Showing posts with label Private University Mess. Show all posts
Showing posts with label Private University Mess. Show all posts

Friday, February 17, 2012

විචාරශීලිව ඇත්ත දකිමු......


ගතවන මේ නිමේෂය වූ කලී ලාංකීය තෘතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිශය සුවිශේෂී කඩඉමක් බව නොකිවමනාය. 1948 කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ අප්‍රතිහත ප්‍රයත්නයක් ලෙස ඇරඹි නිදහස් අධ්‍යාපන සාර කෙතින් මුළු මහත් දිවයිනම විකසිතවුණු ඉතිහාසයක් අපට උරුමය. අද දින රට හමුවේ පවතින මෙම පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ක්‍රියාදාමය පිළිබඳව මතුපිටින් සිදුකරනු ලබන ඊනියා අතපතගෑමකින් එහාට ගිය පුළුල් හරයාත්මක සංවාදයක අවශ්‍යතාව එම ඉතිහාසය ඔබෙනුත් මගෙනුත් බලකර ඉල්ලා සිටින බව අතිශෝක්තියක් නොවන්නේ එබැවිනි.

ඔබත් මමත් දන්නා පරිදි ඕනෑම ප්‍රස්තුතයක් සර්වකාලීන හෝ සර්වභෞම තත්වයන්ට අනුව විග්‍රහකිරීම හෝ විසඳුමක් දීම සෛධාන්තිකකව විනා ප්‍රායෝගික තලයේදී සිදුකළ හැක්කක් නොවේ. මතුව ඇති තත්වය විග්‍රහ කිරීමේදී පවා බොහෝ දෙනා දැනුවත්ව හෝ නොදැනුවත්ව වරද්දා ගන්නා තැනක් බවට එය පත්ව තිබේ.ඒ වැරැද්ද හරහා ඇතම් විටක පරිකල්පන සීමාවෙන් ඉක්මවා ගිය, අනුභූතීන්ට භාජනය නොවූ සීමාවක් දක්වාම ඔවුන් මෙය විග්‍රහ කිරීමට කැන්ඳා ගෙන ගොස් ඇත. නමුත් මොරටුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප මෙම කාරණය ගැන කරන සාකච්ඡාව පවත්නා තත්ව හා රාමුව ගැන පුළුල් අවබෝධයක් හරහා සිදුකරනු ලැබූවකි.

ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය වූ කලී අද වනවිට අමාත්‍යාංශ ගණනාවක විෂය පථයට අයත් වන්නකි. ඒ අර්ථයෙන් බලූ කල රජය විශාල අවදානයක් අධ්‍යාපනයට යොමු කර ඇතැයි යමෙක්ට සිතෙනු පුළුවන. මෙවන් කාරණයක් හරහා බලාපොරොත්තුවන ඵලදායීතාව කෙසේ වෙතත් කිසිවකුත් වගකීමක් භාර නොගන්නා තත්වයකට පත්ව ඇති බවක් දැකගත හැකිය. මේ බෝල පාස් කරගැනීම මීට දින කිහිපයකට පෙරාතුව සිදු වූ උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව හරහා පැහැදිලිව දක්නට ලැබිණ. උසස් පෙළ ප්‍රතිඵල නිකුතුව මෙහිලා සාකච්ඡාවේ වැදගත්කම අප දකිනුයේ එය ලාංකීය  තෘතික අධ්‍යාපනයේ ප්‍රවේශ දොරටුව වන බැවිණි. යමෙකුට ප්‍රවේශ දොරටුව බිඳ වැටෙන තැන ඉන් එහා ලෝකයක් ගැන සිතීමත් මිරිගුවක් නොවන්නේද?

ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන සුපුරුදු ප්‍රමාදයෙන් එහාට ගිය දිග්ගැස්සුණු පමාවක් මෙවර දක්නට ලැබිණ. ඒ පිලිබඳ කරන විමසුමේදී බලධරයන්ගේ පිළිතුර වූයේ විෂය නිර්දේශ දෙකක සිසුන්ගේ z-score එකම අගයකට ගෙන ඒමට අවශ්‍ය “ජ්‍යාමිතික සූත්‍රය” තවම සකස් වී නොමැත කියාය. එය තිබුණේ නම් ප්‍රතිඵල හෙට වුවත් දිය හැකි යයි විටක කියවිණ. අවසානයේ ප්‍රමාදයේ වගකීම භාරවුණේ සූත්‍රයටය. සූත්‍රයත් විභාග කළ සිසුන් හැදිය යුත්තේ දැයි සිතෙන තරමට ප්‍රතිඵල ප්‍රමාද කරමින් දිගින් දිගටම සිසුන් අසහනයට පත් කෙරිණ. විෂය නිර්දේශ දෙකක සිසුන් විභාගයට මෙවර මුහුණ දෙන බවත්, එම දෙපිරිසටම එකම Z ලකුණක් දිය යුතු බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක අවශ්‍යතාවක් පවතින බවත් හඳුනාගත යුත්තේ මේ අවසාන නිමේෂයේද? මීට වසර ගණනාවකට පෙර මෙවන් තත්වයක් උද්ගතව තිබු බව හඳුනාගැනීමට අදාල බලධාරීන්ට නොහැකිවූයේ මන්ද? සතියක් ප්‍රමාද වී නිකුත් වූ ප්‍රතිඵලවල නිරවද්‍යතාව පිලිබඳ ගැටලුව මතුවන්නේ ඊළඟටය. රජය කුමකින් කුමක් පැවසුවත් රජයේ ඉතිරිව තිබු එකම විශ්වාසනීය ආයතනය වූ විභාග දෙපාර්තමේන්තුව තම විශ්වසනියත්වය නැමති සාධකය නිරුවත් කොට හමාරය. ඒ සාධකය තවමත් ඉතිරිව ඇත්නම් සොයාගොස් අපුල්ලා, නැවත පළඳා ගැනීමේ බැරෑරුම් අභියෝගය අද එම ආයතනය ඉදිරියේ ඉතිරිව ඇත. ප්‍රතිඵල කලට වෙලාවට නිවැරදිව ඉදිරිපත් නොවේ නම් වසර තුනක් පුරා දහසකුත් වේදනා විදිමින්, නිඳිවරමින්, රටට ලෝකයාට ණය වෙමින් උසස් පෙළ කිරීමේ ප්‍රතිඵලයක් ඇත්දැයි යන ප්‍රශ්නය අද ද්විතියික අධ්‍යාපනයෙහි හිණිපෙත්තට යන සිසුවා තුළ මතුව ඇත. මෙකී ප්‍රතිඵල හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය තීරණය වන සංදර්භයක මතුව ඇති තත්වයේ බරපතළකම වහ වහා රජය විසින් අවබෝධ කරගත යුතුව ඇත.

