Showing posts with label අපේ සරසවිය. Show all posts
Showing posts with label අපේ සරසවිය. Show all posts

Saturday, March 3, 2012

අඛණ්ඩ වැඩ වර්ජනේ.................


ඉගෙනීම පමණක්වු අපගේ විශ්වවිද්‍යාල ජිවිතයට නිවාඩුවක් විවේකයක් යනු සිතෙහි ඇති පීඩනය නිවා ගැනීමට මහඟු අවස්ථාවකි. එහෙයින් අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයට සුදානම්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපිද නිවාඩුවක් ලබා ගැනීම සඳහා සුදානම් වුනෙමු. සමහරුන් ඔවුන්ගේ ඇදුම් පොදිගසා ගම්බිම් කරා යෑමට සුදානම් විය. තවකෙක් මඟහැරුණු දේශන වල සටහන් සොයන්නට විය. තවකෙක් නිවාඩුපාඩුවේ තමන්ගේ සයනය සොයා වාර්තා කරන්නට විය. මේ සා වූ වැඩ අස්සේ අපේ බ්ලොග් එකට ලිපියක් ලිව්වා නම් හොඳයි කියා මට සිතින. ලිපිය ලියා අවසන් වනවාත් සමඟ අඛණ්ඩ වැඩ වර්ජනය දවසින් අවසන් විය. කරන්නට දෙයක් නැත. අඛණ්ඩ වැඩ වර්ජනය තවමත් අඛණ්ඩ යැයි සිතමින් මෙය කියවන්න....................................


                               මේ දවස් වල දඩෝරියා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය. ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුයි. බඩෙන් කාලක්වත් පිරෙන්නට ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැති නිසා විශ්වවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ වෙනදා මෙන් කවද්ද බලන්නට දඩෝරිය නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.

මුලින්ම හම්බුනේ ගහක් යටට් වී සාන්ත දාන්ත හීතල පිපිඤ්ඤා ගෙඩියක් මෙන් නිසොල්මනේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. දඩෝරියා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය.

"ලෙක්චර්ස් නැති නිසා හරි පාඩුයි නේද අයියෙ?"

"පිස්සුද ඕයි?" සිසුව නිකන් දාහට අරන් නිකම්ම දුන්න ගානට මැලවිලාය.

"එහෙනම් මෙච්චර දුකෙන් ඉන්නෙ??" දඩෝරියාටත් ඕන නැති කුනු ගොඩක් නැත.

"ලෙක්චර් තිබුනත් අපට හරියකට තේරෙන්නෑනෙ ඒ කියන මල විකර.ඒ උනත් මාසයක් ගානෙ හම්බුන 2500ත් මාස දෙකකින් හම්බුනෙ නැතුවහම අපි කොහොමද කාල ඇඳල ජීවත් වෙන්නෙ ඕයි?" කොල්ල ඉකි ගගහා අඬන්නට විය.

"මැතිතුමාට වත් කියල බැලුවෙ නැද්ද අයියෙ?

"පාහර බැල්ලිගෙ............"කොල්ලා බැන්නේ ඇමති තුමාටද ,තමාටද කියා හරි හැටි නොතේරුන නමුත් කොල්ලාට නහුටෙට තද වුන බව දැනගත් දඩෝරිය වචන පිටවෙනකොටම සතර පයට වෙර දී දුව ගොස් staff room එක පැත්තෙන් හිට ගත්තේය.

"එයාලට විතරක් පඩි වැඩි කරල හරි යනවද? අපි මේවට මොකුත් නොකරන එකමයි වැරදි.”
 "ඒකනෙ මෙයා, මම නම් කියන්නෙ එයාලට පඩි වැඩි කලොත් අපිත් ආයෙත් පටන් ගන්න ඕන ස්ට්‍රයික් එකක් හා නැද්ද?"
"ඒකනෙ, එයාලට ඔය කියන තරම් අග හිඟ නෑ අනේ.බොරුවටනේ ස්ට්‍රයික් කරන්නේ."

අන්තෝ ජටා බහී ජටා කිව්වලු. තව මාස ගානකට හරියට කෑම වේලක් ලැබෙන පාටක් පේන්නට නැති බැවින් දඩෝරියා හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

Work Shop එක පැත්තේ ලී ඉරන සද්දයක්වත් නැති බැවින් Instructorsලා Research එකක්වත් කරනවාද බලන්නට දඩෝරිය ඒ පැත්තට හොම්බ දැම්මේය.

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.ඒ කට්ටිය ජනෙල් දොරවල් හොඳටෝම ඇරගෙන කුනු කෙල පෙරාගෙන නිදිය.

"එපා......එපා......එපා......"බඩ තඩි කලු මිටි අන්කල් කාරයෙක් දැකපු හීනයකට හොඳටම බය වී කෑ ගහ ගෙන නැගිට්ටේ දඩෝරියා එතනින් කැපෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය.

"නරක හීනයක්වත් දැක්කද?" බල්ලෙක් වුනත් කරදරයකදී අහක බලාගෙන යාම හොඳ නැති නිසා දඩෝරියා ඇසුවේය.

"මහ භයානක එකක්. විශ්වවිද්‍යාල සේරගෙම ඉන්න ළමයි පාරට බැහැල මන්දිරේට දුවගෙන ගියා. මැතිතුමායි ඇමතිතුමායි දෙන්නවම අල්ලගෙන ගිහින් ගෝල්ෆේස් එක ගාවින් මුහුදට තල්ලු කරන්න හැදුවනෙ."

"පව් අනේ, අසරණ මහ ඇමතිතුමා. අංකල් ඒකද බය වුනේ?"

"නෑ බන්, එතකොටම මහ ඇමති තුමා කිව්වනෙ කියන ඕන දෙයක් දෙන්නම් මාව මුහුදට දාන්න එපා කියල."

අනෙක් පැත්තට හැරුනු බුවා නැවතත් ගොරවමින් නිදාගන්නට වූයෙන් දඩෝරියා පාරට බැස්සේ මැතිතුමාගේ ගෙවල් පැත්තට කිට්ටු කරන්නට හිතාගෙනය.

බරාස් ගා වැටුන බ්‍රේක් පාරක් නිසා උතුර දකුණ මාරු වූ දඩෝරියා වටපිට බැලුවේ බලු වෑන් එකවත් ආවාද කියලාය.මේ දවස්වල සීසන් එක නිසා බලු වෑන් එකක් වටේ කැරකෙන බව කිව්වේ අල්ලපු වැටේ කන් කොටා ය.මොනවා උනත් විශ්වවිද්‍යාලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලොකු සර් විද්‍යාලෙ හිටි හැම බල්ලෙක්ටම පිස්සු බලු බේත් විද්දේ ගිය සතියේය.මොනවා උනත් උන්දෑ රත්තරං මනුස්සයාය.

නැවතුන ඉන්ටර්කූලර් එකේ වීදුරුව පාත් වී ලොකු සර්ගෙ පින් පාට මූන එලියට ආවේය.

“දඩෝරියා කොහෙටද යන්නේ?”

“මැතිතුමා හම්බෙන්න කියලා සර්”

“නැගපන්. නැගපන්. මාත් මේ යන්නෙ ඒ පැත්තෙ”

 “උඹ මොකද ඒ පැත්තේ යන්නේ?” ලොකු සර් ඇහුවේ මූණ දෙල් කරගෙනය.

“මේ දවස්වල කන්න බොන්න හරි හිගයි සර්.” දඩෝරියා නගුටෙන් ටයන්න ගසා ඒ මත වාඩි උණේය.

“උඹ බය වෙන්නෙපා . මැතිතුමා අලුතෙන් විශ්වවිද්‍යාල වගයක් හදන්න යනවනේ. එතුමා කිවුවා මටත් එකක් දෙන්නම් කියල. එතකොට මම උඹව එහෙට එක්කන් යන්නම්කෝ. එතකොට මේ වගේ ජරාව කන්න ඕන නෑ.”

“ඔව්  ඉතින් ඔබතුමාල මේ කන විදිහට කාගෙන ‍කාගෙන ගියොත් අපි‍ට කන්න කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ තමා.” දඩෝරියා ඇඟට පතට නොදැනි කියා දැම්මේය.

“හැමදාම මෙහෙම ස්ට්‍රයික් කරන එකත් හරි නෑ නේද සර්.”

“මේකනෙ බං. ස්ට්‍රයික් කරනකන් විශ්වවිද්‍යාල වහල තියනවනෙ. එතකොට අපට පුලුවන්නෙ පෞද්ගලික උපාධි කඩේකට ගිහිල්ල මොනා හරි උගන්නල කීයක් හරි හොයාගන්න. අනෙක මැතිතුමාම කිවුවනෙ එහෙම කලාට වරදක් නෑ කියල”

මේ කතා අහගෙන තවදුරටත් කාර් එකේ යාම එපා වුණ දඩෝරියා කොල්ලුපිටිය හන්දියෙන් පාරට පැන්නේය.

A/C නිසා කරවුන මොළේ බුරුල් වෙන්නට හච්චිං දෙක තුනක් අරින කොටම මහඇමතිතුමා මතක් උන නිසා ‍දඩොරියා අරලිය ගහ මන්දිරේ පැත්තට හැරුණේය. ලිප්ටන් වටරවුම පැත්තේ ඉඳන් එන පෙලපාලියක හඬ ඇහුන නිසා දඩෝරියා පොඩ්ඩක් නැවතුනේය.රතුරත්න මල්ලිලා බෝඩ් කෑලි උස්සගෙන වැටවල් පෙරලගෙන කෑ ගහගෙන අරලිය ගහ මන්දිරේ පැත්තට එන්නේය.ඉස්සරහින්ම ආවේ කාස රෝගියෙක් වගේ කෙට්ටුම කෙට්ටු උසම උස පොරක්ය.

