Showing posts with label බලධාරීන්. Show all posts
Showing posts with label බලධාරීන්. Show all posts

Thursday, February 2, 2012

පෙන්ගුයින් හා වේවැල


“ක්රාස්....ක්රාස්....”
   
සිහින ලොවින් මා බිමට ඇද දමා, පශ්චාත් භාගය ධරණි තලයේ  සිප ගැන්වීමට තරම් ඒ නුහුරු හඬ ප්‍රමාණවත් විණ. නොබෝ දිනකින් එළඹෙන විභාගය හමුවේ අකමැත්තෙන් වුවද මුහුණ දීමට මට කටයුතු සම්පාදනය වී හමාරය. එවැනි මොහොතක සිහින ලොවේ කරක් ගසමින් අල්ලාපයේ යෙදීම තරම් නොවුවද, සිහින කොදව්වෙන් මා ඉවත් කරගෙන පැමිණි ගොඩ උඩ අයියා කෙරෙහි පහන් හැඟීමක් ඇතිවුණේ මට නොවේ.

ගොඩ උඩ මෑතකදී සිදුවූ නවීකරණය හමුවේ එයට තව දුරටත් ඒ නම නොගැලපෙන බව තීරණය කළේ තතු දන්නන් බව පීඨයේ ඇතැමෙකු කියනු මා අසා ඇත. එතැන් සිට එය ‘පෙන්ගුයින් කැෆේ’ නම් වන්නේය. ආපනශාලා වල දහසකුත් ප්‍රශ්නවලට අප මුහුණදී ඇති මෙවන් සමයක ඇතැම් විට ඔවුන් එම නම් තැබීම කළේ ඒවාට ඇති පිළිතුරක් වශයෙන් විය හැකිය. සමහර විට එම නම් තැබීම හරහා ගොඩ උඩ මෙතෙක් තේ හැන්දෙන් බෙදූ එළවලු මේස හැන්දෙන් බෙදෙනු ඇත. නිවුණු කෑම වෙනුවට නැවුම්, රස බොජුන් ෂෝකේස් එකට එනු ඇත. ඇතැම් විට ගොඩඋඩ ඉඩ පහසුකම් ද වැඩිවනු ඇත.ගොඩ උඩ තිබෙන සින්ක්වල වතුර බැස නොගියද එම ජල ප්‍රමාණය පෙන්ගුයින් කෙනෙකුට මඳක් මදිය. එබැවින් ආදර්ශ පෙන්ගුයින් ටිකක් හෝ ඇතැම් විට පෙන්ගුයින් පැටවුන් කිහිප දෙනෙකුගේ "පෙන්ගුයින් සුරතල්" බැලීමට අපට ඉදිරියේදී අවකාශ ලැබෙනු ඇත.

ඒ අපට ගොඩ උඩ නම්  තැබීමේ උත්සව සමයේදී සිතුණ හැටිය. ඒ සිතුවිලි කොතරම් දුරට යථාර්තයක්ව ඇත්දැයි සිතෙන විට ගොඩ උඩ කෙසේ වෙතත් මගේ ඇඟේ නම් පෙන්ගුයින්ලා නටන්න පටන් ගන්නේ නිරායාසයෙනි. මෙම ගොඩ උඩ ‘පෙන්ගුයින් කැෆේ’ ලෙස නොව "බුවල්ලා කැෆේ" ලෙස නම් කළත් මට රුදාවක්‌ නැත. මට රුදාව ඇත්තේ ඒ පෙන්ගුයින්ට නිසිලෙස සාත්තු නොකිරීම ගැනය. ඌට කුඩම්මාගේ සැළකිලිවත් නොමැති වීම ගැනය. කෙසේ වෙතත් ඒ නම් තැබුවන් මෙනෙහි කර ගොඩඋඩ අයියාට මෙතැන් සිට පෙන්ගුයින් අයියා යැයි පවසමි.

නුහුරු හඬින් තිගැස්සී ඉදිරිය බැලු මා ඉදිරිපස සිටින ඒ අසාමාන්‍ය පෞරුෂය අපේ ගොඩ උඩ අයියාගේය. සමාවන්න  පෙන්ගුයින් අයියාගේය. වැරදුනේ හිතේ තිබු තිගැස්සමටය. ඉද්ද ගැසුවාක් මෙන් මා ඉදිරියේ මට පිටුපා අයියා සිය අසාමාන්‍ය දේහ පෞරුෂය විදහාලමින් සිටගෙන සිටී. ඒ ආරෝහ පරිනාහ දේහය අඳුන් කුලක් මා දැක නැතිමුත් සිත්හි චිත්‍රනයට සමත්ය. පුන්සඳ වන් හිස් මුදුනේ ඉතිරිව ඇති කෙස්රොදවල් කෝපයෙන් නලියන ගමන්ය. හුරු පුරුදු නිල ඇඳුම වුවද කලබලයට අවුල්ව ගොසිනි. අඳුන් කුළෙන් දුම් පිටවෙන්නාක් මෙන් අයියාද තවමත් හතිලමින්ය.

රූප විද්‍යාව කෙළ පැමිණ නැති මුත් මේ එන්නේ  හොඳකට නොවන බව ඉවෙන් මෙන් මට දැනිණ. අයියා සිටින ඉසව්ව ළඟ පාතක සිසුවකු පවා නොමැත. මේස දෙක තුනක් එහායින් සිටින අපත්, තවත් පිරිසකුත් අයියා දෙස බලා ගත් වනමය. ගෙදරින් ආ දා පටන් කටක් පුරා උදේ හවස "පුතේ" කියන්නේ  අපේ පෙන්ගුයින් අයියා ය. ඇත්තම කියනවා නම් මම එම වදනට පෙම් කරමි. නිවුන බත් පිඟාන ‘පුතේ’ කියා දත් තිස් දෙකම පෙන්වා දික් කරද්දී කන්නට පෙරම බාගයක් බඩ පිරිලාය. පෙන්ගුයින් අක්කාගේ සුකුමාල හිනාව හා කෝල වදන් එක්වූ විට බත් වලට බඩේ ඇත්තේ සුළු ඉඩක් පමණි. හිත අයියා ළගට දිව ගොස් කිමදැයි ඇසීමට  බල කළද මම තවත් මොහොතක් ඉඳීමට ඉටා ගතිමි. ‘ක්‌රාස්...’ හඬ නැවතත් රැව්පිළි දුන්නේ ඔය අතරය. වඩා විමසිලිමත්ව බැලූ විට, අයියා සුරතින් වේවැලක් දරන බව දක්නට ලැබිණ.

මා දන්නා පරිදි අයියා බස්තමක් පාවිච්චි කල යුතු වයසක නම් තවම නැත. අනේ මේ අහිංසකයාට කුමක් නම් සිදු වී ද? මගේ මෙමරිය auto refresh විය. මීට මොහොතකට පෙර මම අයියා ගහක් ගලක් මෙන් ඇවිදිනු දිටිමි. විලාසිතාවක් විලසින් අයියා වේවැලක් භාවිතා කරනු ඇතැයි සිතීමද උගහටය. සිද්ධි සමුදායේ සම්භාවිතාව එකින් එක පිරික්සන අතරතුර ඊට ඉඩ නොතබාම අයියා දනි පනි ගා මේස අතරින් ඉදිරියට දිව යන්නට විය. ඒ පංචස්කන්ධයේ බරට දක්ෂිණ අධිවේගයේ පාලමක දිව ගියේ නම් මහින්ද මාමාගේ ජන්ම දිනයේදී මාවත විවෘත කිරීම සිහිනයක්ම වනු ඇත. රා කළ හතක් ගිජිඳකුට පෙවිය හැකි නම් ඌ කොතරම් භිරාන්ත දසුනක් මවනු ඇත්දැයි සිතීම මට දැන් උගහට නොවේ. පෙන්ගුයින් කැෆේහි සියලු දෙනා මේ නෙත් දල්වා සිටින්නේ එළඹෙන මොහොතේ කුමකින් කුමක් සිදුවේදැයි සිතිය නොහැකිව ය. වේගයෙන් පෙරළුණු අයියා තම අයෝමය සුරත් බාහුව  ඔසවා, පරිසරයම ගිගුම් දෙමින් නැවතත් තම වේවැල් රාජයාගෙන් කුමකට දෝ තඩිබානු දිටිමි. ද්වන්ධ සටනේ අනෙක් තරඟකරු පිටියට අවතීර්ණව ඇති බව දුටුවේ එවරය. කුඩා කාලයේ අසා තිබුණු ගලිවර් හා ලිලිපුට්ටන්ගේ කතාවේ ලිලිපුට්ටන් ගලිවර් දුටු සැණින් කෙතරම් විස්මයාර්තයට, උභතෝකෝටිකයකට, භිරාන්තයකට ලක් වුණාදැයි සිතීම එවෙලේ අනෙකාගේ වත කමල දිටී නම් මොනවට පැහැදිලි වන්නට තිබිණ.

