සිරිසේන  - සභාපති , වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        S.P. ගමගේ          - භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        වසන්ත එදිරිසූරිය - ලේකම්, කාර්මික නිලධාරී සංගමය
අශෝක චන්දන    - ලේකම්, අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සංගමය

සාකච්ඡා කලේ :- චාමර මධුසංක, චතුර ගනීමුල්ල

සකස් කලේ :- MoraEunion වෙනුවෙන් චතුර ගනීමුල්ල.

Wednesday, January 11, 2012

යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට ඇත්තටම එරෙහි විය යුතුද?

                                                              මහා ශිෂ්‍ය සංගමය,
                                                          මොරටුව විශ්වවිද්‍යාලය.


දයාබර සොයුර සොයුරිය,
            ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුදෙනාටම අධ්‍යාපන අයිතිය සමාන ලෙස භුක්තිවිදීමට වරම් හිමි වී තිබේ. මේ හේතු කොටගෙන දියුණු රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට අපට හැකිවී තිබේ. මෙසේ සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු නිදහස් අධ්‍යාපන ක්‍රමය රජය විසින් කළුකඩ මුදලාලිලාට විකිණීමට උත්සාහදැරීම ඉතා භයානක තත්වයකි. සාරාංශව කිවහොත් අදවනවිට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියලු දෙනාටම සමව භුක්ති විඳීමට ඇති නිදහස් අධ්‍යාපනය, කිසිඳු ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත(‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සම්මත කොට මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් පමණක් බවට පත්කිරීමටය.
උක්ත පනත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය.

1.උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව,ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලය.(Sri Lanka Qualifications Framework, Quality Assurance and Accreditation Board.)

මණ්ඩලයේ සාමාජිකයන් 11 දෙනාගෙන්  සාමාජිකයින් දෙදෙනෙකු (සභාපති-ශ්‍රී ලංකා වෛද්‍ය සභාව/SLMC, සභාපති-ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය/IESL.මෙම නිලයන් සඳහා දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.) හැර ඉතිරි 9 දෙනාම දේශපාලන හැකියාවන් මත පත්වීම ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේශ්ත්‍රය දේශපාලන මඩ ගොහොරුව තුල එරීමට පාර කපන්නකි.

සියළුම උසස් අධ්‍යාපන ආයතන වල (රාජ්‍ය හෝ පුද්ගලික) කටයුතු අධීක්ෂණය මෙම මණ්ඩලය මගින් සිදු වේ.එමඟින්  වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල අහෝසි වී යාම රාජ්‍ය විශ්වවිද්‍යාල වල පැවැත්මට එල්ල වන්නා වූ මරු පහරකි.මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරිම,උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම,ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම හා සමාගම් පනතින් හෝ අයෝජන මණ්ඩල පනතින් රජයට ඉටු කර ගැනීමට නොහැකි වූ විශ්ව විද්‍යාල සතු දේපල විකිණීමේ හා බදු දීමේ නෛතික බලය මෙම මණ්ඩලය සතු වේ.

2.රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසම.
 (Non-State Higher Educational Institutions Council)
උසස් අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන නැතිනම් සංවිධාන ලියාපදිංචි කිරීම,එම ආයතන දියුණු කිරීමට ආධාර සැපයීම ,අධ්‍යාපනික ප්‍රතිපත්ති වලදී රජයට උපදෙස්  දීම  වැනි බලතල රාශියක් සභාව සතු වේ.13 ක් වන සාමාජිකයින්ගෙන් සියළු දෙනාම පත්වන්නේ දේශපාලන හැකියාවන්(ජනාධිපති හෝ උසස් අධ්‍යාපන ඇමතිගේ) මත වීම ඛේදවාචයකි.
පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම ඉතා පහසුවෙන් කල හැක්කක් නොවේ.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සමාජ විද්වතුන්ගේ විද්වත් සංවාදයකින්  තොරව කෙටුම්පත් කල මෙම පනත සම්මත වුවහොත් නිදහස් අධ්‍යාපනය මුදලට විකිණෙන දිනය නුදුරේදී එළබෙනු ඇත.



වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල සතුව පහත පරිදි ගැටළු රාශියක් පවතී.එම එක් කාරණයක් වෙනුවෙන්වත් කිසිම විසඳුමක් උක්ත පනතින් නොලැබේ.එබැවින් ඒ පිළිබඳව අපි සැකෙවින් විමසා බලමු.

ඔබට මතක ඇති සරසවි ආචාර්යවරු තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය.ඉහත පනතට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මෙලෙස අඩු වටුප් ලබන ආචාර්යවරුන්, වැඩි වැටුප් ලබාදෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇදී නොයනු ඇතැයි ඔබට තහවුරු කල හැකිද? උගත් ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉවත් වීම තුලින් ඒවායේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කාට නම් කිව හැකිද? එබැවින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල එහි ගුණාත්මකතාවය ආරක්ෂා කිරීම රජය මඟින් සිදුකලයුතු අත්‍යවශ්‍යම කාරණයකි. නමුත් රජය සිදු කරන්නේ උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් තව දුරටත් කප්පාදු කිරීමක් නොවේද?

වසර
2006
2007
2008
2009
2010
උ.අ. සඳහා වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස


0.452%


0.384%


0.348%


0.329%


0.305%

ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි.  එසේනම් පනතට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල තවදුරටත් කප්පාදු නොවේයැයි තහවුරු කලහැක්කේ කාටද?
එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුලට ගොඩබසින්නේ ආයෝජන මණ්ඩලයෙන් (BOI) ලබාදෙන බදු සහන පදනම් කරගෙනය. තවද පෞද්ගලික විශ්වව්ද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජිකයින් සඳහා වැටුප් ආදී නොයෙකුත් ක්‍රම තුලින් විදේශ විනිමය පිට රටට ඇදීයාම නොවැලැක්වීය හැක්කකි. ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද ප්‍රමිතියකින් තොරව පෞද්ගලීකරණය වී හමාරය. මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් ඉහත පනතින් මේ දෙයම විය නොහැකිද ? අද A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳදමා මේ අර අදින්නේ අර්ථයක් රහිත උක්ත පනත සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමක් සහ යුතුකමක් නොවන්නේද?

මදක් සිතන්න...........
(The Leaflet which has been distributed on 11-01-2012 by the MSU)

Sunday, January 8, 2012

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............. අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........

සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු                    මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර                   තමා
දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී                     පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි            "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන               විට
මට වැටහුණා හො හැටි ඉක්මනෙහි               කොට
සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය                         පිට
එන්නට හදනවා ඇතුළට කඩන්                        වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන                        රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන                   ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු              ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා                 විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම                      ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක්                    මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම                   හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු             මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති                       හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට                       කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක                     රන්දා
පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද                         මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ               ගතිය
කෑ ගැහුවාට හැටි අවුලක්                        නැතිය
හැදුවේ සූත්රය නිදි මරමින්                          සතිය
ඒකට යොදා ගත්තේ අපි                        ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත්         කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ  බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව        ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන්                      වළේ

මාතලීට ඇත දැන් හොදටම                       කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල                 ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට                      එබිලා
ඩ්රයිවින් පේපරේ කුණු කූඩෙක                 තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ                        දූට
බය වුණු පාර අද මේ සිදු උන                       දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු                  ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම්                    කාට

පංචසිකට හැදිලලු කැක්කුම                      ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට                       තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද            හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස්                  බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල                      ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර                   කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට               ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම්                   මේවා

යන විට සබාවේ ඔය විදිහට                       ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ                       බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට                  බලධාරි
අන්තපුරේටලු ඇත්තේ                          තේරි


සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)