"කැම්පස් වහල තියෙන එක ගැන මොකද කියන්නෙ?"

මාධ්‍යවේදියෙක් මෑන්ව වට කරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කරති.

"මේ ඡන්දෙ දවස් ටිකේ ඕක වහල තියපු එක කොච්චර දෙයක්ද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!!!"

"ඒ කිව්වෙ?"

මාධ්‍යවේදීන්ගෙ කකුල් අතරින් රිංගා ගිය දඩෝරියා ඇසුවේ ඇත්තටම ඒ කතාව නොතේරුණ නිසයි.

“ අයියෝ සිම්පල්නේ. පළවෙනි එක අපට පෝස්ටර් ටික අලවගන්න අමතර වියදමක් යන එක නතර උණා. දෙක අපට මේකෙන් ඡනදෙට හොද සටන් පාඨයක් හම්බුණා.”

මෙහෙම කියපු පොර බෝඩ් ලෑල්ලක් අරගෙන ආයෙත් පිකටින් එකට සෙට් උණා.

පිකටින් එක නිසා ඉස්සරහ දොර වහල තිබුණත් කුණු කාණුවක් දිගේ බඩගාගෙන ගිහින් මහඇමති මන්දිරේ පස්ස පැත්තෙන් මතුවෙන්න දඩෝරියට පුලුවන් උණා. දඩෝරියා යනකොට මැතිතුමයි මහ ඇමතිතුමයි දෙන්නම මන්දිරේ ඉස්සරහ පඩිපෙළ උඩට වෙලා කල්පනා කරනවා.

“ආ දඩොරියා, ළමයෙක්වත් විශ්වවිද්‍යාල දාගන්නද?”

දඩෝරියා දැක්ක ගමන්ම ඇමතිතුමා සුපුරුදු පනාව දාන ගමන්ම ඇහුවා.

“යන්න තියෙනව නම් කොච්චර එකක්ද?? ඒත් ඉතින් ඕකට ගියොත් මැරෙන්න කලින් ඕකෙන් එලියට එන්න පුලුවන් වෙයිද සර්?”

විශ්වවිද්‍යාල බල්ලට ගිය බව දන්නවා උනත් ඌ නොදන්න ගානට ඇහුවා.

“ඒකත් ඇත්ත තමා. අවුරුදු 7ක් 8ක් යනකොට උඹලා මැරිලත් තියෙයි තමා” මහ ඇමතිතුමත් උගුරෙ රැල් බුරුල් ඇරියා.

“නෑ නෑ සර්... දැන් එහෙම වෙන්නෑ.. අපි ‍‍පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවහම අවුරුදු 4ක උපාධිය තුනෙන් උනත් කරල එලියට ආවහැකිනෙ”

“අපේ කැම්පස් ආයෙ පටන් ගන්න එකක් නැද්ද සර්?” දඩෝරියා ප්‍රශ්නේ කෙලින්ම මහ ඇමතිතුමාට දැම්මා. ප්‍රශ්නේ ඇහුවා විතරයි එතුමා බිම පෙරලි පෙරලි අඩන්න වුණා.

“ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ? මම අවුරුදු 5ක් යනකන් මෙන මල යකෙක්ටවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ. අයියෝ ඇයි මට මෙහෙම කරන්නේ....? මම කොහොමද මුන්ට පඩි වැඩි කරන්නේ....?”

මහ ඇමති තුමා පොඩි එකෙක් වගේ අඬනවා,මැතිතුමා මහ ඇමති තුමාව අල්ලගෙන වත්තන් කරගත්තා.
"කිසි දේකට බය වෙන්න එපා,ලබන සතිය වෙනකොට 36%කින් පඩි වැඩි කරල, අපි රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරනවා"මැතිතුමා අභීතව සිංහ නාද කලා.

“මොකක්?????????????????”

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කළත් නුදුරු අනාගතයේ නැවතත් එන අඛණ්ඩ වැඩ වර්ජනයක පෙරනිමිති දැක දඩෝරියා නිවෙස් බලා පිටත් විය.
                                                                                                            මතු සම්බන්ධයි.............
නුවන් සුරත් එදිරිසුරිය

Thursday, February 2, 2012

පෙන්ගුයින් හා වේවැල


“ක්රාස්....ක්රාස්....”
   
සිහින ලොවින් මා බිමට ඇද දමා, පශ්චාත් භාගය ධරණි තලයේ  සිප ගැන්වීමට තරම් ඒ නුහුරු හඬ ප්‍රමාණවත් විණ. නොබෝ දිනකින් එළඹෙන විභාගය හමුවේ අකමැත්තෙන් වුවද මුහුණ දීමට මට කටයුතු සම්පාදනය වී හමාරය. එවැනි මොහොතක සිහින ලොවේ කරක් ගසමින් අල්ලාපයේ යෙදීම තරම් නොවුවද, සිහින කොදව්වෙන් මා ඉවත් කරගෙන පැමිණි ගොඩ උඩ අයියා කෙරෙහි පහන් හැඟීමක් ඇතිවුණේ මට නොවේ.

ගොඩ උඩ මෑතකදී සිදුවූ නවීකරණය හමුවේ එයට තව දුරටත් ඒ නම නොගැලපෙන බව තීරණය කළේ තතු දන්නන් බව පීඨයේ ඇතැමෙකු කියනු මා අසා ඇත. එතැන් සිට එය ‘පෙන්ගුයින් කැෆේ’ නම් වන්නේය. ආපනශාලා වල දහසකුත් ප්‍රශ්නවලට අප මුහුණදී ඇති මෙවන් සමයක ඇතැම් විට ඔවුන් එම නම් තැබීම කළේ ඒවාට ඇති පිළිතුරක් වශයෙන් විය හැකිය. සමහර විට එම නම් තැබීම හරහා ගොඩ උඩ මෙතෙක් තේ හැන්දෙන් බෙදූ එළවලු මේස හැන්දෙන් බෙදෙනු ඇත. නිවුණු කෑම වෙනුවට නැවුම්, රස බොජුන් ෂෝකේස් එකට එනු ඇත. ඇතැම් විට ගොඩඋඩ ඉඩ පහසුකම් ද වැඩිවනු ඇත.ගොඩ උඩ තිබෙන සින්ක්වල වතුර බැස නොගියද එම ජල ප්‍රමාණය පෙන්ගුයින් කෙනෙකුට මඳක් මදිය. එබැවින් ආදර්ශ පෙන්ගුයින් ටිකක් හෝ ඇතැම් විට පෙන්ගුයින් පැටවුන් කිහිප දෙනෙකුගේ "පෙන්ගුයින් සුරතල්" බැලීමට අපට ඉදිරියේදී අවකාශ ලැබෙනු ඇත.

ඒ අපට ගොඩ උඩ නම්  තැබීමේ උත්සව සමයේදී සිතුණ හැටිය. ඒ සිතුවිලි කොතරම් දුරට යථාර්තයක්ව ඇත්දැයි සිතෙන විට ගොඩ උඩ කෙසේ වෙතත් මගේ ඇඟේ නම් පෙන්ගුයින්ලා නටන්න පටන් ගන්නේ නිරායාසයෙනි. මෙම ගොඩ උඩ ‘පෙන්ගුයින් කැෆේ’ ලෙස නොව "බුවල්ලා කැෆේ" ලෙස නම් කළත් මට රුදාවක්‌ නැත. මට රුදාව ඇත්තේ ඒ පෙන්ගුයින්ට නිසිලෙස සාත්තු නොකිරීම ගැනය. ඌට කුඩම්මාගේ සැළකිලිවත් නොමැති වීම ගැනය. කෙසේ වෙතත් ඒ නම් තැබුවන් මෙනෙහි කර ගොඩඋඩ අයියාට මෙතැන් සිට පෙන්ගුයින් අයියා යැයි පවසමි.

නුහුරු හඬින් තිගැස්සී ඉදිරිය බැලු මා ඉදිරිපස සිටින ඒ අසාමාන්‍ය පෞරුෂය අපේ ගොඩ උඩ අයියාගේය. සමාවන්න  පෙන්ගුයින් අයියාගේය. වැරදුනේ හිතේ තිබු තිගැස්සමටය. ඉද්ද ගැසුවාක් මෙන් මා ඉදිරියේ මට පිටුපා අයියා සිය අසාමාන්‍ය දේහ පෞරුෂය විදහාලමින් සිටගෙන සිටී. ඒ ආරෝහ පරිනාහ දේහය අඳුන් කුලක් මා දැක නැතිමුත් සිත්හි චිත්‍රනයට සමත්ය. පුන්සඳ වන් හිස් මුදුනේ ඉතිරිව ඇති කෙස්රොදවල් කෝපයෙන් නලියන ගමන්ය. හුරු පුරුදු නිල ඇඳුම වුවද කලබලයට අවුල්ව ගොසිනි. අඳුන් කුළෙන් දුම් පිටවෙන්නාක් මෙන් අයියාද තවමත් හතිලමින්ය.