අයියා මෙතෙක් වෙලා දිව ගොස් ඇත්තේ කුඩා බැලූ පැටියෙකු පිටුපස්සේ බව පසක් වුයේ දැන්ය. වේවැලෙන් විටක මේසයටද, විටක බිමටද තඩිබාමින් අයියා  බලු කුක්කාව පෙන්ගුයින් කැෆේ සංකීර්ණයෙන් පිටමං කිරීමට තැත් කරයි. භිරාන්තවූ බලු කුක්කා කිසිත් සිතා ගත් නොහී, පස්සෙන් පස්සට දිව යන්නේ පණ ගැහෙමිණි. පස්සෙන් පස්සට ගිය කුක්කා අවසානයේ මුල්ලකට හිරවුණේ අසරණත්වයේ පතුලටම කිමිදීමෙන් අනතුරුවය. ඉනික්බිති එළඹුණ නිසොල්මනේ ක්ෂණය ඌ තම අවසන් කැමැත්ත මෙනෙහි කිරීමට වැය කළා විය හැකිය. එනමුදු පෙන්ගුයින් අයියා නොවේ ඌට එකක්වත් තැලුවේ. ඒ වෙනුවට ඌ අසළ පොළවට වැරෙන් පාරක් දෙකක් වේවැල ඔසවා පහර දෙද්දී අභය දානයලත් කුක්කා මර හඬළමින් කැෆේ පඩි පෙළ තරණය කර නොපෙනී ගියේය.

මීට ඉහතදී පෙන්ගුයින් කැෆේහි පිඟන්වල පූසකු හා බලු කුක්කකු ඉඳුල් රස බලන පින්තුරයක් සයිබර් අවකාශයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම පින්තුරය අන්තර්ජාලයේ පළවීම මා තුල යම් කළකිරීමක් ඇති කළද, මේ නිසාවත් අපේ PHI මහතාගේ ඇස් ඇරෙනු ඇතැයි මම සිතීමි. කණ කැස්බෑවා අර මොකෙන්ද හඳ දුටුවත් අපේ PHI නොවේ මෙම ගැටළු දුටුවේ. ලංකාවේ උසස්ම ප්‍රතිඵල ලැබ මෙහි පැමිණි අපට රන් තලියක හොවා රජ බොජුන් පිලිගැන්විය යුතු යැයි මම යෝජනා නොකරමි. එනමුත් බල්ලන් පූසන් ළෙවන පිඟන්වල හොවා කෑම පිලිගැන්වීම කෙතරම් දුරට තරම් දැයි සිතිය යුතුය. මා මෙවැන්නක් ලිවීමට අදහස් කළේ මටත් සිතා ගත නොහෙන ප්‍රශ්නයක විසඳුම් කොහිදැයි සෙවීමට ය. "ඇත්තටම වැරද්ද කොතනද?" ඒ මා මෙතැන් සිට ඔබට යොමු කරන පැනයයි.

පැනයට පිළිතුරු සෙවූ මාගේ පළමු චූදිතයා එම බලු කුක්කාය. බල්ලකු වුවද උගේ බලු මොළයට ඌ කරන නොපනත්කම් පිලිබඳ වැටහීමක් තිබිය යුතුය. ඒ අතින් බලන කළ උගේ මේ හැසිරීම ජුගුප්සාජනකය. තමන්ගේ  වරිගයේ උන් අද රටේ ඉහළම තැන් වල කටයුතු කරන බව හේ දැනගත යුතුය. ජලවන්නාවේ උන්ගේ උන් මුළු රටටම බල පවත්වන්නට නීති කෙටුම්පත් සකසද්දි ඌට මීට වඩා නීතිගරුකව හැසිරීමේ වගකීමක් ඇත. ඒත් උගේ පැත්තෙන් බැලූ විට ජලවන්නාවේ උගේ උන් ද කෙතරම් නීති රීති තැනුවත් උනුන්ම ඒවා රිසි රිසි සේ කඩා බිඳ දමත්. එසේ නම් ඒ බලු ගතිය වීමට බැරි නැත.
වැරැද්ද අපේ සහෝදර ශිෂ්‍යන්ගේවත් ද? රටේ මිනිස්සුන්ට පාන්වත් කියා ගන්නට බැරි කල, සරසවි ශිෂ්‍යයන්ට  අතිගරු ජනපති ආශීර්වාදයෙන්, උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ මෙහෙයවීමෙන්, ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ උපදේශකත්වයෙන්, තාරුණ්‍යයට හොටක් සංවිධානයේ පුර්ණ අනුග්‍රහයෙන්, පෙන්ගුයින් අයියා විසින් රුපියල් 25 ට බත් පත ලබාදෙද්දී බල්ලන්ට බළලුන්ට කෑමට පිඟන්වල කෑම ඉතිරී කිරීම කොතෙක්නම් යුක්තිගරුකද? ඒ අතින් බලද්දී පිඟානේ බත් ඇටයක් නෑරම සූරා කා, ඇඟිල්ලද ලෙව කා, අවසානයේ පිඟාන ද ළෙව්වානම්, බල්ලන් බළලුන් අර පිඟන් සොයා පැමිණෙනු නොඇත. මෙතරම් ප්‍රණීත ආහාර ඉවතලන්නන් දේශ ද්‍රෝහීන් ලෙස ඇතැම් විට "විමසුමෙන් " හෙට දිනයේ හංවඩු ගැසුවොත් පුදුම වීමට දෙයක් නම් නැත. අබේසුන්දරලා කුමක් කියා හංවඩු ගැසුවත් සාගතයකටවත් කැම්පස් බතක් කෑ එවුන් "විමසුම" නැවත විමසන බව මම දනිමි. 

ආපනශාලා මෙබඳු තැනකට පත්වීමට PHI මහතා ප්‍රමුඛ නිලධාරීන් වගකිව යුතු යැයි මට සිතිණ.එහෙත් අනික් පසින් බලද්දී උන්ද රාජ්‍ය සේවකයෝය. ලොකු පුටුවල ඉන්නා නිලධාරීන් ප්‍රතිපත්තියක් ලෙස නොමනාව හැසිරෙද්දී මොවුන්ටද වැරැද්දක් කීමට උගහටය. ඔවුන්ගේ පැත්තෙන් බැලු විට ඔවුන් කාර්යාල පටිපාටිය අකුරටම පිළිපදී. කණිෂ්ඨ නිලධාරීන් ජෙෂ්ඨයන්ට, ඔවුන්ගේ ක්‍රියාවන්ට නිරන්තරව අවනත විය යුතුය; අනුකූල විය යුතුය. තවද දන්නා තරමින් PHI මහතාගේ පුතාවත් දුවවත් මොරටුවෙන් අකුරු නොකරති.ඒ නිසා හේ එතරම්ම කලබල විය යුතුද නැත. වැදු මව පියා තම අලුත උපන් දරුවා කාසි කොළ වලට විකුණන පසුබිමක අපේ PHI මහතා අනෙකුන්ගේ දරුවන්ට බල්ලන් බළලුන් ලෙවන පිඟානකින් බත් කෑමට සිදුවීම සැලකිල්ලට ගැනීමද නුවුවමනාය.