රජය මගින් මෑත කාලිනව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වෙත වෙන් කරමින් පවතින මුදල් ප්‍රමාණය පිලිබඳ දැවැන්ත ගැටළුවක් ඇත. වාර්ෂිකව වැඩි වැඩියෙන් මුල්‍යමය සහය අවශ්‍ය සංදර්භයක පසුගිය වසරේ මුදල් ප්‍රමාණයවත් ඊළඟ වසරට වෙන්කිරීමට උත්සුකව ඇති බවක් නොපෙනේ. වාර්ෂිකව වැඩිවන උද්ධමනය හමුවේ එම මුදල් ප්‍රමාණයෙන් සරසවි පද්ධතියේ නඩත්තු වලින් එහාට යාමට හැකි වේ නම් ඒ අහම්බයකින්ම පමණි.

මෙවන් ක්‍රමෝපායන් ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් (Knowledge Hub) කිරීමේ රජයේ ඊනියා අභිමතාර්ථ හා කෙසේ පෑහේදැයි අපට නොතේරේ.මේ මොහොත වන විටත් සරසවි පද්ධතියේ පීඨ ගණනාවක අත්‍යවශ්‍ය ගොඩනැඟිලි හිඟයක් පවත්නා බව නොරසකි. ප්‍රමාණවත් තරමට දේශනශාලා, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් නොදියුණු වූ අවස්ථා අනන්තවත් පෙන්වා දිය හැක. මේ අඩුපාඩු නැවත නැවත උදාහරණ ගෙන දැක්වීම අවශ්‍ය නොවන්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන් අකැඹුලක් සේ දන්නා බැවිනි. ඒවාට අවශ්‍ය තරමින් ප්‍රයෝගික තලයේ විසදුම් නොදෙන කළ දැනුවත්කමින් ඇති ඵලක් නොමැත. සංවර්ධන හා පර්යේෂණාත්මක කටයුතු සඳහා පවතින නොහැකියාව මත බොහෝ පීඨ වලට සිදුව ඇත්තේ මීට දශක ගණනාවකට ඉහතදී තිබුණු දැනුම, ක්‍රමවේද සිසුන්ට ඉගැන්වීමටය.නමුත් වසර 4 කින් වැඩ ලෝකයට පිවිසෙන උපාධිධරයාට අත්දැකීමට සිදුවන්නේ එම යල්පැනගිය ක්‍රමෝපායන් නොවේද?

මේ තත්වයන් වෙනස් වීමට දැන්වත් විසදුම් සෙවීමේ දැවැන්ත වගකීමක් රජය සතුය. අධ්‍යාපනයට වැයකරන මුදල වියදමක් නොව ආයෝජනයක් බව පසක් කරගත යුතුමය. දළ දේශීය නිෂ්පාදිතයේ 5’ ක අවමයකට යටත්ව අධ්‍යාපනයට මුදල් ආයෝජනය කිරීමට අප කටයුතු නොකරද්දී, ඒ පිළිගත් ජාත්‍යන්තර සම්මත නම රැදී, ලෝකමට්ටමින් අපට වඩා අන්ත දුගී දුප්පත් රටවල් අපට වඩා මිලියන ගණනකින් මුදල් වෙන්කරන්නේ එය ආයෝජනයක් බව වටහා ගැනීමෙනි. රජය විසින් සිදුකරනු ලබන පුහු මාධ්‍ය සංදර්ශනාත්මක වැඩසටහන්, අතළොස්සගේ මන දොළ පිනවන, හරසුන් ව්‍යපෘති වලට කරනු ලබන බිලියන ගණන් ආයෝජන රාජ්‍ය සරසවි වලට කළ නොහැක්කේ මන්දැයි අපට නොතේරේ. රජය විසින් මෙම තත්ත්ව හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියම් යෙදිය යුතුය.