රූප විද්‍යාව කෙළ පැමිණ නැති මුත් මේ එන්නේ  හොඳකට නොවන බව ඉවෙන් මෙන් මට දැනිණ. අයියා සිටින ඉසව්ව ළඟ පාතක සිසුවකු පවා නොමැත. මේස දෙක තුනක් එහායින් සිටින අපත්, තවත් පිරිසකුත් අයියා දෙස බලා ගත් වනමය. ගෙදරින් ආ දා පටන් කටක් පුරා උදේ හවස "පුතේ" කියන්නේ  අපේ පෙන්ගුයින් අයියා ය. ඇත්තම කියනවා නම් මම එම වදනට පෙම් කරමි. නිවුන බත් පිඟාන ‘පුතේ’ කියා දත් තිස් දෙකම පෙන්වා දික් කරද්දී කන්නට පෙරම බාගයක් බඩ පිරිලාය. පෙන්ගුයින් අක්කාගේ සුකුමාල හිනාව හා කෝල වදන් එක්වූ විට බත් වලට බඩේ ඇත්තේ සුළු ඉඩක් පමණි. හිත අයියා ළගට දිව ගොස් කිමදැයි ඇසීමට  බල කළද මම තවත් මොහොතක් ඉඳීමට ඉටා ගතිමි. ‘ක්‌රාස්...’ හඬ නැවතත් රැව්පිළි දුන්නේ ඔය අතරය. වඩා විමසිලිමත්ව බැලූ විට, අයියා සුරතින් වේවැලක් දරන බව දක්නට ලැබිණ.

මා දන්නා පරිදි අයියා බස්තමක් පාවිච්චි කල යුතු වයසක නම් තවම නැත. අනේ මේ අහිංසකයාට කුමක් නම් සිදු වී ද? මගේ මෙමරිය auto refresh විය. මීට මොහොතකට පෙර මම අයියා ගහක් ගලක් මෙන් ඇවිදිනු දිටිමි. විලාසිතාවක් විලසින් අයියා වේවැලක් භාවිතා කරනු ඇතැයි සිතීමද උගහටය. සිද්ධි සමුදායේ සම්භාවිතාව එකින් එක පිරික්සන අතරතුර ඊට ඉඩ නොතබාම අයියා දනි පනි ගා මේස අතරින් ඉදිරියට දිව යන්නට විය. ඒ පංචස්කන්ධයේ බරට දක්ෂිණ අධිවේගයේ පාලමක දිව ගියේ නම් මහින්ද මාමාගේ ජන්ම දිනයේදී මාවත විවෘත කිරීම සිහිනයක්ම වනු ඇත. රා කළ හතක් ගිජිඳකුට පෙවිය හැකි නම් ඌ කොතරම් භිරාන්ත දසුනක් මවනු ඇත්දැයි සිතීම මට දැන් උගහට නොවේ. පෙන්ගුයින් කැෆේහි සියලු දෙනා මේ නෙත් දල්වා සිටින්නේ එළඹෙන මොහොතේ කුමකින් කුමක් සිදුවේදැයි සිතිය නොහැකිව ය. වේගයෙන් පෙරළුණු අයියා තම අයෝමය සුරත් බාහුව  ඔසවා, පරිසරයම ගිගුම් දෙමින් නැවතත් තම වේවැල් රාජයාගෙන් කුමකට දෝ තඩිබානු දිටිමි. ද්වන්ධ සටනේ අනෙක් තරඟකරු පිටියට අවතීර්ණව ඇති බව දුටුවේ එවරය. කුඩා කාලයේ අසා තිබුණු ගලිවර් හා ලිලිපුට්ටන්ගේ කතාවේ ලිලිපුට්ටන් ගලිවර් දුටු සැණින් කෙතරම් විස්මයාර්තයට, උභතෝකෝටිකයකට, භිරාන්තයකට ලක් වුණාදැයි සිතීම එවෙලේ අනෙකාගේ වත කමල දිටී නම් මොනවට පැහැදිලි වන්නට තිබිණ.

අයියා මෙතෙක් වෙලා දිව ගොස් ඇත්තේ කුඩා බැලූ පැටියෙකු පිටුපස්සේ බව පසක් වුයේ දැන්ය. වේවැලෙන් විටක මේසයටද, විටක බිමටද තඩිබාමින් අයියා  බලු කුක්කාව පෙන්ගුයින් කැෆේ සංකීර්ණයෙන් පිටමං කිරීමට තැත් කරයි. භිරාන්තවූ බලු කුක්කා කිසිත් සිතා ගත් නොහී, පස්සෙන් පස්සට දිව යන්නේ පණ ගැහෙමිණි. පස්සෙන් පස්සට ගිය කුක්කා අවසානයේ මුල්ලකට හිරවුණේ අසරණත්වයේ පතුලටම කිමිදීමෙන් අනතුරුවය. ඉනික්බිති එළඹුණ නිසොල්මනේ ක්ෂණය ඌ තම අවසන් කැමැත්ත මෙනෙහි කිරීමට වැය කළා විය හැකිය. එනමුදු පෙන්ගුයින් අයියා නොවේ ඌට එකක්වත් තැලුවේ. ඒ වෙනුවට ඌ අසළ පොළවට වැරෙන් පාරක් දෙකක් වේවැල ඔසවා පහර දෙද්දී අභය දානයලත් කුක්කා මර හඬළමින් කැෆේ පඩි පෙළ තරණය කර නොපෙනී ගියේය.

මීට ඉහතදී පෙන්ගුයින් කැෆේහි පිඟන්වල පූසකු හා බලු කුක්කකු ඉඳුල් රස බලන පින්තුරයක් සයිබර් අවකාශයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම පින්තුරය අන්තර්ජාලයේ පළවීම මා තුල යම් කළකිරීමක් ඇති කළද, මේ නිසාවත් අපේ PHI මහතාගේ ඇස් ඇරෙනු ඇතැයි මම සිතීමි. කණ කැස්බෑවා අර මොකෙන්ද හඳ දුටුවත් අපේ PHI නොවේ මෙම ගැටළු දුටුවේ. ලංකාවේ උසස්ම ප්‍රතිඵල ලැබ මෙහි පැමිණි අපට රන් තලියක හොවා රජ බොජුන් පිලිගැන්විය යුතු යැයි මම යෝජනා නොකරමි. එනමුත් බල්ලන් පූසන් ළෙවන පිඟන්වල හොවා කෑම පිලිගැන්වීම කෙතරම් දුරට තරම් දැයි සිතිය යුතුය. මා මෙවැන්නක් ලිවීමට අදහස් කළේ මටත් සිතා ගත නොහෙන ප්‍රශ්නයක විසඳුම් කොහිදැයි සෙවීමට ය. "ඇත්තටම වැරද්ද කොතනද?" ඒ මා මෙතැන් සිට ඔබට යොමු කරන පැනයයි.

පැනයට පිළිතුරු සෙවූ මාගේ පළමු චූදිතයා එම බලු කුක්කාය. බල්ලකු වුවද උගේ බලු මොළයට ඌ කරන නොපනත්කම් පිලිබඳ වැටහීමක් තිබිය යුතුය. ඒ අතින් බලන කළ උගේ මේ හැසිරීම ජුගුප්සාජනකය. තමන්ගේ  වරිගයේ උන් අද රටේ ඉහළම තැන් වල කටයුතු කරන බව හේ දැනගත යුතුය. ජලවන්නාවේ උන්ගේ උන් මුළු රටටම බල පවත්වන්නට නීති කෙටුම්පත් සකසද්දි ඌට මීට වඩා නීතිගරුකව හැසිරීමේ වගකීමක් ඇත. ඒත් උගේ පැත්තෙන් බැලූ විට ජලවන්නාවේ උගේ උන් ද කෙතරම් නීති රීති තැනුවත් උනුන්ම ඒවා රිසි රිසි සේ කඩා බිඳ දමත්. එසේ නම් ඒ බලු ගතිය වීමට බැරි නැත.
වැරැද්ද අපේ සහෝදර ශිෂ්‍යන්ගේවත් ද? රටේ මිනිස්සුන්ට පාන්වත් කියා ගන්නට බැරි කල, සරසවි ශිෂ්‍යයන්ට  අතිගරු ජනපති ආශීර්වාදයෙන්, උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ මෙහෙයවීමෙන්, ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ උපදේශකත්වයෙන්, තාරුණ්‍යයට හොටක් සංවිධානයේ පුර්ණ අනුග්‍රහයෙන්, පෙන්ගුයින් අයියා විසින් රුපියල් 25 ට බත් පත ලබාදෙද්දී බල්ලන්ට බළලුන්ට කෑමට පිඟන්වල කෑම ඉතිරී කිරීම කොතෙක්නම් යුක්තිගරුකද? ඒ අතින් බලද්දී පිඟානේ බත් ඇටයක් නෑරම සූරා කා, ඇඟිල්ලද ලෙව කා, අවසානයේ පිඟාන ද ළෙව්වානම්, බල්ලන් බළලුන් අර පිඟන් සොයා පැමිණෙනු නොඇත. මෙතරම් ප්‍රණීත ආහාර ඉවතලන්නන් දේශ ද්‍රෝහීන් ලෙස ඇතැම් විට "විමසුමෙන් " හෙට දිනයේ හංවඩු ගැසුවොත් පුදුම වීමට දෙයක් නම් නැත. අබේසුන්දරලා කුමක් කියා හංවඩු ගැසුවත් සාගතයකටවත් කැම්පස් බතක් කෑ එවුන් "විමසුම" නැවත විමසන බව මම දනිමි. 