වැරද්ද පීඨාධිපති, අංශාධිපති ප්‍රමුඛ කරගත් පරිපාලනයේ දැයි සිතුණේ ඊළඟටය. ඒත් මඳක් විපරම් කරද්දී මේ බලු ගැටළුව ගැන  ඔවුන් ශිෂ්‍ය නියෝජිතයන් සමග පවත්වන රැස්වීම්වලදී පුරුද්දක් ලෙස නිරතුරුවම සාකච්ඡාවට බඳුන් කරන බව දැනගන්නට ලැබුණ. කොතෙකුත් ශිෂ්‍ය ගැටළු පවතිද්දී මෙවන් ප්‍රශ්නයක් නිතිපතා පුරුද්දක් ලෙස විමසන පරිපාලනයක් සිටීම කොතරම් නම් භාග්‍යවන්තද? එසේනම් මේ වනවිට මාස ගණනක් මුළුල්ලේ, පැය විසි තිස් ගණනක් මෙම ගැටළුව සාකච්ඡාවට බඳුන්ව ඇත. ඒ අතින් බලද්දී විසඳුම් ලබාදීම කෙසේ වෙතත් එකම කාරණයක් හාරා අවුස්සමින්, නැවත නැවතත් විමසමින්, උඩ දමමින්, වටේ යමින් එම ගැටළුව අවබෝධ කර ගැනීමට ඔවුන් දරනා වෑයම අතීශය ප්‍රශංසනීයය. අනෙක් අතින් බල්ලන් පූසන් සමග එකම පිඟානක බත් කෑම නිසා විශ්ව විද්‍යාලයේ ශ්‍රේණිගතකිරීම් පහළ යන්නේද නැත. උපාධි සහතිකයේ වටිනාකම පහළ යන්නේද නැත. ඇතැම් විට ඔවුන් මේ හරහා ලබා දෙන සහතිකයේ ප්‍රමිතිය ඉහළ දැමීමට තැත් කරනවා විය හැක.ඒ හරහා ලබන වසරේ සිට අපේ සහෝදර ශිෂ්‍යයන්ට eco - friendly engineering ඩිග්රියක් වුවද ලැබීමට බැරි නැත.

මෙවන් දෙයක වගකීම පෙන්ගුයින් අයියා ඇතුළු පිරිස ගත යුතු දැයි බැලීමට මට සිතිණි. අපට මෙන්ම  අයියාට ඇත්තේ අත් දෙකකි. එසේනම් කවුන්ටරයේ කෑම විකුණන අයියාට එකවර කැන්ටිමේ මේස අස්කිරීම කළ නොහැක. තව තවත් සේවකයින් බඳවා ගතහොත් අත ඉතිරිවන සොච්චම් ලාභයටද හෙට දිනයේ අනිවාර්ය සේවා ලෙස හෙනහුරා කඩා පනිනු ඇත. ලාභ ඉපයීම පිණිස මහජන නියෝජිතයින් කුඩු විකුණන, ගණිකා ව්‍යාපාරය කරවන සිරි ලංකාවේ එම නියෝජිතයින්ව අපි නැවත නැවත කතිරය ගසා උස් පුටුවලට නිතරගයෙන්ම යවමු. කලින් දා වහලට ඇස්බැස්ටෝස්  ෂීට් දෙකක් දුන් විට, පාරට තාර කට්ටයක් දැමු විට අපි උන්ගේ සියලු අලුගුත්තේරු වැඩ අමතක කර ඉහළම මනාපයක් දී ආසනයේ ඉහලට ඔසවා තැබීමට පසු නොතවෙමු. එලෙස ඔවුන් විසින් ලාභ සෙවීමට කරන ඒ අවැඩ අප මනාපයෙන් අනුමත කරන සන්දර්භයක පෙන්ගුයින් අයියගේ ගුණ උදේ හවා  පචවාහිනියෙන් වැයිය හැකිය. ලාභ තකා ඔවුන් කරන අලුගුත්තේරුකම් සිහිවද්දි අයියා වරදක් කර ඇත්දැයි සිතීම පවා තරම් නොවේ. එකිනෙක ඉදිවන පුද්ගලික උපාධි කඩ හමුවේ තව කොතෙක් කල් මොරටුව තිබේදැයි පෙන්ගුයින් අයියාට සාධාරණ පැනයක් තිබෙනු නොඅනුමානය. බදු කාල සීමාවේ ඉම ඈතින් පෙනෙන කල්වත් ඉදීමට පෙරුම් පුරන ඒ අහිංසකයා මෙහිලා චෝදනාවට බඳුන් කිරීම අතිශය අසාධාරණය.

එකින් එකා වෙන වෙනම මගෙ ජූරි සභාවට ගෙන්නුවද නිසි වගඋත්තරකරුවකු මට සොයා ගත නොහීවීම මගෙ නොහැකියාවද, නොදැනුවත්කමද, එසේත් නැත්තම් වෙන මොකක්දැයි මම නොදනිමි. මට දැනෙනා සැටියට අප සැවොම වූ කලී මෙම දූෂිත සමාජ ක්‍රමයෙන්ම ජනිතවූ, එය මතම යැපෙන, එයින්ම පුහු ඊනියා වින්දනයක් ලබා එතකුදු නොනැවතී එයම ඉදිරියට දායාද කරන දූෂිතයෝය. අප කොතෙක් පිළිගැනීමට අකමැති වුවද ඔබත්,මමත් මෙම ක්‍රමයේ දූෂිතයෝය. අප මෙහිලා පමණක් නොව අන් සෑම තැනකදීම බෝලය අනෙකාට පාස් කිරීමට‍ දරන තැත නිරර්ථක වන්නේ එබැවිනි. එක් එක් අවස්ථාව තෘප්ත කිරීමෙහිලා දමන පැලැස්තරය නියම විසඳුමයයි ඒත්තු ගැන්වීමට තරම් මෙම ක්‍රමය සූක්ෂ්මය. වෙනසක් නොවී එදා සිට හෙට දක්වාම අපි අපටම ඇඟිල්ල දිගු කරමින් සිටිමු. අපම මවූ, අපම වැවූ, අපම දායාද කරන්නාවූ ගැටළුවට අපම ඇඟිල්ල දික්කිරීමට තරම් නිරලජ්ජිත එඩිතරකමක් මේ ක්‍රමයෙන් අපට උරුමව හමාරය. එබැවින් අපට අවශ්‍ය ක්ෂණයේදී පමණක් අපම ක්‍රමයෙන් වියුක්තව එකී ක්‍රමයම අනුකම්පා විරහිතව විවේචනය අපට දැන් හොඳ හැටි හුරු පුරුදුය.



එබැවින් ආදර සබඳ හැමදාමත්ම 
          ඔබ නිදොස්ය ...
                   ඔවුන් සදොස්ය......

දෙවන වසර සිසුවෙක්

Wednesday, January 25, 2012

විශ්වවිද්‍යාල අර්බුධයේ තවත් පැතිකඩක්, අනධ්‍යයන වෘත්තීය සමිති ක්‍රියාදාමය සහ එහි පසුබිම



රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම විවිධ හැලහැප්පීම්, අර්බුධ හමුවේ ඒවාට මුහුණ දෙමින් විකාශණයවු අතර මෑත කාලීනව අර්බුධ රාශියකට එකවර මුහුණපෑමට සිදුවීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උණුසුම් වතාවරණයක් පැනනගින්නට විය. පැහැදිලි කරගත යුතු තත්වයන් වන්නේ මෙම අර්බුධ කිසිවක් එකවර පැන නැගුණු ඒවා නොවන නිසාය. මෙම ගැටළුකාරී තත්වයන් දිගු කාලයක් තුළ සංවාදයට බඳුන් වී තිබුනත් නිසි විසඳුම් නොලැබීම නිසා අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඒ හරහා අපැහැදිලි චිත්‍රයක සේයාවක් මවමින් තිබේ. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ ඉතාමත් කතාබහට ලක්වු ආන්දෝලනාත්මක අර්බුධයක් ලෙසින් අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් අර්බුධය හැඳින්විය හැක. මෙම අර්බුධය සාකච්ඡාවට බඳුන් කල යුතු වන්නේ එම අර්බුධය හමුවේ විශ්වවිද්‍යාල කටයුතු බොහෝමයක් වරින්වර ඇනහිටීම් වලට ලක්වූ අතරම එවැනි තත්වයන්, විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවය කෙරෙහි කෙසේ බලපා ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තවමත් නිවැරදි වැටහීමක් නැති හෙයිනි. අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනයකදී පමණක් සමාජය හා බහුතර විශ්වවිද්‍යාල ජනතාව සොයාබලන ඔවුන්ගේ කාර්යභාරය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේද යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙසින් විමසා බැලීම, විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගත සුරක්ෂිතභාවය සොයන බොහෝදෙනෙකුට වැදගත් වේ.