විටෙක රජය විසින් නිර්ලජ්ජිත මඩ ප්‍රහාර එක පිට එක එල්ල කළද විශ්වවිද්‍යාල පද්ධතියේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයයි.අද වන විට සමස්ථ සරසවි පද්ධතියටම අඩු ගුරු හිඟයකින් පිඩාවට පත්ව හමාරය.ඇතැම් පීඨවල අත්‍යවශ්‍ය අවම ප්‍රමාණයවත් නොමැතිකමින් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇත. තව තවත් ආචාර්යවරුන් කැන්දාගෙන එම වෙනුවට ඉතිරිව සිටින ආචාර්යවරුන්ටත් පල නොකියා පළා බෙදන අයුරක් දක්නට ඇත. ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට මේ දක්වා ස්ථිරසාර පිළියමක් ලැබී නැත. විදේශගත වීම හරහා වඩාත් සුඛිත මුදිත දිවිපෙහෙතක් ලැබිය හැකිවුවද ඔවුන් එම පහසු තීරණයට යනු වෙනුවට ලක් මවට සේවය කිරීමට අභිලාෂයෙනි. නමුත් ඔවුනට හිමි නිසි ගරුත්වය ලබා දීම රජයේ මුලිකම වගකීමකි. ඔවුන්ට පර්යේෂණ සඳහා , වැඩිපුර අධ්‍යනයට තිබු කාලය පවා අද මුදල් ඉපයීමට වෙන්කිරීමට ඔවුනට බලකර ඇත්නම් ඉන එහාට කවර නම් කතාවක්ද? මෙම තත්වය වහවහා වෙනස්ව ගොසින් කතාවෙන් ක්‍රියාවෙන් ඔවුනට නිසි ගරුත්වය ලබාදෙන වටපිටාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය.

අද වන විට රැකියා විරහිත උපාධිධරයන් ගණන 45,000  ක් දක්වා වැඩිව ඇත. එක වසර සිට සරසවියේ සිව්වැනි වසර තෙක් නිදහස් අධ්‍යාපනය ලබා දී රැකියාවක්ද රජය විසින් ලබා දිය යුතු යැයි අපි විශ්වාස නොකරන්නෙමු. නමුත් උපාධිධරයන් මෙතරම් ප්‍රමාණයක් රැකියා විරහිතව සිටීම හරහා පවත්නා විෂය නිර්දේශය හා උපාධියේ සැකැස්ම කොතරම් දුරට පවත්නා සමාජ ආර්ථික තත්ත්වයට ගැලපේදැයි විචාරශීලිව විමසීම අත්‍යවශ්‍යයෙන් සිදුවිය යුත්තකි. විශ්වීය නව ප්‍රවණතාවන්ට අනුකුලව එමෙන්ම ලාංකීය මුද්‍රාව සහිතව විෂය නිර්දේශ නිරන්තරයෙන් යාමත් කාලින කළයුතුය. මේ ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනුම උද්ගතව ඇති ප්‍රශ්න අතරින් අතලොස්සක් පමණි. පෞද්ගලික විශ්වවිද්‍යාල පණත කඩිමුඩියේ ගෙන ඒමට පෙරාතුව නැවත නැවත මෙම කරුණු විශ්ලේෂණාත්මක විමසා බලා කල්යල් නොයහම නිසි පිළිතුරු ලබාදීම කළ යුතුමය.

පංචාල් අබේසිංහ.

Wednesday, January 25, 2012

විශ්වවිද්‍යාල අර්බුධයේ තවත් පැතිකඩක්, අනධ්‍යයන වෘත්තීය සමිති ක්‍රියාදාමය සහ එහි පසුබිම



රාජ්‍ය විශ්වවිද්‍යාල ඉතිහාසය පුරාවටම විවිධ හැලහැප්පීම්, අර්බුධ හමුවේ ඒවාට මුහුණ දෙමින් විකාශණයවු අතර මෑත කාලීනව අර්බුධ රාශියකට එකවර මුහුණපෑමට සිදුවීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උණුසුම් වතාවරණයක් පැනනගින්නට විය. පැහැදිලි කරගත යුතු තත්වයන් වන්නේ මෙම අර්බුධ කිසිවක් එකවර පැන නැගුණු ඒවා නොවන නිසාය. මෙම ගැටළුකාරී තත්වයන් දිගු කාලයක් තුළ සංවාදයට බඳුන් වී තිබුනත් නිසි විසඳුම් නොලැබීම නිසා අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය ඒ හරහා අපැහැදිලි චිත්‍රයක සේයාවක් මවමින් තිබේ. වර්තමානයේ විශ්වවිද්‍යාල තුළ ඉතාමත් කතාබහට ලක්වු ආන්දෝලනාත්මක අර්බුධයක් ලෙසින් අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් අර්බුධය හැඳින්විය හැක. මෙම අර්බුධය සාකච්ඡාවට බඳුන් කල යුතු වන්නේ එම අර්බුධය හමුවේ විශ්වවිද්‍යාල කටයුතු බොහෝමයක් වරින්වර ඇනහිටීම් වලට ලක්වූ අතරම එවැනි තත්වයන්, විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවය කෙරෙහි කෙසේ බලපා ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තවමත් නිවැරදි වැටහීමක් නැති හෙයිනි. අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනයකදී පමණක් සමාජය හා බහුතර විශ්වවිද්‍යාල ජනතාව සොයාබලන ඔවුන්ගේ කාර්යභාරය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේද යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙසින් විමසා බැලීම, විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගත සුරක්ෂිතභාවය සොයන බොහෝදෙනෙකුට වැදගත් වේ.