ආපනශාලා මෙබඳු තැනකට පත්වීමට PHI මහතා ප්‍රමුඛ නිලධාරීන් වගකිව යුතු යැයි මට සිතිණ.එහෙත් අනික් පසින් බලද්දී උන්ද රාජ්‍ය සේවකයෝය. ලොකු පුටුවල ඉන්නා නිලධාරීන් ප්‍රතිපත්තියක් ලෙස නොමනාව හැසිරෙද්දී මොවුන්ටද වැරැද්දක් කීමට උගහටය. ඔවුන්ගේ පැත්තෙන් බැලු විට ඔවුන් කාර්යාල පටිපාටිය අකුරටම පිළිපදී. කණිෂ්ඨ නිලධාරීන් ජෙෂ්ඨයන්ට, ඔවුන්ගේ ක්‍රියාවන්ට නිරන්තරව අවනත විය යුතුය; අනුකූල විය යුතුය. තවද දන්නා තරමින් PHI මහතාගේ පුතාවත් දුවවත් මොරටුවෙන් අකුරු නොකරති.ඒ නිසා හේ එතරම්ම කලබල විය යුතුද නැත. වැදු මව පියා තම අලුත උපන් දරුවා කාසි කොළ වලට විකුණන පසුබිමක අපේ PHI මහතා අනෙකුන්ගේ දරුවන්ට බල්ලන් බළලුන් ලෙවන පිඟානකින් බත් කෑමට සිදුවීම සැලකිල්ලට ගැනීමද නුවුවමනාය.

වැරද්ද පීඨාධිපති, අංශාධිපති ප්‍රමුඛ කරගත් පරිපාලනයේ දැයි සිතුණේ ඊළඟටය. ඒත් මඳක් විපරම් කරද්දී මේ බලු ගැටළුව ගැන  ඔවුන් ශිෂ්‍ය නියෝජිතයන් සමග පවත්වන රැස්වීම්වලදී පුරුද්දක් ලෙස නිරතුරුවම සාකච්ඡාවට බඳුන් කරන බව දැනගන්නට ලැබුණ. කොතෙකුත් ශිෂ්‍ය ගැටළු පවතිද්දී මෙවන් ප්‍රශ්නයක් නිතිපතා පුරුද්දක් ලෙස විමසන පරිපාලනයක් සිටීම කොතරම් නම් භාග්‍යවන්තද? එසේනම් මේ වනවිට මාස ගණනක් මුළුල්ලේ, පැය විසි තිස් ගණනක් මෙම ගැටළුව සාකච්ඡාවට බඳුන්ව ඇත. ඒ අතින් බලද්දී විසඳුම් ලබාදීම කෙසේ වෙතත් එකම කාරණයක් හාරා අවුස්සමින්, නැවත නැවතත් විමසමින්, උඩ දමමින්, වටේ යමින් එම ගැටළුව අවබෝධ කර ගැනීමට ඔවුන් දරනා වෑයම අතීශය ප්‍රශංසනීයය. අනෙක් අතින් බල්ලන් පූසන් සමග එකම පිඟානක බත් කෑම නිසා විශ්ව විද්‍යාලයේ ශ්‍රේණිගතකිරීම් පහළ යන්නේද නැත. උපාධි සහතිකයේ වටිනාකම පහළ යන්නේද නැත. ඇතැම් විට ඔවුන් මේ හරහා ලබා දෙන සහතිකයේ ප්‍රමිතිය ඉහළ දැමීමට තැත් කරනවා විය හැක.ඒ හරහා ලබන වසරේ සිට අපේ සහෝදර ශිෂ්‍යයන්ට eco - friendly engineering ඩිග්රියක් වුවද ලැබීමට බැරි නැත.

මෙවන් දෙයක වගකීම පෙන්ගුයින් අයියා ඇතුළු පිරිස ගත යුතු දැයි බැලීමට මට සිතිණි. අපට මෙන්ම  අයියාට ඇත්තේ අත් දෙකකි. එසේනම් කවුන්ටරයේ කෑම විකුණන අයියාට එකවර කැන්ටිමේ මේස අස්කිරීම කළ නොහැක. තව තවත් සේවකයින් බඳවා ගතහොත් අත ඉතිරිවන සොච්චම් ලාභයටද හෙට දිනයේ අනිවාර්ය සේවා ලෙස හෙනහුරා කඩා පනිනු ඇත. ලාභ ඉපයීම පිණිස මහජන නියෝජිතයින් කුඩු විකුණන, ගණිකා ව්‍යාපාරය කරවන සිරි ලංකාවේ එම නියෝජිතයින්ව අපි නැවත නැවත කතිරය ගසා උස් පුටුවලට නිතරගයෙන්ම යවමු. කලින් දා වහලට ඇස්බැස්ටෝස්  ෂීට් දෙකක් දුන් විට, පාරට තාර කට්ටයක් දැමු විට අපි උන්ගේ සියලු අලුගුත්තේරු වැඩ අමතක කර ඉහළම මනාපයක් දී ආසනයේ ඉහලට ඔසවා තැබීමට පසු නොතවෙමු. එලෙස ඔවුන් විසින් ලාභ සෙවීමට කරන ඒ අවැඩ අප මනාපයෙන් අනුමත කරන සන්දර්භයක පෙන්ගුයින් අයියගේ ගුණ උදේ හවා  පචවාහිනියෙන් වැයිය හැකිය. ලාභ තකා ඔවුන් කරන අලුගුත්තේරුකම් සිහිවද්දි අයියා වරදක් කර ඇත්දැයි සිතීම පවා තරම් නොවේ. එකිනෙක ඉදිවන පුද්ගලික උපාධි කඩ හමුවේ තව කොතෙක් කල් මොරටුව තිබේදැයි පෙන්ගුයින් අයියාට සාධාරණ පැනයක් තිබෙනු නොඅනුමානය. බදු කාල සීමාවේ ඉම ඈතින් පෙනෙන කල්වත් ඉදීමට පෙරුම් පුරන ඒ අහිංසකයා මෙහිලා චෝදනාවට බඳුන් කිරීම අතිශය අසාධාරණය.

එකින් එකා වෙන වෙනම මගෙ ජූරි සභාවට ගෙන්නුවද නිසි වගඋත්තරකරුවකු මට සොයා ගත නොහීවීම මගෙ නොහැකියාවද, නොදැනුවත්කමද, එසේත් නැත්තම් වෙන මොකක්දැයි මම නොදනිමි. මට දැනෙනා සැටියට අප සැවොම වූ කලී මෙම දූෂිත සමාජ ක්‍රමයෙන්ම ජනිතවූ, එය මතම යැපෙන, එයින්ම පුහු ඊනියා වින්දනයක් ලබා එතකුදු නොනැවතී එයම ඉදිරියට දායාද කරන දූෂිතයෝය. අප කොතෙක් පිළිගැනීමට අකමැති වුවද ඔබත්,මමත් මෙම ක්‍රමයේ දූෂිතයෝය. අප මෙහිලා පමණක් නොව අන් සෑම තැනකදීම බෝලය අනෙකාට පාස් කිරීමට‍ දරන තැත නිරර්ථක වන්නේ එබැවිනි. එක් එක් අවස්ථාව තෘප්ත කිරීමෙහිලා දමන පැලැස්තරය නියම විසඳුමයයි ඒත්තු ගැන්වීමට තරම් මෙම ක්‍රමය සූක්ෂ්මය. වෙනසක් නොවී එදා සිට හෙට දක්වාම අපි අපටම ඇඟිල්ල දිගු කරමින් සිටිමු. අපම මවූ, අපම වැවූ, අපම දායාද කරන්නාවූ ගැටළුවට අපම ඇඟිල්ල දික්කිරීමට තරම් නිරලජ්ජිත එඩිතරකමක් මේ ක්‍රමයෙන් අපට උරුමව හමාරය. එබැවින් අපට අවශ්‍ය ක්ෂණයේදී පමණක් අපම ක්‍රමයෙන් වියුක්තව එකී ක්‍රමයම අනුකම්පා විරහිතව විවේචනය අපට දැන් හොඳ හැටි හුරු පුරුදුය.



එබැවින් ආදර සබඳ හැමදාමත්ම 
          ඔබ නිදොස්ය ...
                   ඔවුන් සදොස්ය......

දෙවන වසර සිසුවෙක්

Wednesday, January 25, 2012

විශ්වවිද්‍යාල අර්බුධයේ තවත් පැතිකඩක්, අනධ්‍යයන වෘත්තීය සමිති ක්‍රියාදාමය සහ එහි පසුබිම



රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම විවිධ හැලහැප්පීම්, අර්බුධ හමුවේ ඒවාට මුහුණ දෙමින් විකාශණයවු අතර මෑත කාලීනව අර්බුධ රාශියකට එකවර මුහුණපෑමට සිදුවීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උණුසුම් වතාවරණයක් පැනනගින්නට විය. පැහැදිලි කරගත යුතු තත්වයන් වන්නේ මෙම අර්බුධ කිසිවක් එකවර පැන නැගුණු ඒවා නොවන නිසාය. මෙම ගැටළුකාරී තත්වයන් දිගු කාලයක් තුළ සංවාදයට බඳුන් වී තිබුනත් නිසි විසඳුම් නොලැබීම නිසා අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඒ හරහා අපැහැදිලි චිත්‍රයක සේයාවක් මවමින් තිබේ. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ ඉතාමත් කතාබහට ලක්වු ආන්දෝලනාත්මක අර්බුධයක් ලෙසින් අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් අර්බුධය හැඳින්විය හැක. මෙම අර්බුධය සාකච්ඡාවට බඳුන් කල යුතු වන්නේ එම අර්බුධය හමුවේ විශ්වවිද්‍යාල කටයුතු බොහෝමයක් වරින්වර ඇනහිටීම් වලට ලක්වූ අතරම එවැනි තත්වයන්, විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවය කෙරෙහි කෙසේ බලපා ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තවමත් නිවැරදි වැටහීමක් නැති හෙයිනි. අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනයකදී පමණක් සමාජය හා බහුතර විශ්වවිද්‍යාල ජනතාව සොයාබලන ඔවුන්ගේ කාර්යභාරය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේද යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙසින් විමසා බැලීම, විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගත සුරක්ෂිතභාවය සොයන බොහෝදෙනෙකුට වැදගත් වේ.