අනධ්‍යයන සේවකයන් විශ්වවිද්‍යාල පද්ධතිය හා නිරතුරුව බැඳී පවතී. ශිෂ්‍යන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන්ගේ සහය නිරතුරුව හිමිවේ. ඔවුන්ගේ වැඩ මුරය වන්නේ පැය 8 ක කාලයකි (8 - 4). නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප දන්නා කාරණයක් නම් ඇතැම් ප්‍රයෝගික පරීක්ෂණ සවස 6.00, 7.30 දක්වා පමණ දීර්ඝ වන අවස්ථා ඇත. එමෙන්ම විද්‍යාගාර නඩත්තු කිරීම, පිරිසිදු කිරීම්, සැපයීම් කටයුතු සියල්ල සිදුවන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලය හරහාය.  ගොඩනැගිලි, දේශනශාලා විවෘත කිරීම,පරීක්ෂණ කටයුතු ආදී ආචාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවටද දැනෙන බොහෝ ක්‍රියාකාරකම් රාශියකට සෘජුවම මෙන්ම වක්‍රවද අනධ්‍යයන කාර්යමණ්ඩල සම්බන්ධ වේ. සුළු කාල පරිච්චේදයක් අනධ්‍යයන සේවකයන්ගේ සහාය රහිතව පවත්වාගෙන යාහැකි වුවද එය දීර්ඝ කාලින නොවේ. යම් හෙයකින් පරිපාලන නිලධාරින්ද ඒ සමග ඒකාබද්ධ වුවොත් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වනු ඇත. විභාග කටයුතු, බඳවා ගැනීම්, සියල්ලම අඩපණ වනු ඇත. මෙය විශ්වවිද්‍යාලයේ සියලුම කටයුතු වලට දැඩිව බලපාන අර්බුධයක් වන්නේ මේ හෙයිනි.

අනධ්‍යයන සේවකයන් ලෙස ප්‍රචලිත මෙම කොට්ඨාශය කුමන සංයුතියක්‌ තුළින් නිර්මාණය වීද යන්න ප්‍රථමයෙන් විමසා බලමු. අනධ්‍යයන සේවකයන් ඔවුන්ගේ තනතුරු හා ශ්‍රේණි මට්ටමින් වු වෘත්තීය සමිති හා සංගම් තුළින් නියෝජනය වුවකි. මේ අනුව සමස්ථ අනධ්‍යයන සේවක පිරිස නියෝජනය වන්නේ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අධ්‍යයන සහයක සංගමය, විශ්වවිද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ලිපිකාර සේවා සංගමය, විද්‍යාගාර සහයක සංගමය ආදී වශයෙන් වු බොහෝමයක් සංගම් ඒකරාශී වීම තුළය. ඔවුන්ගේ ඇතිවී තිබෙන වැටුප් අර්බුධය නිසා වෙන්වු වෙන්වු ශ්‍රේණි නියෝජනය කරමින් පවත්නා වු වෘත්තීය සංගම් තම තමන්ගේ න්‍යාය පත්‍රය පසෙකාලමින් පොදු අරමුණක් සඳහා ඒකරාශී වී ඇත. ඒ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙනි. මෙහිදී පෙර අවස්ථාවලදී නොවු පරිපාලන නිලධාරීන්ගේ හා අධ්‍යයන සහයක සංගම්ද මෙම අවස්ථාවේදි සමස්ථ පොදු අරමුණ වෙනුවෙන් කැපවීමක් දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් වෘත්තීමය වශයෙන් ශක්තිමත් වීමකි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන මෙම වැටුප් අර්බුධය අවසන් වෘත්තීමය ක්‍රියාමාර්ගය තෙක්ම දිග් ගැස්සීමට ලක්වූ අතර මෙම අර්බුධකාරී වාතාවරණය කෙසේ ඇතිවුවක්ද යන්න දැනගත යුතු කාරණයකි. මුලික වශයෙන්ම මෙහිදී ඇතිවී තිබෙන්නේ වටුප් විෂමතාව පිලිබඳ ගැටලුවකි. රාජ්‍ය සේවය හා විශ්වවිද්‍යාල සේවා (අධ්‍යයන / අනධ්‍යයන) සැලකු විට විශ්වවිද්‍යාල සේවා වල වැටුප් තල ඉදිරියෙන් පැවතිය යුතුය. සම්මතයක් වශයෙන් විශ්වවිද්‍යාල සේවා පමණක් නොව සංස්ථා මණ්ඩල ආදී ආයතනවලද වැටුප් තල රාජ්‍ය අංශයකට වඩා 33% ක් ඉදිරියෙන් පැවතිය යුතුය. ඊට සාධාරණ වු හේතු ගණනාවක් දැකිය හැක. මුලිකව විශ්වවිද්‍යාල සේවා සඳහා බදවා ගැනීම් සිදුකිරීමේදී රාජ්‍ය අංශයේ සේවා වලට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් හා පලපුරුද්ද සලකා බලයි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට රජය විසින් ලබාදී ඇති විශ්‍රාම වැටුප්, අග්‍රහාර රක්ෂණය, නිවාස ණය (4.5% පස් අවුරුදු, දස අවුරුදු) ආදී වරප්‍රසාද රැසක් විශ්වවිද්‍යාල සේවා වලට නොලැබෙයි. ඔවුන්ගේ ඇත්තේ ඔවුන් විසින්ම දායකත්වය ලබාදී පවත්වාගෙන යන විශ්‍රාම වටුප් ක්‍රමයක් හා අග්‍රහාර රක්ෂණ අරමුදලක් පමණි. මෙවැනි තත්වයක් තුළ වැටුප් සංශෝධන ගණනාවකට පසුව අවසන් වරට 06-2006 චක්‍රලේඛණය (2006 ජුනි මස) මඟින් සිදු කරන ලද වැටුප් සංශෝධනය මඟින් රාජ්‍ය සේවාවල හා විශ්වවිද්‍යාල සේවාවල වැටුප් තල සමාන කර ඇත. මෙම වැටුප් තලයන් සමාන වුවත් රාජ්‍ය අංශයකට හිමි වරප්‍රසාද කිසිවක් විශ්වවිද්‍යාල සේවාවලට හිමිවන්නේ නැත. උදාහරණයක්‌ ලෙස සඳහන් කළහොත් ජෙයෂ්ඨ මහාචාර්යවරයාගේ හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ/ අමාත්‍යංශ ලේකම්වරයාගේ වැටුප් තල සමාන කර ඇත. එතැනින් ආරම්භකර ඉන් පහලට වු ශ්‍රේණි හා වැටුප් තල සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාකර ඇත.නමුත් මෙහිදී විශ්වවිද්‍යාල සේවකයන් ඉල්ලා සිටින්නේ තමන්ටද ඉහත වරප්‍රසාද ලබා දෙන මෙන් නොව තමන් මුලින් පිහිටා තිබු වැටුප් තල වලම පිහිටුවනු ලෙසය. එලෙසම වාර්ෂික වර්ධක ලබාදීමේදී එය මුලික වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස ගණන් බලයි.නමුත් අදාල ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක මොවුන්ව පිහිටුවා ඇත. මෙම විෂමතා සියල්ල පාහේ වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාවට විස්තරාත්මකව පැහැදිලි කරදී ඇතත් මෙම විෂමතා ඉවත් කිරීමට කොමිෂන් සභාව මෙතෙක් සමත් වී නැත.