අනධ්‍යයන සේවකයන් විශ්වවිද්‍යාල පද්ධතිය හා නිරතුරුව බැඳී පවතී. ශිෂ්‍යන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන්ගේ සහය නිරතුරුව හිමිවේ. ඔවුන්ගේ වැඩ මුරය වන්නේ පැය 8 ක කාලයකි (8 - 4). නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප දන්නා කාරණයක් නම් ඇතැම් ප්‍රයෝගික පරීක්ෂණ සවස 6.00, 7.30 දක්වා පමණ දීර්ඝ වන අවස්ථා ඇත. එමෙන්ම විද්‍යාගාර නඩත්තු කිරීම, පිරිසිදු කිරීම්, සැපයීම් කටයුතු සියල්ල සිදුවන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලය හරහාය.  ගොඩනැගිලි, දේශනශාලා විවෘත කිරීම,පරීක්ෂණ කටයුතු ආදී ආචාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවටද දැනෙන බොහෝ ක්‍රියාකාරකම් රාශියකට සෘජුවම මෙන්ම වක්‍රවද අනධ්‍යයන කාර්යමණ්ඩල සම්බන්ධ වේ. සුළු කාල පරිච්චේදයක් අනධ්‍යයන සේවකයන්ගේ සහාය රහිතව පවත්වාගෙන යාහැකි වුවද එය දීර්ඝ කාලින නොවේ. යම් හෙයකින් පරිපාලන නිලධාරින්ද ඒ සමග ඒකාබද්ධ වුවොත් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම අකර්මන්‍ය වනු ඇත. විභාග කටයුතු, බඳවා ගැනීම්, සියල්ලම අඩපණ වනු ඇත. මෙය විශ්වවිද්‍යාලයේ සියලුම කටයුතු වලට දැඩිව බලපාන අර්බුධයක් වන්නේ මේ හෙයිනි.

අනධ්‍යයන සේවකයන් ලෙස ප්‍රචලිත මෙම කොට්ඨාශය කුමන සංයුතියක්‌ තුළින් නිර්මාණය වීද යන්න ප්‍රථමයෙන් විමසා බලමු. අනධ්‍යයන සේවකයන් ඔවුන්ගේ තනතුරු හා ශ්‍රේණි මට්ටමින් වු වෘත්තීය සමිති හා සංගම් තුළින් නියෝජනය වුවකි. මේ අනුව සමස්ථ අනධ්‍යයන සේවක පිරිස නියෝජනය වන්නේ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අධ්‍යයන සහයක සංගමය, විශ්වවිද්‍යාල කාර්මික නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ලිපිකාර සේවා සංගමය, විද්‍යාගාර සහයක සංගමය ආදී වශයෙන් වු බොහෝමයක් සංගම් ඒකරාශී වීම තුළය. ඔවුන්ගේ ඇතිවී තිබෙන වැටුප් අර්බුධය නිසා වෙන්වු වෙන්වු ශ්‍රේණි නියෝජනය කරමින් පවත්නා වු වෘත්තීය සංගම් තම තමන්ගේ න්‍යාය පත්‍රය පසෙකාලමින් පොදු අරමුණක් සඳහා ඒකරාශී වී ඇත. ඒ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙනි. මෙහිදී පෙර අවස්ථාවලදී නොවු පරිපාලන නිලධාරීන්ගේ හා අධ්‍යයන සහයක සංගම්ද මෙම අවස්ථාවේදි සමස්ථ පොදු අරමුණ වෙනුවෙන් කැපවීමක් දැක්වීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් වෘත්තීමය වශයෙන් ශක්තිමත් වීමකි.

දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන මෙම වැටුප් අර්බුධය අවසන් වෘත්තීමය ක්‍රියාමාර්ගය තෙක්ම දිග් ගැස්සීමට ලක්වූ අතර මෙම අර්බුධකාරී වාතාවරණය කෙසේ ඇතිවුවක්ද යන්න දැනගත යුතු කාරණයකි. මුලික වශයෙන්ම මෙහිදී ඇතිවී තිබෙන්නේ වටුප් විෂමතාව පිලිබඳ ගැටලුවකි. රාජ්‍ය සේවය හා විශ්වවිද්‍යාල සේවා (අධ්‍යයන / අනධ්‍යයන) සැලකු විට විශ්වවිද්‍යාල සේවා වල වැටුප් තල ඉදිරියෙන් පැවතිය යුතුය. සම්මතයක් වශයෙන් විශ්වවිද්‍යාල සේවා පමණක් නොව සංස්ථා මණ්ඩල ආදී ආයතනවලද වැටුප් තල රාජ්‍ය අංශයකට වඩා 33% ක් ඉදිරියෙන් පැවතිය යුතුය. ඊට සාධාරණ වු හේතු ගණනාවක් දැකිය හැක. මුලිකව විශ්වවිද්‍යාල සේවා සඳහා බදවා ගැනීම් සිදුකිරීමේදී රාජ්‍ය අංශයේ සේවා වලට වඩා වැඩි අධ්‍යාපන සුදුසුකම් හා පලපුරුද්ද සලකා බලයි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට රජය විසින් ලබාදී ඇති විශ්‍රාම වැටුප්, අග්‍රහාර රක්ෂණය, නිවාස ණය (4.5% පස් අවුරුදු, දස අවුරුදු) ආදී වරප්‍රසාද රැසක් විශ්වවිද්‍යාල සේවා වලට නොලැබෙයි. ඔවුන්ගේ ඇත්තේ ඔවුන් විසින්ම දායකත්වය ලබාදී පවත්වාගෙන යන විශ්‍රාම වටුප් ක්‍රමයක් හා අග්‍රහාර රක්ෂණ අරමුදලක් පමණි. මෙවැනි තත්වයක් තුළ වැටුප් සංශෝධන ගණනාවකට පසුව අවසන් වරට 06-2006 චක්‍රලේඛණය (2006 ජුනි මස) මඟින් සිදු කරන ලද වැටුප් සංශෝධනය මඟින් රාජ්‍ය සේවාවල හා විශ්වවිද්‍යාල සේවාවල වැටුප් තල සමාන කර ඇත. මෙම වැටුප් තලයන් සමාන වුවත් රාජ්‍ය අංශයකට හිමි වරප්‍රසාද කිසිවක් විශ්වවිද්‍යාල සේවාවලට හිමිවන්නේ නැත. උදාහරණයක්‌ ලෙස සඳහන් කළහොත් ජෙයෂ්ඨ මහාචාර්යවරයාගේ හා දිස්ත්‍රික් ලේකම්වරයාගේ/ අමාත්‍යංශ ලේකම්වරයාගේ වැටුප් තල සමාන කර ඇත. එතැනින් ආරම්භකර ඉන් පහලට වු ශ්‍රේණි හා වැටුප් තල සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම ක්‍රියාකර ඇත.නමුත් මෙහිදී විශ්වවිද්‍යාල සේවකයන් ඉල්ලා සිටින්නේ තමන්ටද ඉහත වරප්‍රසාද ලබා දෙන මෙන් නොව තමන් මුලින් පිහිටා තිබු වැටුප් තල වලම පිහිටුවනු ලෙසය. එලෙසම වාර්ෂික වර්ධක ලබාදීමේදී එය මුලික වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස ගණන් බලයි.නමුත් අදාල ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක මොවුන්ව පිහිටුවා ඇත. මෙම විෂමතා සියල්ල පාහේ වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාවට විස්තරාත්මකව පැහැදිලි කරදී ඇතත් මෙම විෂමතා ඉවත් කිරීමට කොමිෂන් සභාව මෙතෙක් සමත් වී නැත.