අනධ්‍යයන සේවකයන් විශ්වවිද්‍යාල පද්ධතිය හා නිරතුරුව බැඳී පවතී. ශිෂ්‍යන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන්ගේ සහය නිරතුරුව හිමිවේ. ඔවුන්ගේ වැඩ මුරය වන්නේ පැය 8 ක කාලයකි (8 - 4). නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප දන්නා කාරණයක් නම් ඇතැම් ප්‍රයෝගික පරීක්ෂණ සවස 6.00, 7.30 දක්වා පමණ දීර්ඝ වන අවස්ථා ඇත. එමෙන්ම විද්‍යාගාර නඩත්තු කිරීම, පිරිසිදු කිරීම්, සැපයීම් කටයුතු සියල්ල සිදුවන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලය හරහාය.  ගොඩනැගිලි, දේශනශාලා විවෘත කිරීම,පරීක්ෂණ කටයුතු ආදී ආචාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවටද දැනෙන බොහෝ ක්‍රියාකාරකම් රාශියකට සෘජුවම මෙන්ම වක්‍රවද අනධ්‍යයන කාර්යමණ්ඩල සම්බන්ධ වේ. සුළු කාල පරිච්චේදයක් අනධ්‍යයන සේවකයන්ගේ සහාය රහිතව පවත්වාගෙන යාහැකි වුවද එය දීර්ඝ කාලින නොවේ. යම් හෙයකින් පරිපාලන නිලධාරින්ද ඒ සමග ඒකාබද්ධ වුවොත් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වනු ඇත. විභාග කටයුතු, බඳවා ගැනීම්, සියල්ලම අඩපණ වනු ඇත. මෙය විශ්වවිද්‍යාලයේ සියලුම කටයුතු වලට දැඩිව බලපාන අර්බුධයක් වන්නේ මේ හෙයිනි.

අනධ්‍යයන සේවකයන් ලෙස ප්‍රචලිත මෙම කොට්ඨාශය කුමන සංයුතියක්‌ තුළින් නිර්මාණය වීද යන්න ප්‍රථමයෙන් විමසා බලමු. අනධ්‍යයන සේවකයන් ඔවුන්ගේ තනතුරු හා ශ්‍රේණි මට්ටමින් වු වෘත්තීය සමිති හා සංගම් තුළින් නියෝජනය වුවකි. මේ අනුව සමස්ථ අනධ්‍යයන සේවක පිරිස නියෝජනය වන්නේ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අධ්‍යයන සහයක සංගමය, විශ්වවිද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ලිපිකාර සේවා සංගමය, විද්‍යාගාර සහයක සංගමය ආදී වශයෙන් වු බොහෝමයක් සංගම් ඒකරාශී වීම තුළය. ඔවුන්ගේ ඇතිවී තිබෙන වැටුප් අර්බුධය නිසා වෙන්වු වෙන්වු ශ්‍රේණි නියෝජනය කරමින් පවත්නා වු වෘත්තීය සංගම් තම තමන්ගේ න්‍යාය පත්‍රය පසෙකාලමින් පොදු අරමුණක් සඳහා ඒකරාශී වී ඇත. ඒ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙනි. මෙහිදී පෙර අවස්ථාවලදී නොවු පරිපාලන නිලධාරීන්ගේ හා අධ්‍යයන සහයක සංගම්ද මෙම අවස්ථාවේදි සමස්ථ පොදු අරමුණ වෙනුවෙන් කැපවීමක් දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් වෘත්තීමය වශයෙන් ශක්තිමත් වීමකි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන මෙම වැටුප් අර්බුධය අවසන් වෘත්තීමය ක්‍රියාමාර්ගය තෙක්ම දිග් ගැස්සීමට ලක්වූ අතර මෙම අර්බුධකාරී වාතාවරණය කෙසේ ඇතිවුවක්ද යන්න දැනගත යුතු කාරණයකි. මුලික වශයෙන්ම මෙහිදී ඇතිවී තිබෙන්නේ වටුප් විෂමතාව පිලිබඳ ගැටලුවකි. රාජ්‍ය සේවය හා විශ්වවිද්‍යාල සේවා (අධ්‍යයන / අනධ්‍යයන) සැලකු විට විශ්වවිද්‍යාල සේවා වල වැටුප් තල ඉදිරියෙන් පැවතිය යුතුය. සම්මතයක් වශයෙන් විශ්වවිද්‍යාල සේවා පමණක් නොව සංස්ථා මණ්ඩල ආදී ආයතනවලද වැටුප් තල රාජ්‍ය අංශයකට වඩා 33% ක් ඉදිරියෙන් පැවතිය යුතුය. ඊට සාධාරණ වු හේතු ගණනාවක් දැකිය හැක. මුලිකව විශ්වවිද්‍යාල සේවා සඳහා බදවා ගැනීම් සිදුකිරීමේදී රාජ්‍ය අංශයේ සේවා වලට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් හා පලපුරුද්ද සලකා බලයි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට රජය විසින් ලබාදී ඇති විශ්‍රාම වැටුප්, අග්‍රහාර රක්ෂණය, නිවාස ණය (4.5% පස් අවුරුදු, දස අවුරුදු) ආදී වරප්‍රසාද රැසක් විශ්වවිද්‍යාල සේවා වලට නොලැබෙයි. ඔවුන්ගේ ඇත්තේ ඔවුන් විසින්ම දායකත්වය ලබාදී පවත්වාගෙන යන විශ්‍රාම වටුප් ක්‍රමයක් හා අග්‍රහාර රක්ෂණ අරමුදලක් පමණි. මෙවැනි තත්වයක් තුළ වැටුප් සංශෝධන ගණනාවකට පසුව අවසන් වරට 06-2006 චක්‍රලේඛණය (2006 ජුනි මස) මඟින් සිදු කරන ලද වැටුප් සංශෝධනය මඟින් රාජ්‍ය සේවාවල හා විශ්වවිද්‍යාල සේවාවල වැටුප් තල සමාන කර ඇත. මෙම වැටුප් තලයන් සමාන වුවත් රාජ්‍ය අංශයකට හිමි වරප්‍රසාද කිසිවක් විශ්වවිද්‍යාල සේවාවලට හිමිවන්නේ නැත. උදාහරණයක්‌ ලෙස සඳහන් කළහොත් ජෙයෂ්ඨ මහාචාර්යවරයාගේ හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ/ අමාත්‍යංශ ලේකම්වරයාගේ වැටුප් තල සමාන කර ඇත. එතැනින් ආරම්භකර ඉන් පහලට වු ශ්‍රේණි හා වැටුප් තල සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාකර ඇත.නමුත් මෙහිදී විශ්වවිද්‍යාල සේවකයන් ඉල්ලා සිටින්නේ තමන්ටද ඉහත වරප්‍රසාද ලබා දෙන මෙන් නොව තමන් මුලින් පිහිටා තිබු වැටුප් තල වලම පිහිටුවනු ලෙසය. එලෙසම වාර්ෂික වර්ධක ලබාදීමේදී එය මුලික වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස ගණන් බලයි.නමුත් අදාල ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක මොවුන්ව පිහිටුවා ඇත. මෙම විෂමතා සියල්ල පාහේ වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාවට විස්තරාත්මකව පැහැදිලි කරදී ඇතත් මෙම විෂමතා ඉවත් කිරීමට කොමිෂන් සභාව මෙතෙක් සමත් වී නැත.

මෙහිදී නැවතත් සඳහන් කළයුතු කරුණක් වන්නේ විශ්වවිද්‍යාල සේවක පිරිස් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිවීමක් නොව මන්ද යත් වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාව මඟින් අනුමත කරන ජාතික වැටුප් වැඩිවීම් නොතකා එලෙස වැටුප් වැඩිවීම්  සිදුකිරීමට නොහැකි බව ප්‍රයෝගික තත්වයක් ලෙස වටහා ගත යුතු නිසාය. නමුත් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග වල ඔවුන් තවදුරටත් නිරතව ඇත්තේ එහි ඇති විෂමතා මෙන්ම වැටුප් විකෘතිතා ද බොහොමයක් නිසා අසාධාරණයට ලක්වී ඇති හෙයිනි. විශ්වවිද්‍යාල සේවා සැලකීමේදී අනධ්‍යයන සේවකයන්ගේ හා වැටුප් තලයට ඉහළින් පිහිටන ඉදිරි වැටුප් තලය වන්නේ අධ්‍යයන සේවකයන්ගේ වැටුප් තලයයි.මෙම වැටුප් වැඩිවීම් සිදුවිය යුත්තේ දෙපාර්ශවයටම සම්මත පරතරයකින් යුතුව සමගාමීවය. මේ සඳහා නිර්දේශිත අනුපාතයක්  සහිත වැටුප් වක්‍රයක් පවතී. නමුත් පසුගිය දශකය තුළ අධ්‍යයන කාර්යමණ්ඩල වලට විශාල වශයෙන් වැටුප් වැඩිවීම් ලබාදුන් අතර ඊට සමගාමිව අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම් ලබා නොදීම තුළ වැටුප් මට්ටම් අතර තිබිය යුතු අනුපාතය හා සුමට වක්‍රය බිඳ වැටීම සිදුවිය. එලෙසම මෙහි ඇති විෂමතාවයන්ට එක් උදාහරණයක්‌ කිවහොත් අධ්‍යයන කාර්යමණ්ඩලයේ මහාචාර්යවරයාගේ වැටුප් තලය හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉහළම නිළධාරියා වන ලේඛකාධිකාරීවරයාගේ වැටුප් තල එකම මට්ටමක පැවතිය යුතුය. නමුත් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමේදී පුස්තකලාධිපතිගේ වැටුපද ඊට සමගාමිව වැඩිවු නමුත් පුස්තකලාධිපති වගකිව යුතු නිලධාරියා වන්නේ ලේඛකාධිකාරීය. නමුත් ලේඛකාධිකාරීගේ වැටුප් තල අභිබවා යමින් පුස්තකලාධිපතිගේ වැටුප් තලය පිහිටුවා ඇත. මෙවැනි වැටුප් තල අතර තිබිය යුතු පරතර නැති කරමින් විකෘතිතා බොහොමයක් මෙහි දැකිය හැක.(මෙවැනි විෂමතා වැටුප් ශ්‍රේණි අතර රාජ්‍ය අංශයේ නිලධාරීන්ට සිදුවී ඇති අතර ඇතැම් සේවා ඒකාබද්ධ කිරීම් තුලින් සිදුවු විෂමතාවන්ට එරෙහිව මේ වන විට නීති මඟින් කටයුතු කරමින්ද පවතී. රාජ්‍ය සේවකයන්ගේ සේවා ව්‍යවස්ථා කිසිවක් නොතකා කතයුතු කිරීම නිසා මෙවැනි විෂමතා රාශියක් පන නැගී ඇත. ඇතැම් විට මෙය ජාතික අර්බුධයක් ලෙසද හඳුන්වා දිය හැකි නමුත් අප මෙහිදී සලකා බලනුයේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ලා ඇති වන බලපෑම්ය.)