මෙහිදී නැවතත් සඳහන් කළයුතු කරුණක් වන්නේ විශ්වවිද්‍යාල සේවක පිරිස් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිවීමක් නොව මන්ද යත් වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාව මඟින් අනුමත කරන ජාතික වැටුප් වැඩිවීම් නොතකා එලෙස වැටුප් වැඩිවීම්  සිදුකිරීමට නොහැකි බව ප්‍රයෝගික තත්වයක් ලෙස වටහා ගත යුතු නිසාය. නමුත් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග වල ඔවුන් තවදුරටත් නිරතව ඇත්තේ එහි ඇති විෂමතා මෙන්ම වැටුප් විකෘතිතා ද බොහොමයක් නිසා අසාධාරණයට ලක්වී ඇති හෙයිනි. විශ්වවිද්‍යාල සේවා සැලකීමේදී අනධ්‍යයන සේවකයන්ගේ හා වැටුප් තලයට ඉහළින් පිහිටන ඉදිරි වැටුප් තලය වන්නේ අධ්‍යයන සේවකයන්ගේ වැටුප් තලයයි.මෙම වැටුප් වැඩිවීම් සිදුවිය යුත්තේ දෙපාර්ශවයටම සම්මත පරතරයකින් යුතුව සමගාමීවය. මේ සඳහා නිර්දේශිත අනුපාතයක්  සහිත වැටුප් වක්‍රයක් පවතී. නමුත් පසුගිය දශකය තුළ අධ්‍යයන කාර්යමණ්ඩල වලට විශාල වශයෙන් වැටුප් වැඩිවීම් ලබාදුන් අතර ඊට සමගාමිව අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම් ලබා නොදීම තුළ වැටුප් මට්ටම් අතර තිබිය යුතු අනුපාතය හා සුමට වක්‍රය බිඳ වැටීම සිදුවිය. එලෙසම මෙහි ඇති විෂමතාවයන්ට එක් උදාහරණයක්‌ කිවහොත් අධ්‍යයන කාර්යමණ්ඩලයේ මහාචාර්යවරයාගේ වැටුප් තලය හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉහළම නිළධාරියා වන ලේඛකාධිකාරීවරයාගේ වැටුප් තල එකම මට්ටමක පැවතිය යුතුය. නමුත් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමේදී පුස්තකලාධිපතිගේ වැටුපද ඊට සමගාමිව වැඩිවු නමුත් පුස්තකලාධිපති වගකිව යුතු නිලධාරියා වන්නේ ලේඛකාධිකාරීය. නමුත් ලේඛකාධිකාරීගේ වැටුප් තල අභිබවා යමින් පුස්තකලාධිපතිගේ වැටුප් තලය පිහිටුවා ඇත. මෙවැනි වැටුප් තල අතර තිබිය යුතු පරතර නැති කරමින් විකෘතිතා බොහොමයක් මෙහි දැකිය හැක.(මෙවැනි විෂමතා වැටුප් ශ්‍රේණි අතර රාජ්‍ය අංශයේ නිලධාරීන්ට සිදුවී ඇති අතර ඇතැම් සේවා ඒකාබද්ධ කිරීම් තුලින් සිදුවු විෂමතාවන්ට එරෙහිව මේ වන විට නීති මඟින් කටයුතු කරමින්ද පවතී. රාජ්‍ය සේවකයන්ගේ සේවා ව්‍යවස්ථා කිසිවක් නොතකා කතයුතු කිරීම නිසා මෙවැනි විෂමතා රාශියක් පන නැගී ඇත. ඇතැම් විට මෙය ජාතික අර්බුධයක් ලෙසද හඳුන්වා දිය හැකි නමුත් අප මෙහිදී සලකා බලනුයේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ලා ඇති වන බලපෑම්ය.)

පෞද්ගලික විශ්වවිද්‍යාල

උසස් පෙළ අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට බොහොමයක් ශිෂ්‍ය ප්‍රජාව සුදුසුකම් ලැබුවත් සීමිත සම්පත් හා තරඟකාරිභාවය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට ඇතුල්වීමේ හැකියාව ලැබී ඇත්තේ සීමිත පිරිසකටය. එය ඔවුන් ලැබු වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්ද වන්නේය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන ශිෂ්‍ය ප්‍රජාවට තම අනාගත සුරක්‍ෂිතභාවය වෙනුවෙන් උසස් අධ්‍යාපනික වරම් හෝ වෙනයම් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් මතුව ඇත.නමුත් එය විදේශ/ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන්ම පමණක් පිළිතුරු සොයා ගත හැකි ප්‍රශ්නයක්ද යන්න විමසාබැලිය යුතුය. දිනෙන් දින ඉහළ යන විරැකියාව ඊටම බද්ධ වූ දේශපාලන ඇඟිලි ගැසීම් හා රැකියා ලබාදීමේ කළුකඩ ව්‍යාපාර හා ‘පස්සා දොරෙහි’ දේශපාලනය හමුවේ ‘උපාධි කඩ’ ඇතිකිරීමෙන් පිළිතුරු ලබාගත හැකිද? අල්ප වු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පවතින්නාවු ඉහළ ධනවත් පන්තිය හෝ බහුතර මධ්‍යම පන්තිය හා පහළ දිළිඳු පන්තිය හෝ වෙනත් ආසියාතික රටවල ශිෂ්‍යයන් එම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළට ආකර්ෂණය කරගැනීමට අදහස් කරන්නේ නම එහි ඇති සක්‍යතාවය කුමක්ද යන්න සලකා බැලිය යුතුය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළහොත් ඒ සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හෝ වැටුප් අර්බුධ / විෂමතා වලින් හෙම්බත් වී සීමිත එම සේවකයන් ඒ සඳහා යොමුකරවා ගැනීමට ප්‍රයත්නයක් ඇතිවිය හැක. නමුත් මෙහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ වටිනා මෙහෙයක් සිදුකරන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටසක් වන ඔවුන්ගේ මතය පැසසීමට ලක් කල යුතුය. විචාරශීලිව ‘ලොකු ගොඩ’(මුදල්මය) බලා දුවන පිරිසක් නොවන බව රට හා එහි අනාගත අභිවෘද්ධිය කෙරෙහි සංවේදී වන තවත් පිරිසක් වන බව මෙහිදී සඳහන් කල යුතුය.

විශ්වවිද්‍යාල සඳහා වන පෞද්ගලික ආරක්‍ෂක අංශය හා නායකත්ව පුහුණුව.

රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය කුමක් වුවත් රජයේ ටෙන්ඩර ප්‍රතිපත්ති කුමක් වුවත් ටෙන්ඩර අතරමඟ නවතා නව පෞද්ගලික ආරක්‍ෂක අංශයකට විශ්වවිද්‍යාල පද්ධතිය භාරදී ඇත.මුහුණු වෙනස් නොවුනත් නිල ඇඳුම පමණක් වෙනස් කරමින් ආරක්‍ෂාවට පෙරට වඩා තුන් ගුණයක් පමණ වියදම් කරමින් එකම සේවය වෙනස් ප්‍රධානින් තුලින් ඉටුවීම ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරන්නකි. මෙම මුදල්ද වෙන්වන්නේ රටේ උසස් අධ්‍යාපන වැය තිරයටය. නමුත් ගුණාත්මකභාවයන් රහිත ඇතිවන මෙම තත්ව නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්වය තවත් පල්ලම් බසිනු ඇත.කලින් පවතී ආරක්‍ෂක අංශවල යම අඩුපාඩු හා චෝදනා රාශියක් තිබුනද නව ආරක්‍ෂක අංශයකට එය පැවරීම තුළින්ම පමණක් එම ප්‍රශ්න විසදී නැත. ඒ සඳහා බලධාරීන් ගත් ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන වැයතිරයකට තවත් බරක් වුවා පමණක් නොව තව අර්බුධ ද රාශියක් ඇතිකර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව, මෙහිදී සඳහන් කල යුතු වැදගත්ම කාරණයක් වන්නේ විශ්විද්‍යාල ප්‍රජාව ලෙස ශිෂ්‍ය, අධ්‍යයන, අනධ්‍යයන ආදී සෑම කොට්ඨාශයක්ම දැඩි මර්දනකාරී ක්‍රියා පටිපාටියකට දැනුවත්ව හෝ නොදැනුවත්ව ලක්කර ඇති බවයි. කිසිදු අවසරයකින් තොරව හමුදා පාලනයක ලක්‍ෂණ ගැන අසන්නට ලැබුණත් ඒ පිළිබඳව ඉදිරිපත් වන්නට මැලිකමක් දක්වන්නේද මෙම මර්ධනයේම ක්‍රියා පිළිවෙල නිසාය. නායකත්ව පුහුණුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගේ නායකත්වය හා විනය වැඩිදියුණු කිරීමටය. නමුත් එසේ එවන ලද පළමු කණ්ඩායම තුළින්ම එහි බොළඳ බව මනාව පැහැදිළි විය.ඔවුන් ඇතුල් වුයේද කලින් පවති විශ්වවිද්‍යාල පද්ධතිය තුළට මිස නායකත්ව පුහුණුවලද කඳවුරු තුළට නොවේ. ශිෂ්‍යන් අතර ඇතිවිය යුතු අන්තර් සබදතා සියල්ල සුනුවිසුනු කිරීමට එයට හැකිවන්නේ නැත. විශ්වවිද්‍යාල තුළට ඔත්තුකරුවන් රිංගවීම වැනි පහත් ක්‍රියාමඟින් විනය නිර්මාණය කල හැකිද යන්න තේරුම් ගත යුතු තත්වයකි. මිලියන ගණනින් හැඩවන මෙවැනි ව්‍යාපෘති සඳහා උසස් අධ්‍යාපනයට හිමි මුදල් ප්‍රමාණයම වැය වනවා නම් වැටුප් අර්බුධ, නේවාසිකාගාර ප්‍රශ්න, නඩත්තු සේවා, ආපනශාලා තත්වය හා ගුණාත්මකභාවය වෙනුවෙන් මෙන්ම පාඨමාලා ගුණාත්මකභාවය ගැනද විමසා බැලිය යුතුය. එසේ ගණන් බැලු කල, මහබැංකු වාර්තා කුමක් වුවත් ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට පැමිණෙන්නේද කප්පාදු වු ප්‍රතිපාදන ප්‍රමාණයකි. එසේ හෙයින් ප්‍රතිපාදන ප්‍රමාණාත්මක පමණක් ගණන් බැලීම රජය කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වභාවික මරණයක් කරා ගෙන යාමටද යන්න ප්‍රශ්නාර්ථයක් නංවයි.