මෙහිදී නැවතත් සඳහන් කළයුතු කරුණක් වන්නේ විශ්වවිද්‍යාල සේවක පිරිස් ඉල්ලා සිටින්නේ වැටුප් වැඩිවීමක් නොව මන්ද යත් වැටුප් හා සේවක සංඛ්‍යා පිලිබඳ කොමිෂන් සභාව මඟින් අනුමත කරන ජාතික වැටුප් වැඩිවීම් නොතකා එලෙස වැටුප් වැඩිවීම්  සිදුකිරීමට නොහැකි බව ප්‍රයෝගික තත්වයක් ලෙස වටහා ගත යුතු නිසාය. නමුත් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග වල ඔවුන් තවදුරටත් නිරතව ඇත්තේ එහි ඇති විෂමතා මෙන්ම වැටුප් විකෘතිතා ද බොහොමයක් නිසා අසාධාරණයට ලක්වී ඇති හෙයිනි. විශ්වවිද්‍යාල සේවා සැලකීමේදී අනධ්‍යයන සේවකයන්ගේ හා වැටුප් තලයට ඉහළින් පිහිටන ඉදිරි වැටුප් තලය වන්නේ අධ්‍යයන සේවකයන්ගේ වැටුප් තලයයි.මෙම වැටුප් වැඩිවීම් සිදුවිය යුත්තේ දෙපාර්ශවයටම සම්මත පරතරයකින් යුතුව සමගාමීවය. මේ සඳහා නිර්දේශිත අනුපාතයක්  සහිත වැටුප් වක්‍රයක් පවතී. නමුත් පසුගිය දශකය තුළ අධ්‍යයන කාර්යමණ්ඩල වලට විශාල වශයෙන් වැටුප් වැඩිවීම් ලබාදුන් අතර ඊට සමගාමිව අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම් ලබා නොදීම තුළ වැටුප් මට්ටම් අතර තිබිය යුතු අනුපාතය හා සුමට වක්‍රය බිඳ වැටීම සිදුවිය. එලෙසම මෙහි ඇති විෂමතාවයන්ට එක් උදාහරණයක්‌ කිවහොත් අධ්‍යයන කාර්යමණ්ඩලයේ මහාචාර්යවරයාගේ වැටුප් තලය හා අනධ්‍යයන කාර්යමණ්ඩලයේ ඉහළම නිළධාරියා වන ලේඛකාධිකාරීවරයාගේ වැටුප් තල එකම මට්ටමක පැවතිය යුතුය. නමුත් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමේදී පුස්තකලාධිපතිගේ වැටුපද ඊට සමගාමිව වැඩිවු නමුත් පුස්තකලාධිපති වගකිව යුතු නිලධාරියා වන්නේ ලේඛකාධිකාරීය. නමුත් ලේඛකාධිකාරීගේ වැටුප් තල අභිබවා යමින් පුස්තකලාධිපතිගේ වැටුප් තලය පිහිටුවා ඇත. මෙවැනි වැටුප් තල අතර තිබිය යුතු පරතර නැති කරමින් විකෘතිතා බොහොමයක් මෙහි දැකිය හැක.(මෙවැනි විෂමතා වැටුප් ශ්‍රේණි අතර රාජ්‍ය අංශයේ නිලධාරීන්ට සිදුවී ඇති අතර ඇතැම් සේවා ඒකාබද්ධ කිරීම් තුලින් සිදුවු විෂමතාවන්ට එරෙහිව මේ වන විට නීති මඟින් කටයුතු කරමින්ද පවතී. රාජ්‍ය සේවකයන්ගේ සේවා ව්‍යවස්ථා කිසිවක් නොතකා කතයුතු කිරීම නිසා මෙවැනි විෂමතා රාශියක් පන නැගී ඇත. ඇතැම් විට මෙය ජාතික අර්බුධයක් ලෙසද හඳුන්වා දිය හැකි නමුත් අප මෙහිදී සලකා බලනුයේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි ලා ඇති වන බලපෑම්ය.)