පෞද්ගලික විශ්වවිද්‍යාල

උසස් පෙළ අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට බොහොමයක් ශිෂ්‍ය ප්‍රජාව සුදුසුකම් ලැබුවත් සීමිත සම්පත් හා තරඟකාරිභාවය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට ඇතුල්වීමේ හැකියාව ලැබී ඇත්තේ සීමිත පිරිසකටය. එය ඔවුන් ලැබු වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්ද වන්නේය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන ශිෂ්‍ය ප්‍රජාවට තම අනාගත සුරක්‍ෂිතභාවය වෙනුවෙන් උසස් අධ්‍යාපනික වරම් හෝ වෙනයම් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් මතුව ඇත.නමුත් එය විදේශ/ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන්ම පමණක් පිළිතුරු සොයා ගත හැකි ප්‍රශ්නයක්ද යන්න විමසාබැලිය යුතුය. දිනෙන් දින ඉහළ යන විරැකියාව ඊටම බද්ධ වූ දේශපාලන ඇඟිලි ගැසීම් හා රැකියා ලබාදීමේ කළුකඩ ව්‍යාපාර හා ‘පස්සා දොරෙහි’ දේශපාලනය හමුවේ ‘උපාධි කඩ’ ඇතිකිරීමෙන් පිළිතුරු ලබාගත හැකිද? අල්ප වු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පවතින්නාවු ඉහළ ධනවත් පන්තිය හෝ බහුතර මධ්‍යම පන්තිය හා පහළ දිළිඳු පන්තිය හෝ වෙනත් ආසියාතික රටවල ශිෂ්‍යයන් එම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළට ආකර්ෂණය කරගැනීමට අදහස් කරන්නේ නම එහි ඇති සක්‍යතාවය කුමක්ද යන්න සලකා බැලිය යුතුය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළහොත් ඒ සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හෝ වැටුප් අර්බුධ / විෂමතා වලින් හෙම්බත් වී සීමිත එම සේවකයන් ඒ සඳහා යොමුකරවා ගැනීමට ප්‍රයත්නයක් ඇතිවිය හැක. නමුත් මෙහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ වටිනා මෙහෙයක් සිදුකරන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටසක් වන ඔවුන්ගේ මතය පැසසීමට ලක් කල යුතුය. විචාරශීලිව ‘ලොකු ගොඩ’(මුදල්මය) බලා දුවන පිරිසක් නොවන බව රට හා එහි අනාගත අභිවෘද්ධිය කෙරෙහි සංවේදී වන තවත් පිරිසක් වන බව මෙහිදී සඳහන් කල යුතුය.

විශ්වවිද්‍යාල සඳහා වන පෞද්ගලික ආරක්‍ෂක අංශය හා නායකත්ව පුහුණුව.

රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය කුමක් වුවත් රජයේ ටෙන්ඩර ප්‍රතිපත්ති කුමක් වුවත් ටෙන්ඩර අතරමඟ නවතා නව පෞද්ගලික ආරක්‍ෂක අංශයකට විශ්වවිද්‍යාල පද්ධතිය භාරදී ඇත.මුහුණු වෙනස් නොවුනත් නිල ඇඳුම පමණක් වෙනස් කරමින් ආරක්‍ෂාවට පෙරට වඩා තුන් ගුණයක් පමණ වියදම් කරමින් එකම සේවය වෙනස් ප්‍රධානින් තුලින් ඉටුවීම ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරන්නකි. මෙම මුදල්ද වෙන්වන්නේ රටේ උසස් අධ්‍යාපන වැය තිරයටය. නමුත් ගුණාත්මකභාවයන් රහිත ඇතිවන මෙම තත්ව නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්වය තවත් පල්ලම් බසිනු ඇත.කලින් පවතී ආරක්‍ෂක අංශවල යම අඩුපාඩු හා චෝදනා රාශියක් තිබුනද නව ආරක්‍ෂක අංශයකට එය පැවරීම තුළින්ම පමණක් එම ප්‍රශ්න විසදී නැත. ඒ සඳහා බලධාරීන් ගත් ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන වැයතිරයකට තවත් බරක් වුවා පමණක් නොව තව අර්බුධ ද රාශියක් ඇතිකර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව, මෙහිදී සඳහන් කල යුතු වැදගත්ම කාරණයක් වන්නේ විශ්විද්‍යාල ප්‍රජාව ලෙස ශිෂ්‍ය, අධ්‍යයන, අනධ්‍යයන ආදී සෑම කොට්ඨාශයක්ම දැඩි මර්දනකාරී ක්‍රියා පටිපාටියකට දැනුවත්ව හෝ නොදැනුවත්ව ලක්කර ඇති බවයි. කිසිදු අවසරයකින් තොරව හමුදා පාලනයක ලක්‍ෂණ ගැන අසන්නට ලැබුණත් ඒ පිළිබඳව ඉදිරිපත් වන්නට මැලිකමක් දක්වන්නේද මෙම මර්ධනයේම ක්‍රියා පිළිවෙල නිසාය. නායකත්ව පුහුණුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගේ නායකත්වය හා විනය වැඩිදියුණු කිරීමටය. නමුත් එසේ එවන ලද පළමු කණ්ඩායම තුළින්ම එහි බොළඳ බව මනාව පැහැදිළි විය.ඔවුන් ඇතුල් වුයේද කලින් පවති විශ්වවිද්‍යාල පද්ධතිය තුළට මිස නායකත්ව පුහුණුවලද කඳවුරු තුළට නොවේ. ශිෂ්‍යන් අතර ඇතිවිය යුතු අන්තර් සබදතා සියල්ල සුනුවිසුනු කිරීමට එයට හැකිවන්නේ නැත. විශ්වවිද්‍යාල තුළට ඔත්තුකරුවන් රිංගවීම වැනි පහත් ක්‍රියාමඟින් විනය නිර්මාණය කල හැකිද යන්න තේරුම් ගත යුතු තත්වයකි. මිලියන ගණනින් හැඩවන මෙවැනි ව්‍යාපෘති සඳහා උසස් අධ්‍යාපනයට හිමි මුදල් ප්‍රමාණයම වැය වනවා නම් වැටුප් අර්බුධ, නේවාසිකාගාර ප්‍රශ්න, නඩත්තු සේවා, ආපනශාලා තත්වය හා ගුණාත්මකභාවය වෙනුවෙන් මෙන්ම පාඨමාලා ගුණාත්මකභාවය ගැනද විමසා බැලිය යුතුය. එසේ ගණන් බැලු කල, මහබැංකු වාර්තා කුමක් වුවත් ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට පැමිණෙන්නේද කප්පාදු වු ප්‍රතිපාදන ප්‍රමාණයකි. එසේ හෙයින් ප්‍රතිපාදන ප්‍රමාණාත්මක පමණක් ගණන් බැලීම රජය කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වභාවික මරණයක් කරා ගෙන යාමටද යන්න ප්‍රශ්නාර්ථයක් නංවයි.