විදේශ ශිෂ්‍යයන් සඳහා වන කෝටාව

ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදී එහි ඉහළ දක්ෂතා පෙන්වන ශිෂ්‍යයන්ට ඇතැම් විදේශ රටවලින් ශිෂ්‍යත්ව ලබාගත හැක.ඒ එම ශිෂ්‍යන්ගේ අධ්‍යාපනික සුදුසුකම් වලට සධාරණයකි. (රටේ බුද්ධි ගලනයට ප්‍රශ්නයකි). ශ්‍රී ලංකාවේ ඉතාමත් දැඩි තරඟකාරී විභාගයක් ලෙස උසස් පෙළ ඉහළ ගුණාත්මකභාවයක් ඇත. නමුත් විදේශ රටවලින් මෙරටට ගෙන්වන ශිෂ්‍යයන් අප රටට‍ පැමිණෙන්නේ එම මට්ටමේම ඇති විභාග ක්‍රමයකින්ද, එය අප රටට ප්‍රති බුද්ධිගලනයක් සිදුකිරීමට හැකිද, යන්න විමසා බැලිය යුතුය.මෙම ප්‍රශ්න වලට බලධාරීන්ට නිසි පිළිතුරු නොමැත. සියළුම ශිෂ්‍යයන් පැමිණෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා යැයි පැවසීම වගකීම් විරහිතභාවය මනාව පෙන්නුම් කිරීමක් මෙන්ම මෙවැනි ප්‍රතිපත්ති කගේ උවමනාවක්ද, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවකට ලක්කිරීමක් ද , රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති වල තත්වය කුමක්ද යන්න සියලු දෙනාටම දැනෙන කාරණයකි. ඒ සඳහා යෝග්‍ය බුද්ධිමට්ටමකින් යුත් ශිෂ්‍යයන් පැමිණෙන්නේනම් අපට ප්‍රශ්නයක් නැත. නමුත් එයින් අහිමිවන්නේ අප රටෙහි ශිෂ්‍යයෙකුගේ අවස්ථාවක් නම් මෙම අසහනය ඇතිකරන්නේ කුමන අරමුණු ඇතිවද යන්න ගැටලුවකි.මෙම ස්වභාවික මරණයක සේයාවක් අප තුළ ජනිත වුවද එහි ඝාතකයන් නිර්මාණය කරන තත්වයක් අද දැකිය හැක.එහි ඝාතකයන් වීමට ශිෂ්‍යයන් වන අපටත්, ආචාර්යවරුන්ටත්, අනධ්‍යයන සේවකයන්ටත් පිඹුරුපත් සකසන්නන්ගේ පිහිටෙන්ම හැකිවනු ඇත. 3% ක් ලබා දී ඇති විදේශ කෝටාව සම්පුර්න කර නැතත් තවත් වැඩි කරමින් එය 5% ක් දක්වා ඉහළ දමන්නේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ඇති අවස්ථාවන් තවත් හකුලවමින්ය. අප රටෙහි ශිෂ්‍යයන්ට ලැබිය යුතු නිසි අවස්ථාවන් ලබා දෙමින් කප්පාදුවකින් තොරව සිදු කල යුතු වුවත් එය එසේ සිදුවන්නේ නැත. මෙම කෝටාවද සියළු විශ්වවිද්‍යාලවලටද අයත් වේද? දැඩි ඉල්ලුමක් පවතින පාඨමාලාවන්ට පමණක් විදේශ ශිෂ්‍යයන් ඇතුළු වී ඇති අතර එවිට 5% ක කෝටාව සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගහණයට (21000) නොව පාඨමාලා ප්‍රමාණයට සලකා බැලූ විට විශාල ප්‍රතිශතයක් (20%) වනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් ප්‍රවර්ධනය කිරීමට අර අදින්නේ කුමන අරමුණුද යන්න පැහැදිලිය.මෙය පුන පුනා කිව යුතු තත්වයක් නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යම හෙයකින් හකුලා ගනු ලැබුවද වෙනත් මුහුණුවරකින් පනත් ගණනාවක්ම නැවත පැමිණෙනු ඇත. පනත් පමණක් නොව වෙනත් අර්බුධ රාශියක්ම වෙනත් මුහුණු ගණනාවකින්ම පැමිණෙනු ඇත. ඒ සියල්ලන්ගේම අරමුණු සෘජුව හෝ වක්‍රව එකක් බවට පත්වනු ඇත. කුමන ආකාරයේ මුහුණු පැමිණියත් එහි සැබෑ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.


විශේෂ ස්තුතිය : - K.M. සිරිසේන  - සභාපති , වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        S.P. ගමගේ          - භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        වසන්ත එදිරිසූරිය - ලේකම්, කාර්මික නිලධාරී සංගමය
අශෝක චන්දන    - ලේකම්, අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සංගමය

සාකච්ඡා කලේ :- චාමර මධුසංක, චතුර ගනීමුල්ල

සකස් කලේ :- MoraEunion වෙනුවෙන් චතුර ගනීමුල්ල.

Tuesday, July 26, 2011

දැනුවත්වන්න, පෙළගැසෙන්න


දේශපාලනය හා රට තුළ එදිනෙදා සිදුවන සිදුවීම් පිළිබඳ සංවේදී සමාජය තුළ  මේ දින වල කතා කෙරෙන මාතෘකා කිහිපයක් අතුරෙන් ප්‍රධාන මාතෘකාවක් වනුයේ සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් වර්ධනය පිළිබඳ පැන නැඟී ඇති ගැටළුකාරී තත්වයයි. ඉදිරියේයෙදී ඇති මැතිවරණයේ උණුසුම පවා යටපත් කරමින් කරළියට පැමිණ ඇති මෙම මාතෘකාව සමාජයට හා රටට අධික බලපෑමක් ඇති කරන මාතෘකාවක් වීම එහි ඉදිරි ආගමනයට හේතුවක් විය හැක.

කෙසේ නමුත් මාස දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ උත්තරයක් දීමට නොහැකිව එකතැන පල්වෙන මෙම අර්බුදය නිසා සමාජයට හා රටට සිදුවන හානිය හා පාඩුව පිළිබඳ කතා කිරීමට වචන නැති තරම්ය. ඉන් පාඩු ලබන ක්ෂේත්‍ර කිහිපයකි. එක් ක්ෂේත්‍රයක් වනුයේ සෘජුවම සරසවි ආචාර්යවරුන් හමුවේ අධ්‍යාපනය ලබන වත්මන් සරසවි සිසු ප්‍රජාවයි. අනෙක් කොටස වනුයේ විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වීමට වරම් පත් සිසු ප්‍රජාවයි. ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා  කල් ගතවී ඇති අතර විශ්වවිද්‍යාල වල මූලික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කඩාකප්පල් වීම නිසා වර්තමානයේ සරසවිය තුල සිටින සිසුන්ද දැඩි දුෂ්කරතා රාශියකට මුහුණ දී ඇත.

ඉහත කී වෘත්තීයමය ක්‍රියාමර්ගය නිසා සරසවි ඇදුරන් ඔවුන් දරන සියළු ස්වේච්ඡා කටයුතු වලින් හා ඉගැන්වීම් ක්‍රියාවලියෙන් ඉවත් වී ඇති අතර මෙම කරුණ පිළිබඳ සාමාන්‍ය ජනතාව සැලකිය යුතු දැනුවත් කමකින් සිටිය යුතු බව අපි තදින් විශ්වාස කරමු.