පෞද්ගලික විශ්වවිද්‍යාල

උසස් පෙළ අධ්‍යාපනය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට බොහොමයක් ශිෂ්‍ය ප්‍රජාව සුදුසුකම් ලැබුවත් සීමිත සම්පත් හා තරඟකාරිභාවය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට ඇතුල්වීමේ හැකියාව ලැබී ඇත්තේ සීමිත පිරිසකටය. එය ඔවුන් ලැබු වරප්‍රසාදයක් මෙන්ම වගකීමක්ද වන්නේය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන ශිෂ්‍ය ප්‍රජාවට තම අනාගත සුරක්‍ෂිතභාවය වෙනුවෙන් උසස් අධ්‍යාපනික වරම් හෝ වෙනයම් වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් මතුව ඇත.නමුත් එය විදේශ/ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන්ම පමණක් පිළිතුරු සොයා ගත හැකි ප්‍රශ්නයක්ද යන්න විමසාබැලිය යුතුය. දිනෙන් දින ඉහළ යන විරැකියාව ඊටම බද්ධ වූ දේශපාලන ඇඟිලි ගැසීම් හා රැකියා ලබාදීමේ කළුකඩ ව්‍යාපාර හා ‘පස්සා දොරෙහි’ දේශපාලනය හමුවේ ‘උපාධි කඩ’ ඇතිකිරීමෙන් පිළිතුරු ලබාගත හැකිද? අල්ප වු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පවතින්නාවු ඉහළ ධනවත් පන්තිය හෝ බහුතර මධ්‍යම පන්තිය හා පහළ දිළිඳු පන්තිය හෝ වෙනත් ආසියාතික රටවල ශිෂ්‍යයන් එම පෞද්ගලික විශ්වවිද්‍යාල තුළට ආකර්ෂණය කරගැනීමට අදහස් කරන්නේ නම එහි ඇති සක්‍යතාවය කුමක්ද යන්න සලකා බැලිය යුතුය.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළහොත් ඒ සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට හෝ වැටුප් අර්බුධ / විෂමතා වලින් හෙම්බත් වී සීමිත එම සේවකයන් ඒ සඳහා යොමුකරවා ගැනීමට ප්‍රයත්නයක් ඇතිවිය හැක. නමුත් මෙහිදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ වටිනා මෙහෙයක් සිදුකරන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටසක් වන ඔවුන්ගේ මතය පැසසීමට ලක් කල යුතුය. විචාරශීලිව ‘ලොකු ගොඩ’(මුදල්මය) බලා දුවන පිරිසක් නොවන බව රට හා එහි අනාගත අභිවෘද්ධිය කෙරෙහි සංවේදී වන තවත් පිරිසක් වන බව මෙහිදී සඳහන් කල යුතුය.

විශ්වවිද්‍යාල සඳහා වන පෞද්ගලික ආරක්‍ෂක අංශය හා නායකත්ව පුහුණුව.