විදේශ ශිෂ්‍යයන් සඳහා වන කෝටාව

ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදී එහි ඉහළ දක්ෂතා පෙන්වන ශිෂ්‍යයන්ට ඇතැම් විදේශ රටවලින් ශිෂ්‍යත්ව ලබාගත හැක.ඒ එම ශිෂ්‍යන්ගේ අධ්‍යාපනික සුදුසුකම් වලට සධාරණයකි. (රටේ බුද්ධි ගලනයට ප්‍රශ්නයකි). ශ්‍රී ලංකාවේ ඉතාමත් දැඩි තරඟකාරී විභාගයක් ලෙස උසස් පෙළ ඉහළ ගුණාත්මකභාවයක් ඇත. නමුත් විදේශ රටවලින් මෙරටට ගෙන්වන ශිෂ්‍යයන් අප රටට‍ පැමිණෙන්නේ එම මට්ටමේම ඇති විභාග ක්‍රමයකින්ද, එය අප රටට ප්‍රති බුද්ධිගලනයක් සිදුකිරීමට හැකිද, යන්න විමසා බැලිය යුතුය.මෙම ප්‍රශ්න වලට බලධාරීන්ට නිසි පිළිතුරු නොමැත. සියළුම ශිෂ්‍යයන් පැමිණෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා යැයි පැවසීම වගකීම් විරහිතභාවය මනාව පෙන්නුම් කිරීමක් මෙන්ම මෙවැනි ප්‍රතිපත්ති කගේ උවමනාවක්ද, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවකට ලක්කිරීමක් ද , රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති වල තත්වය කුමක්ද යන්න සියලු දෙනාටම දැනෙන කාරණයකි. ඒ සඳහා යෝග්‍ය බුද්ධිමට්ටමකින් යුත් ශිෂ්‍යයන් පැමිණෙන්නේනම් අපට ප්‍රශ්නයක් නැත. නමුත් එයින් අහිමිවන්නේ අප රටෙහි ශිෂ්‍යයෙකුගේ අවස්ථාවක් නම් මෙම අසහනය ඇතිකරන්නේ කුමන අරමුණු ඇතිවද යන්න ගැටලුවකි.මෙම ස්වභාවික මරණයක සේයාවක් අප තුළ ජනිත වුවද එහි ඝාතකයන් නිර්මාණය කරන තත්වයක් අද දැකිය හැක.එහි ඝාතකයන් වීමට ශිෂ්‍යයන් වන අපටත්, ආචාර්යවරුන්ටත්, අනධ්‍යයන සේවකයන්ටත් පිඹුරුපත් සකසන්නන්ගේ පිහිටෙන්ම හැකිවනු ඇත. 3% ක් ලබා දී ඇති විදේශ කෝටාව සම්පුර්න කර නැතත් තවත් වැඩි කරමින් එය 5% ක් දක්වා ඉහළ දමන්නේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ඇති අවස්ථාවන් තවත් හකුලවමින්ය. අප රටෙහි ශිෂ්‍යයන්ට ලැබිය යුතු නිසි අවස්ථාවන් ලබා දෙමින් කප්පාදුවකින් තොරව සිදු කල යුතු වුවත් එය එසේ සිදුවන්නේ නැත. මෙම කෝටාවද සියළු විශ්වවිද්‍යාලවලටද අයත් වේද? දැඩි ඉල්ලුමක් පවතින පාඨමාලාවන්ට පමණක් විදේශ ශිෂ්‍යයන් ඇතුළු වී ඇති අතර එවිට 5% ක කෝටාව සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගහණයට (21000) නොව පාඨමාලා ප්‍රමාණයට සලකා බැලූ විට විශාල ප්‍රතිශතයක් (20%) වනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් ප්‍රවර්ධනය කිරීමට අර අදින්නේ කුමන අරමුණුද යන්න පැහැදිලිය.මෙය පුන පුනා කිව යුතු තත්වයක් නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යම හෙයකින් හකුලා ගනු ලැබුවද වෙනත් මුහුණුවරකින් පනත් ගණනාවක්ම නැවත පැමිණෙනු ඇත. පනත් පමණක් නොව වෙනත් අර්බුධ රාශියක්ම වෙනත් මුහුණු ගණනාවකින්ම පැමිණෙනු ඇත. ඒ සියල්ලන්ගේම අරමුණු සෘජුව හෝ වක්‍රව එකක් බවට පත්වනු ඇත. කුමන ආකාරයේ මුහුණු පැමිණියත් එහි සැබෑ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.


විශේෂ ස්තුතිය : - K.M. සිරිසේන  - සභාපති , වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        S.P. ගමගේ          - භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        වසන්ත එදිරිසූරිය - ලේකම්, කාර්මික නිලධාරී සංගමය
අශෝක චන්දන    - ලේකම්, අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සංගමය

සාකච්ඡා කලේ :- චාමර මධුසංක, චතුර ගනීමුල්ල

සකස් කලේ :- MoraEunion වෙනුවෙන් චතුර ගනීමුල්ල.

Wednesday, January 11, 2012

යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට ඇත්තටම එරෙහි විය යුතුද?

                                                              මහා ශිෂ්‍ය සංගමය,
                                                          මොරටුව විශ්වවිද්‍යාලය.


දයාබර සොයුර සොයුරිය,
            ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුදෙනාටම අධ්‍යාපන අයිතිය සමාන ලෙස භුක්තිවිදීමට වරම් හිමි වී තිබේ. මේ හේතු කොටගෙන දියුණු රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට අපට හැකිවී තිබේ. මෙසේ සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු නිදහස් අධ්‍යාපන ක්‍රමය රජය විසින් කළුකඩ මුදලාලිලාට විකිණීමට උත්සාහදැරීම ඉතා භයානක තත්වයකි. සාරාංශව කිවහොත් අදවනවිට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියලු දෙනාටම සමව භුක්ති විඳීමට ඇති නිදහස් අධ්‍යාපනය, කිසිඳු ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත(‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සම්මත කොට මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් පමණක් බවට පත්කිරීමටය.
උක්ත පනත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය.

1.උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව,ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලය.(Sri Lanka Qualifications Framework, Quality Assurance and Accreditation Board.)

මණ්ඩලයේ සාමාජිකයන් 11 දෙනාගෙන්  සාමාජිකයින් දෙදෙනෙකු (සභාපති-ශ්‍රී ලංකා වෛද්‍ය සභාව/SLMC, සභාපති-ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය/IESL.මෙම නිලයන් සඳහා දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.) හැර ඉතිරි 9 දෙනාම දේශපාලන හැකියාවන් මත පත්වීම ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේශ්ත්‍රය දේශපාලන මඩ ගොහොරුව තුල එරීමට පාර කපන්නකි.

සියළුම උසස් අධ්‍යාපන ආයතන වල (රාජ්‍ය හෝ පුද්ගලික) කටයුතු අධීක්ෂණය මෙම මණ්ඩලය මගින් සිදු වේ.එමඟින්  වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල අහෝසි වී යාම රාජ්‍ය විශ්වවිද්‍යාල වල පැවැත්මට එල්ල වන්නා වූ මරු පහරකි.මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරිම,උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම,ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම හා සමාගම් පනතින් හෝ අයෝජන මණ්ඩල පනතින් රජයට ඉටු කර ගැනීමට නොහැකි වූ විශ්ව විද්‍යාල සතු දේපල විකිණීමේ හා බදු දීමේ නෛතික බලය මෙම මණ්ඩලය සතු වේ.

2.රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසම.
 (Non-State Higher Educational Institutions Council)
උසස් අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන නැතිනම් සංවිධාන ලියාපදිංචි කිරීම,එම ආයතන දියුණු කිරීමට ආධාර සැපයීම ,අධ්‍යාපනික ප්‍රතිපත්ති වලදී රජයට උපදෙස්  දීම  වැනි බලතල රාශියක් සභාව සතු වේ.13 ක් වන සාමාජිකයින්ගෙන් සියළු දෙනාම පත්වන්නේ දේශපාලන හැකියාවන්(ජනාධිපති හෝ උසස් අධ්‍යාපන ඇමතිගේ) මත වීම ඛේදවාචයකි.
පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම ඉතා පහසුවෙන් කල හැක්කක් නොවේ.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සමාජ විද්වතුන්ගේ විද්වත් සංවාදයකින්  තොරව කෙටුම්පත් කල මෙම පනත සම්මත වුවහොත් නිදහස් අධ්‍යාපනය මුදලට විකිණෙන දිනය නුදුරේදී එළබෙනු ඇත.



වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල සතුව පහත පරිදි ගැටළු රාශියක් පවතී.එම එක් කාරණයක් වෙනුවෙන්වත් කිසිම විසඳුමක් උක්ත පනතින් නොලැබේ.එබැවින් ඒ පිළිබඳව අපි සැකෙවින් විමසා බලමු.

ඔබට මතක ඇති සරසවි ආචාර්යවරු තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය.ඉහත පනතට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මෙලෙස අඩු වටුප් ලබන ආචාර්යවරුන්, වැඩි වැටුප් ලබාදෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇදී නොයනු ඇතැයි ඔබට තහවුරු කල හැකිද? උගත් ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉවත් වීම තුලින් ඒවායේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කාට නම් කිව හැකිද? එබැවින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල එහි ගුණාත්මකතාවය ආරක්ෂා කිරීම රජය මඟින් සිදුකලයුතු අත්‍යවශ්‍යම කාරණයකි. නමුත් රජය සිදු කරන්නේ උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් තව දුරටත් කප්පාදු කිරීමක් නොවේද?

වසර
2006
2007
2008
2009
2010
උ.අ. සඳහා වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස


0.452%


0.384%


0.348%


0.329%


0.305%

ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි.  එසේනම් පනතට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල තවදුරටත් කප්පාදු නොවේයැයි තහවුරු කලහැක්කේ කාටද?
එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුලට ගොඩබසින්නේ ආයෝජන මණ්ඩලයෙන් (BOI) ලබාදෙන බදු සහන පදනම් කරගෙනය. තවද පෞද්ගලික විශ්වව්ද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජිකයින් සඳහා වැටුප් ආදී නොයෙකුත් ක්‍රම තුලින් විදේශ විනිමය පිට රටට ඇදීයාම නොවැලැක්වීය හැක්කකි. ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද ප්‍රමිතියකින් තොරව පෞද්ගලීකරණය වී හමාරය. මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් ඉහත පනතින් මේ දෙයම විය නොහැකිද ? අද A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳදමා මේ අර අදින්නේ අර්ථයක් රහිත උක්ත පනත සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමක් සහ යුතුකමක් නොවන්නේද?

මදක් සිතන්න...........
(The Leaflet which has been distributed on 11-01-2012 by the MSU)

Tuesday, October 11, 2011

මොරටුවේ අපි කවුරුත් දේශපාලනේ කළේත් නෑ, කරන්නෙත් නෑ, ඉස්සරහට කරන්න ඉඩ දෙන්නෙත් නෑ!