පසුගිය සමය තුළ පැවති කුරිරු යුද්ධය නිසා ඔවුන් වැටුප් වැඩිකර ගැනීමට අරගලයක් දියත් නොකලහ. නමුත් ජීවන වියදම ඉතා අධික ලෙස ඉහල යන හා යමින් පවතින මෙවැනි අවස්ථාවක එසේ ඔවුන් විසින් ඉල්ලනු ලබන ඉල්ලීම් අසාධාරණ එකක් යැයි කිව නොහැක. එයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාව වැනි තුන් වන ලොකයේ රටක බුද්ධිමතුන් යනු එම රටේ ආර්ථිකය ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට අදාල කොඳු නාරටියයි. එසේ රටට ඉතා වැදගත් බුද්ධිමතුන් දායාද කරනුයේ සරසවි ආචාර්යවරුන්ය. මේ නිසා එම ආචාර්යවරුන්ට රටේ හිමි විය යුතු ස්ථානය සුළු පටු නොවේ. එම නිසා මේ සියල්ල සලකා රජය විසින් සිදු කල යුතුව තිබුනේ ඔවුන් විසින් එසේ කරනු ලබන ඉල්ලීම් ඉටු කර දීමය. නමුත් වර්තමාන රජය එවැන්නකට වෙර දරන බවක් නම් නොපෙනේ.

මෙම අර්බුදය පිලිබඳ රජයේ සිටින වගකිවයුතු ඇමතිවරයෙක් ලෙස විමල් වීරවංශ ඇමතිවරයා වරෙක ප්‍රකාශ කලේ මේ අර්බුදය පිටුපස ඇත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවයි. සරසවිය හා එහි ආචාර්යවරුන්ට ජාත්‍යන්තර මැදිහත් වීමක් ආවේ කෙසේ දැයි යන්න අපට නම් මහා ගැටළුවකි. ආවානම් එයට වගකිව යුත්තේ ද ආණ්ඩුවයි. කර කියා ගත දෙයක් නොමැතිව එසේ කටට එන යමක් කියමින් මෙම ප්‍රශ්නයෙන් ලිස්සා යාමට ඔවුන් වෙර දරන බවක් නම් පෙනේ. තවත් වරක අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ඔවුන් කෙසේ හෝ සිදුකරනු ලබන බවයි. සරසවි ආචාර්යවරුන් නැතිව ඔවුන් එය සිදු කරන්නේ ත්‍රිවිධ හමුදාව මාර්ගයෙන් ද යන්න අමාත්‍යවරයාගෙන් ඇසිය යුතුව තිබේ. S.B. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නම් පවසන්නේ විශ්වවිද්‍යාල තුල සිටින්නේ ගංජා කාරයන් බවයි.

තවද දේශප්‍රේමී, දේශමාමක සීතාම්බර පටසළු පොරවාගෙන සිටින ඊනියා දේශප්‍රේමී ආණ්ඩුව මගින් තවත් අපූරු වැඩකට අතගසා තිබේ. ඒ මෙරට ඇති දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබමින් උසස් පෙළ සමත් ව විශ්ව විද්‍යාලයට වරම් ලැබිය යුතු අහිංසක දරුවන් 1000කගේ පමණ එම අයිතිය අහෝසි කරමින් ඒ වෙනුවට එම ඉඩකඩ තුල විදේශීය සිසුන් ගෙනැවිත් පිරවීමේ ව්‍යාපෘතියයි. එම සිසුන්ට මෙරට වෛද්‍ය උපාධිය රු. ලක්ෂ 65කට ද ඉංජිනේරු උපාධිය රු. ලක්ෂ 35කට ද අලෙවි කිරීමට දැන් සියලු කටයුතු සූදානම් ය. මෙරට සරසවි වරම් අහිමි වූ ඉහත සිසුන් 1000 ඇතුලුව තවත් සිසුන් ලක්ෂ ගණනක් මහ මඟ අනාථ කරමින් විදේශීය සිසුන්ට මෙරට අධ්‍යාපන වරම් දෙන්නේ කාගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නද? මෙය මෙම ලිපිය කියවන ඔබගේ හදවතට දැනිය යුතු කාරණයකි. මේ වෙන කිසිවක් නොව නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ආරම්භක පියවරයි. රාජපක්ෂ ජනාධිපති වරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් නිදහස් අධ්‍යාපනයට අත තබා හමාරය.

එසේ කටයුතු කරන ආණ්ඩුවට, සරසවි ඇදුරන්ට නම් දීමට මුදල් නොමැත. නමුත් S.B. දිසානායකට අමාත්‍යංශයේ මුදලින් ලක්ෂ තුන්සිය ගනණක ප්‍රාඩෝ රථයක් මිලදී ගැනීමට මුදල් ඇත. සරසවි සිසු නායකත්ව පුහුණු මගඩියට වියදම් කිරීමට රුපියල් කෝටි 20ක් භාණ්ඩාගාරයේ ඇත. අනෙක් අතට ටෙන්ඩර් පටිපාටියට පරිභාහිර ලෙසින් වංචනික ලෙස ගෙන්වන ලද ඉන්ධන වලින් කොමිස් ගසන රාජ්‍ය නිලධාරීන් ද, බාල පොහොර රටින් ලාබෙට ගෙන්වමින් මහජන මුදල් ගසාකමින් ඔවුන් ලෙඩ කරන රාජ්‍ය නිලධාරීන්ද ආණ්ඩුවේ සිටියි. ආණ්ඩුවට කල නොහැකි එකම දෙය වනුයේ සරසවි ආචාර්ය වැටුප් ප්‍රශ්නය විසඳීම පමණකි.

කරුණු මෙසේ වෙද්දී ජනතාව ලෙස ඔබට කිව යුතු එක් කාරණාවක් ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් කරමින්, සරසවි ආචාර්ය වරුන් පවා අපහසුතාවයට පත් කරමින් මේ යන්නේ ඔබේ දරුවාගේ, සහෝදරයාගේ, මිතුරාගේ අනාගතය සුඛිත මුදිත කිරීමේ ගමනක් නම් නොවේ. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයන කිරීම හා සරසවි වැටුප් අර්බුදය මගින් පාඩු ලබන්නේ දැන් සරසවිය තුල සිටිනා සිසුවා නොවේ. ඔහු කෙදිනක හෝ උපාධිය ලබාගෙන සරසවිය හැර යනු ඇත. නමුත් මේ දැනුවත් කිරීම ඔබ වෙනුවෙනි. ඔබේ දරුවාගේ, සහෝදරයාගේ, මිතුරාගේ අධ්‍යාපනය වෙනුවෙනි. නැතහොත් අනාගතයේ ඔබට සිදු වනුයේ ඔහු හෝ ඇය වෙනුවෙන් විවෘත කරන ලද බැංකු ගිණුමක රුපියල් කෝටි 2ක් පමණ ඉතිරි කර තැබීමටයි. ඒ අන් කිසිවකටත් නොව ඔහුට හෝ ඇයට උසස් අධ්‍යාපනය ලබා දීමටයි. එම නිසා මේ සිදු කරගෙන ය‍න නිදහස් අධ්‍යාපනය ඔබෙන් උදුරන ත්‍රස්තවාදයට එරෙහිව පෙළ ගැසෙන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව, යෝධ බල යෝධ වීර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
   

Saturday, July 23, 2011

මවකගේ ඇසින් දකිම්..........


දරුවා මෙලොව එළිය  දුටු දා සිට ම අප තුළ වු ආශාව වුයේ ඔහු/ඇය හොඳ පුරවැසියෙකු මෙන්ම ලොවට වැඩදායි පුද්ගලයෙකු ලෙස රටට භාර කිරීමයි. මෙසේ දරුවන්ගේ අනාගතය සවිමත් කරවීම යන ඒ පරමාර්ථය මුදුන්පත් කරගැනීම උදෙසා අපි බොහෝ වෙර දැරුවෙමු. විටෙක අපි අපේ නොයෙකුත් ආසාවන් ඒ වෙනුවෙන් යටපත් කරගත්තෙමු. තම දරුවෙකු විශ්වවිද්‍යාලය කරා යවන ඒ මාර්ගය එළිපෙහෙළි කිරීමට දෙමව්පියෝ විටෙක තම තරාතිරම ඇති හැකිකම ද අමතක කොට මහා ධනයක් වියදම් කරති. අතමිට සරු උසස් පැලන්තියේ අය හට මෙම වියදම එතරම් අපහසු නොවෙතත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා එහි ඉගෙනීමට යන දරුවන්ගේ දෙමව්පියන් බහුතරයක් ම විටෙක තමන්ට නොරුස්සනා තරමට දරුවන් වෙනුවෙන් වියදම් කරනා  මධ්‍යම පාන්තිකයෝ වෙති. කෙසේ වුවද මොවුන් සියල්ලෝම අසීමිත කැපවීම් කෙරුවෝ වෙති. එපමණක් නොව අධ්‍යාපනය හොඳින් හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන මාර්ගයේදී දෙමව්පියන්ට මෙම බරපැන උසුලනවාට අමතරව, දරුවන්ගේ සෙවනැල්ල වී නිරතුරුව ඔවුන් ගැන අවදියෙන් සිටීමට ද සිදුවේ. දෙමව්පියන්ගේ පමණක් නොව දරුවාගේද තිර අධිෂ්ඨානය මෙයට අත්‍යවශ්‍යම සාධකයකි. විශ්වවිද්‍යාලයට යන මේ අතලොස්සට ඇතුළත් වීමට ශිෂ්‍යයෝ ද දිවා රාත්‍රී නොබලා තම අධ්‍යන කටයුතු වල යෙදී මහා විශාල තරගයකට මුහුණ දෙති.