රාජ්‍ය ටෙන්ඩර් පටිපාටිය කුමක් වුවත් රජයේ ටෙන්ඩර ප්‍රතිපත්ති කුමක් වුවත් ටෙන්ඩර අතරමඟ නවතා නව පෞද්ගලික ආරක්‍ෂක අංශයකට විශ්වවිද්‍යාල පද්ධතිය භාරදී ඇත.මුහුණු වෙනස් නොවුනත් නිල ඇඳුම පමණක් වෙනස් කරමින් ආරක්‍ෂාවට පෙරට වඩා තුන් ගුණයක් පමණ වියදම් කරමින් එකම සේවය වෙනස් ප්‍රධානින් තුලින් ඉටුවීම ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරන්නකි. මෙම මුදල්ද වෙන්වන්නේ රටේ උසස් අධ්‍යාපන වැය තිරයටය. නමුත් ගුණාත්මකභාවයන් රහිත ඇතිවන මෙම තත්ව නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්වය තවත් පල්ලම් බසිනු ඇත.කලින් පවතී ආරක්‍ෂක අංශවල යම අඩුපාඩු හා චෝදනා රාශියක් තිබුනද නව ආරක්‍ෂක අංශයකට එය පැවරීම තුළින්ම පමණක් එම ප්‍රශ්න විසදී නැත. ඒ සඳහා බලධාරීන් ගත් ක්‍රියාමාර්ග උසස් අධ්‍යාපන වැයතිරයකට තවත් බරක් වුවා පමණක් නොව තව අර්බුධ ද රාශියක් ඇතිකර ඇත. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව, මෙහිදී සඳහන් කල යුතු වැදගත්ම කාරණයක් වන්නේ විශ්විද්‍යාල ප්‍රජාව ලෙස ශිෂ්‍ය, අධ්‍යයන, අනධ්‍යයන ආදී සෑම කොට්ඨාශයක්ම දැඩි මර්දනකාරී ක්‍රියා පටිපාටියකට දැනුවත්ව හෝ නොදැනුවත්ව ලක්කර ඇති බවයි. කිසිදු අවසරයකින් තොරව හමුදා පාලනයක ලක්‍ෂණ ගැන අසන්නට ලැබුණත් ඒ පිළිබඳව ඉදිරිපත් වන්නට මැලිකමක් දක්වන්නේද මෙම මර්ධනයේම ක්‍රියා පිළිවෙල නිසාය. නායකත්ව පුහුණුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන්ගේ නායකත්වය හා විනය වැඩිදියුණු කිරීමටය. නමුත් එසේ එවන ලද පළමු කණ්ඩායම තුළින්ම එහි බොළඳ බව මනාව පැහැදිළි විය.ඔවුන් ඇතුල් වුයේද කලින් පවති විශ්වවිද්‍යාල පද්ධතිය තුළට මිස නායකත්ව පුහුණුවලද කඳවුරු තුළට නොවේ. ශිෂ්‍යන් අතර ඇතිවිය යුතු අන්තර් සබදතා සියල්ල සුනුවිසුනු කිරීමට එයට හැකිවන්නේ නැත. විශ්වවිද්‍යාල තුළට ඔත්තුකරුවන් රිංගවීම වැනි පහත් ක්‍රියාමඟින් විනය නිර්මාණය කල හැකිද යන්න තේරුම් ගත යුතු තත්වයකි. මිලියන ගණනින් හැඩවන මෙවැනි ව්‍යාපෘති සඳහා උසස් අධ්‍යාපනයට හිමි මුදල් ප්‍රමාණයම වැය වනවා නම් වැටුප් අර්බුධ, නේවාසිකාගාර ප්‍රශ්න, නඩත්තු සේවා, ආපනශාලා තත්වය හා ගුණාත්මකභාවය වෙනුවෙන් මෙන්ම පාඨමාලා ගුණාත්මකභාවය ගැනද විමසා බැලිය යුතුය. එසේ ගණන් බැලු කල, මහබැංකු වාර්තා කුමක් වුවත් ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියට පැමිණෙන්නේද කප්පාදු වු ප්‍රතිපාදන ප්‍රමාණයකි. එසේ හෙයින් ප්‍රතිපාදන ප්‍රමාණාත්මක පමණක් ගණන් බැලීම රජය කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ස්වභාවික මරණයක් කරා ගෙන යාමටද යන්න ප්‍රශ්නාර්ථයක් නංවයි.

විදේශ ශිෂ්‍යයන් සඳහා වන කෝටාව

ශ්‍රී ලංකාවේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදී එහි ඉහළ දක්ෂතා පෙන්වන ශිෂ්‍යයන්ට ඇතැම් විදේශ රටවලින් ශිෂ්‍යත්ව ලබාගත හැක.ඒ එම ශිෂ්‍යන්ගේ අධ්‍යාපනික සුදුසුකම් වලට සධාරණයකි. (රටේ බුද්ධි ගලනයට ප්‍රශ්නයකි). ශ්‍රී ලංකාවේ ඉතාමත් දැඩි තරඟකාරී විභාගයක් ලෙස උසස් පෙළ ඉහළ ගුණාත්මකභාවයක් ඇත. නමුත් විදේශ රටවලින් මෙරටට ගෙන්වන ශිෂ්‍යයන් අප රටට‍ පැමිණෙන්නේ එම මට්ටමේම ඇති විභාග ක්‍රමයකින්ද, එය අප රටට ප්‍රති බුද්ධිගලනයක් සිදුකිරීමට හැකිද, යන්න විමසා බැලිය යුතුය.මෙම ප්‍රශ්න වලට බලධාරීන්ට නිසි පිළිතුරු නොමැත. සියළුම ශිෂ්‍යයන් පැමිණෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා යැයි පැවසීම වගකීම් විරහිතභාවය මනාව පෙන්නුම් කිරීමක් මෙන්ම මෙවැනි ප්‍රතිපත්ති කගේ උවමනාවක්ද, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය හෑල්ලුවකට ලක්කිරීමක් ද , රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති වල තත්වය කුමක්ද යන්න සියලු දෙනාටම දැනෙන කාරණයකි. ඒ සඳහා යෝග්‍ය බුද්ධිමට්ටමකින් යුත් ශිෂ්‍යයන් පැමිණෙන්නේනම් අපට ප්‍රශ්නයක් නැත. නමුත් එයින් අහිමිවන්නේ අප රටෙහි ශිෂ්‍යයෙකුගේ අවස්ථාවක් නම් මෙම අසහනය ඇතිකරන්නේ කුමන අරමුණු ඇතිවද යන්න ගැටලුවකි.මෙම ස්වභාවික මරණයක සේයාවක් අප තුළ ජනිත වුවද එහි ඝාතකයන් නිර්මාණය කරන තත්වයක් අද දැකිය හැක.එහි ඝාතකයන් වීමට ශිෂ්‍යයන් වන අපටත්, ආචාර්යවරුන්ටත්, අනධ්‍යයන සේවකයන්ටත් පිඹුරුපත් සකසන්නන්ගේ පිහිටෙන්ම හැකිවනු ඇත. 3% ක් ලබා දී ඇති විදේශ කෝටාව සම්පුර්න කර නැතත් තවත් වැඩි කරමින් එය 5% ක් දක්වා ඉහළ දමන්නේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවට ඇති අවස්ථාවන් තවත් හකුලවමින්ය. අප රටෙහි ශිෂ්‍යයන්ට ලැබිය යුතු නිසි අවස්ථාවන් ලබා දෙමින් කප්පාදුවකින් තොරව සිදු කල යුතු වුවත් එය එසේ සිදුවන්නේ නැත. මෙම කෝටාවද සියළු විශ්වවිද්‍යාලවලටද අයත් වේද? දැඩි ඉල්ලුමක් පවතින පාඨමාලාවන්ට පමණක් විදේශ ශිෂ්‍යයන් ඇතුළු වී ඇති අතර එවිට 5% ක කෝටාව සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගහණයට (21000) නොව පාඨමාලා ප්‍රමාණයට සලකා බැලූ විට විශාල ප්‍රතිශතයක් (20%) වනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් ප්‍රවර්ධනය කිරීමට අර අදින්නේ කුමන අරමුණුද යන්න පැහැදිලිය.මෙය පුන පුනා කිව යුතු තත්වයක් නොවේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යම හෙයකින් හකුලා ගනු ලැබුවද වෙනත් මුහුණුවරකින් පනත් ගණනාවක්ම නැවත පැමිණෙනු ඇත. පනත් පමණක් නොව වෙනත් අර්බුධ රාශියක්ම වෙනත් මුහුණු ගණනාවකින්ම පැමිණෙනු ඇත. ඒ සියල්ලන්ගේම අරමුණු සෘජුව හෝ වක්‍රව එකක් බවට පත්වනු ඇත. කුමන ආකාරයේ මුහුණු පැමිණියත් එහි සැබෑ ස්වභාවය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.