මාස තුනක නිහැඬියාවකින් අනතුරුව නැවතත් මොරටු විශ්වවිද්‍යාල භූමිය තුල ගුරු සිසුහු ගැවසෙති. අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුවේ. එකී මාස තුන තුල සිසුන් නොගැවසුනාම නොවේ. නමුත් ඒ කාගේවත් කීමකට යටත්ව හෝ කාගේ හෝ පැත්තක් ගැනීමේ අරමුණින්ද නොවේ. ලංකාවේ අන් සියළු විශ්වවිද්‍යාල වලින් මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනස් වන්නේ ද එයිනි. මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුල පක්ෂ දේශපාලනයක් නැත. දේශපාලකයන්ගේ අතකොළුද නැත. ඉතින්, මහත් ආන්දෝලනයට ලක්වූ, පුවත්පත් හා පුවත් වෙබ් අඩවි වලට රසවත් ප්‍රවෘත්තියක් මැවූ එම ගැටළුව පිළිබඳව මඳක් විමසා බලමු.

බාහිරට පෙනෙන්නට තිබූයේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි නොවීමේ ගැටළුව අරභයා මොරටු සිසුන් කළ ක්‍රියාකාරකම් කිහිපයකි. සමහරෙක් එය අධ්‍යාපන ඇමති තුමාට විරුද්ධව ක්‍රියාවට නැංවූවක් ලෙස හුවා දැක්වීමටත් උත්සුක වූහ. විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ සිසුන් ලෙස නිදහස් අධ්‍යාපනයට වැට බැඳීමට සැරසෙන වැඩපිළිවෙළවල් වලට විරුද්ධ වීමට අපටද අයිතියක් ඇත. ඒ නිසා එකී පෝස්ටර් ඇතුළු සියළුම විරෝධතාවයන්ගේ අරමුණු වූයේ ආචාර්යයවරුන්ගේ අරගලයට සිසුන් වශයෙන් සහය දැක්වීම සහ හුදෙක් ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීම විනා අන් කිසිවක් නොවේ. මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් වශයෙන් අපට ඒ හැර අන් කිසිම චේතනාවක් නැත. කිසිදු දේශපාලන පක්ෂයක මතයක් දැරීමට ද අපට කිසිම අවශ්‍යතාවයක් නැත. ඒ අප එකී බල ලෝභී කිසිවෙකුගේ අතකොළු නොවන හෙයින් ද, පටු දේශපාලන වාසි වලට ලංකාවේ උසස්තම ඉංජිනේරුවන් බිහි කරන විශ්ව විද්‍යාලයට හෑල්ලු කිරීමට තරම් පහත් මානසිකත්වයක් අපට නැති නිසාය.
එබැවින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨය වශයෙන් මෙතෙක් අප ආ මඟ පිළිබඳව අපි සැහීමකට පත් වන්නෙමු. ඉදිරිය පැහැදිලිය. අපි එය පසුපස ස්වාධීනව ගමන් කරන්නෙමු.
ඉතිං, නංගියේ මල්ලියේ,
“මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ඔයාලගේ මොළවලට වස පොවන ජාතියේ කට්ටිය නෑ.අපි ඒක නිර්භයව කියනවා. මොකද කැම්පස් එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී අපි ඔලුවේ තියන පාට පක්ෂ භේද ටික එළියෙන් තියල එන්නේ. අපි සියළු දෙනාම අපගේ අනාගතය ගැන විවෘත මනසකින් ඉන්නේ .එ හින්ද අපිව කොච්චර හංවඩු ගැහුවත් ඉංජිනේරුවන් වශයෙන් අපි හරි මඟ යනවා. ඔයාලට අපි ඒක සහතික කරනවා.”

Friday, July 29, 2011

අපි කවුරුන්ද?


වර්තමාන සමාජය තු විශ්වවිද්‍යාල සිසුවෙකු එසේත් නැතහොත් අපට ආවේණි වන පරිදි ඉංජිනේරු පීඨ ශිෂ්‍යයෙකු  යනු කවුරුද යැයි විමසුවහොත් බොහෝ දෙනාගේ මුවගට නැන්වෙන්නේ රටේ අධ්‍යාපනයේ අග්‍රතම අස්වැන්න ලෙසය. එහෙත් රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අපව පෙනෙන්නේ කාලකන්නින් ලෙසවීම රටේ උසස් අධ්‍යාපනයේ පරිහානියේ  පෙර මන් සලකුණක් මිස අන් කවරක්ද? එබැවින් යහළු යෙහෙළියනි, කාලය එලඹ ඇත.

සිතන්න,
අප කවුරුද?

ඉංජිනේරු ශිෂ්‍යයන් ලෙස අප විශ්වවිද්‍යාලයේ ගෙවූ මු වසර දෙස හැරී බලන්නට කලයි මේ. දිවයිනේ අභියෝගාත්මකම වූත් තරඟාකාරීම වූත් .පො.. .පෙ විභාගයට පෙනී සිට ඉංජිනේරුවෙකුගේ ප්‍රථම සුදුසුකම සපුරා භෞතීය විෂය ධාරාවෙන් ඉහළම ලකුණු ලබා අපි මෙහි පැමිණියෙමුඅද වන විට අප විශ්වවිද්‍යාල තු වසරක් ගෙවා සිටිමු. එම වසර අප ජීවිතයේ තීරණාත්මක අවදියක් යයි යමෙකු පවසන්නේ නම් එය ඇත්ත වශයෙන්ම සත්‍යයකි. මන්ද යත් .පො.. උසස් පෙලට ගණිත විෂය තෝරාගෙන ඉංජිනේරුවෙකු වීමේ එකල වූ සිහිනය අවබෝධාත්මක ස්වරූපයකින් අප ජීවිතයට එක් වී අති බව මනාව දන් අපට හැඟෙන බැවිනි.

අප විශ්වවිද්‍යාල අප අතරින් නායකයින් බිහි ළේ. රඟමඩලේ රංගන ශිල්පීන් බිහිවෙද්දී විටක වේදිකාව ස්වර සංගීතයෙන්  මවිත කිරීමට අපි සමත් වීමුලේඛකයින්, නිර්මාණකරුවන් අප අතරින් බිහි වූයේ ඉංජිනේරුවන් වන අප සියල්ලන්ටම දක්ෂයින් බව අපටම පසක් කර දෙමිනි. එපමණක් නොව අප අතර වූ අපේම සහෝදර සහෝදරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය අප විශ්මයට පත් කලේ ඉංජිනේරු සිහිනයක් ඔවුන් තු නොතිබුණි නම් ඔවුන් නිසැකයෙන්ම වෘත්තීමය ක්‍රීඩකයන් වන බව විදහාපාමිනි. මේ අපගේ අධ්‍යාපන පසුබිම තු ගැබ්ව තිබූ ඇතැම්විට ඔබ නොදුටු චරිතයි

අපගේ වෘත්තීමය ක්ෂේත්‍රයේ සමාජය නොහඳුනාගත් හැකියාවනුත් මෙවැනිමද????

අප විශ්වවිද්‍යාල තුළ අපට දැනුමෙන් අග තැන්පත් ආචාර්යවරුන් පිරිසක් අප මෙහෙය වීමට නොසිටීයේ නම් ඉහත ප්‍රශ්නයට පිළිතුරක් දීමට අප අපොහොසත් වනු නිසැකය. නමුත්  මොරටුව විශ්වවිද්‍යාල අපට විශ්ව ගම්මානයක් වෙමින් නමට පමණක් සීමා නොවූ නායකත්ව පුහුණුවක් වසරක් මුළුල්ලේ දෙමින්, ඉංජිනේරුවන් ලෙස ලොවට ගෙන යාමට එ මහා   අඩිතාලම එය සතු වූ සීමිත සම්පත්වලින් සම්පූර්ණ ශක්තිය යොදවා අපට ලබාදුණි. ලැබුණු සීමිත සම්පත් මනා ලෙස හසුරුවමින් ප්‍රයෝජනයට ගැනීමට අප ආචාර්යවරු හා මහාචාර්යවරු අපව මෙහෙය වූහ

මු වසරේ සිසුන් ලෙස අප මුලධර්මවලට සීමා නොවී  විශිෂ්ට, කාලෝචිත වූ රටට ගැලපෙන නොයෙක් නිර්මාණ අප සිසු කණ්ඩායම් අතරින් බිහිවිණි. දැන් පි "අප කවුරුද?" යන වග මනා ලෙස දන්නා අනාගත ඉන්ජිනේරුවන් වෙමු. ඉඳිකටුවක්වත් නිශ්පාදනය කීරීමට රටේ තාක්ෂණයක් නොමැතියයි වගකිවයුත්තන් පවසන විට ඉඳිකටුවක් පමණක් නොව අභ්‍යවකාශ යානයක් වුවද නිෂ්පාදනයට හැකියාවක් අප සතුව පවතින බව අප සමාජයට පසක් කළ යුතුය. රටේ පරිපාලනය අපට එම මාර්ගය නොසාදා අති බැවින් නව මගකට අඩිතාලම සැපයීම අප සැමගේ වගකීම වේ.

එන්න,අප  හා එක්වෙන්න...! මේ බ්ලොග් පිටුව කරළියක් කරගන්න.

ඔබගේ දෙපාර්ත්මේන්තුවේ නව නිපැයුම්, ගවේශන රටට පෙන්වා රටට බලාපොරොත්තුවක් දීමට ඔබත් උත්සුක වන්න....!!

අපේ දනුම, අපේ තාක්‍ෂණය එක්වුණු විට එය අපේ දේශයේ අනාගතයයි..!!!
                                                                                                                                                      -පළමු වසර සිසුවෙක් -