තම බලාපොරොත්තු මුදුන් පත් වී විශ්වවිද්‍යාලයට දරුවා ඇතුලු වන දිනයේ දී ඔවුහු ඉමහත් ප්‍රීතියෙන් රජවරු වෙති. දෙපාර්ශවයේම මහත් කැපවීමෙන් විශ්වවිද්‍යාලයට තේරී පත් වෙන දරුවා නියමිත කාල සීමාව තුළ තම උපාධියේ වැඩ කටයුතු හොදින් නිමකොට ගෞරවනීය පුද්ගලයෙකු ලෙස සමාජයට අවතීර්ණ වනු දැකීමට දෙපාර්ශවයම සිහින මවති. එහෙත් කුණාටුවක් සේ මේ ඇති වූ හදිසි තත්වය නිසා දෙමවුපියන් හා දරුවන් යන මේ දෙපිරිසම දරුණු මානසික පසුබෑමකට ලක්ව ඈත. විශ්වවිද්‍යාලයෙ ඉගැන්වීම් කටයුතු ඇණ හිටීමත් සමගම දරුවනට නිකරුණේ කල් මැරීමට සිදුව ඈත. මෙය ඉතා භයානක තත්වයක් මෙන් ම අනිසි ප්‍රශ්න බොහෝමයකට මුල පිරීමකි.

30 වසරක යුද්ධය නිමා කොට රට ආශ්චර්යක් කරා ගෙන යනවායි පවසන රජය දරුවන්ගේ හා දෙමවුපියන්ගේ ජීවිත පිළිබද කීසිදු වගකීමක් හෝ සැළකිල්ලක් නොදක්වා මෙම ප්‍රශ්නය හෑල්ලුවට ලක්කර ඇත්තේ මන්දැයි පුදුම සහගතය.

Thursday, July 14, 2011

අපි තාමත් උසස් පෙළ

                                     
                    “උසස් පෙළ පන්තිය කියන්නේ ජීවිතේ turning point එක“ බව සදහන් කරමින් තමයි උසස් පෙළ ගුරුවරුන් පාඩම් පටන් ගන්නේ. මේ කතාවේ බරපතලකම තේරුම් ගත්තු, ජීවිතේ වගකීම් ගැන හිතපු අය විභාගය සමත් වෙන්න වෙහෙස වුණේ කරන්න පුලුවන් හැම කැපකිරීමක්ම කරමින්. උසස් පෙළ පන්තියේ හිටපු අවුරුදු 2 ½ පුරාවටම පාන්දර 2-3 වෙනකම් නිදි මරාගෙන පාඩම් කරපු ඒ අයට තමන්ගේ නෑදෑ හිතමිතුරන් ගැනවත් අඩුම තරමේ තමන් ගැනවත් සැලකිල්ලක් නොදක්වා වැඩ කරන්න සිදු වුණේ සමාජශීලීත්වය ශූන්‍යත්වයට පත් කරගෙනයි. ඒ කෙසේ වුවත් උසස් පෙළ පන්තියේ ගුරුවරුන් සුරපුරයක් ලෙසින් පෙන්වා දුන් සරසවි සිහිනය සැබෑ කර ගන්න ඒ සිසුන් කරපු කැපවීම හැම කෙනෙක්ම කරන්නේ නෑ, හැම කෙනෙක්ටම කරන්නත් බෑ. තමන් දරපු වෙහෙසට සරිලන ප්‍රතිඵල ලබමින් සරසවි වරම් ලබන්න පුළුවන් උනෙ ටික දෙනාටයි.ඒ අතර අවශ්‍ය සුදුසුකම් සපුරා නැති අනෙක් අය එම බලාපොරොත්තුව අත්හැර දමා පුද්ගලික උපාධි පාඨමාලා හා වෙනත් විකල්ප වෙත යොමුවෙද්දි තවත් කොටසක් රටටත් සමාජයටත් බරක් බවට පත් වෙමින් ඉතුරු වෙනවා.

         පසුගිය ජුලි මාසය වනවිට 2009 අවුරුද්දෙ උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලැබූ ලංකාවේ දක්ෂතමයින් කණ්ඩායම විශ්වවිද්‍යාල සිසුන් බවට පත් වී වසරක් ගත වී අවසන්. රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉංජිනේරු පීඨ වල ඉගනුම ලබන සිසුන්ගේ තත්වය පවතින්නේ ඉතාම සෝචනීය මට්ටමක. පළමු වසර අවසන් වන විට නියමිත කාල සටහන් අනුව සමාසික (semester) 2ක් අවසන් වී තම විෂය ක්ෂේත්‍රය පිළිබද සිසුන් තුළ පැහැදිලි දැනුමක් වර්ධනය වී තිබිය යුතුයි. සම්මතය එසේ වුවත් රාජ්‍ය අවධානය කිසිදු ලෙසකින්වත් යොමු නොවූ සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රමුඛව සරසවි පද්ධතිය තුළ උද්ගතව ඇති ගැටලු රැසක් හේතුවෙන් පළමු වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ  දැනුම අදටත් පවතින්නේ උසස් පෙළදී නැවතුනු තැනමයි. තම කෙටි ජීවිත කාලයෙන් වසරක කාලයක් නිරපරාදේ නාස්ති කර ගැනීමට සිහිනෙකින්වත් නොපැතූ, මහත් කැප කිරීම් මතින් උසස් පෙළ සමත් වූ ඉංජිනේරු ශිෂ්‍යයෙකුගේ හා උසස් පෙළදී අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ජීවිතය කාලකණ්ණි කර ගත් පුද්ගලයෙකුගේත් ජීවිතවල වෙනසක් නොමැති තත්වයට පත් වීම වගකිව යුත්තන්ගේ අවධානය‍ට යොමු නොවීම පිළිකුල් සහගත කරුණක්.

                වර්තමානයේද ක්‍රියාත්මක පුද්ගලික විශ්වවිද්‍යාල වලින් පිට වන උපාධිධාරීන් මෙරට තුළ පවතින සීමිත රැකියා වෙළදපොළ ගිලගන්නා විට, බලධාරීන්ගේම වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් උපාධිය ලබා ගැනීමට මාස ගණනක් ප්‍රමාදව දේශීය විශ්වවිද්‍යාල වලින් පිට වන උපාධිධාරීන්ගේ ජීවිත වල වගකීම භාර ගන්නේ කවුරුන්ද? මෙම ගැටළුවේ බරපතලකම තවමත් වගකිව යුත්තන්ගේ ඇගට නොදැනීම හේතුවෙන්දෝ, ඔවුන් අත්තනෝමතික ජනප්‍රිය තීන්දු හරහා ප්‍රශ්න යට ගැසීමට යෑමෙන් මුළුමහත් විශ්වවිද්‍යාල පද්ධතියටම සිදු වන්නේ අනර්ථයක්ම පමණි. මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත් වීමට ඇති ප්‍රධාන බාධකය කහ පාට, කළු පාට කෙල්ලන් හා කොල්ලන් නොසිටීම නොව දේශීය වශයෙන් පර්යේෂණ නොකිරීම හා විදේශීය බුද්ධිමතුන්ගේ සේවය ලබා නොගැනීම බව නොවැටහෙන පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති පදවිය හෙබවීම ජාතියේම අවාසනාව නොවේද? 

              -කාලකන්නි මං-