විශේෂ ස්තුතිය : - K.M. සිරිසේන  - සභාපති , වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        S.P. ගමගේ          - භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය
                        වසන්ත එදිරිසූරිය - ලේකම්, කාර්මික නිලධාරී සංගමය
අශෝක චන්දන    - ලේකම්, අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සංගමය

සාකච්ඡා කලේ :- චාමර මධුසංක, චතුර ගනීමුල්ල

සකස් කලේ :- MoraEunion වෙනුවෙන් චතුර ගනීමුල්ල.

Saturday, January 7, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇත්තටම එරෙහි විය යුතුද?


            ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු දෙනාටම අධ්‍යාපන අයිතිය සමාන ලෙස භුක්ති විදීමට වරම් හිමි වී තිබේ. මේ හේතු කොටගෙන දියුණු රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට අපට හැකිවී තිබේ. මෙසේ සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු නිදහස් අධ්‍යාපන ක්‍රමය රජය විසින් කළුකඩ මුදලාලිලාට විකිණීමට උත්සාහ දැරීම ඉතා භයානක තත්වයකි. සාරාංශව කිවහොත් අද වන විට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියලු දෙනාටම සමව භුක්ති විඳීමට ඇති නිදහස් අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම හරහා මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් බවට පත්කිරීමටය.

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි වන්නේ ඇයි?

·         සරසවි ආචාර්යවරුන් රාජ්‍ය සරසවි තුල රඳවා තබා ගත යුතු නිසා
            ඔබට මතක ඇති සරසවි ආචාර්යවරු තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය. නමුත් එයට අද වන තුරුත් සතුටුදායක වැටුප් වැඩිකිරීමක් ලැබී නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මෙලෙස අඩු වටුප් ලබන ආචාර්යවරුන්, වැඩි වැටුප් ලබාදෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇදී නොයනු ඇතැයි ඔබට තහවුරු කල හැකිද? උගත් ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉවත් වීම තුලින් ඒවායේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කාට නම් කිව හැකිද?

·         Z Score  දශමයක්, දෙකක් මදිවූ දක්ෂ සිසුන්ට මුදල් නැතිනම් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන නිසා
පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමේ එකම සුදුසුකම උපාධියකට නියම කර ඇති මිළ මිස Z Score  එක නොවේ. එසේනම් මුදල් ඇති සුළු පිරිසකට උපාධි ඕන තරම් වෙන්දේසි විම නුදුරු අනාගතයේදී ඇරඹේවි. මෙසේ උපාධිය මුදල් මත තීරණය කිරීම , Z Score  එක සුළුවශයෙන් මදිවූ දුප්පත් බහුතර ශිෂ්‍ය ප්‍රජාවට කරන්නාවූ බලවත් අසාධාරණයකි.

·         රටට අහිමිවන විදේශ විනිමය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම තුලින් අප රට තුල රඳවා තබා ගත නොහැකි වන නිසා
පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුලට ගොඩබසින්නේ ආයෝජන මණ්ඩලයෙන් (BOI) ලබාදෙන බදු සහන පදනම් කරගෙනය. තවද පෞද්ගලික විශ්වව්ද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජිකයින් සඳහා වැටුප් ආදී නොයෙකුත් ක්‍රම තුලින් විදේශ විනිමය පිට රටට ඇදීයාම නොවැලැක්වීය හැක්කකි. ආණ්ඩුව ඉදිරිපත්කරන ඉතාම පුහු තර්කයක් වන මෙයින් සිදුවන්නේ තවත් මුදල් පෙට්ටි පිටින් රට පටවන එක නොවේද?

විදේශ විශ්වවිද්‍යාල වලට ගොස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයින් නිසා අප රටට අහිමිවන විදේශ විනිමය වසරකට රුපියල් මිලියන 5 000කි. නමුත් වසරකට සීනි ආනයනය කිරීමට රුපියල් මිලියන 20 000 ක් ද, කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රුපියල් මිලියන 19 000 ක් ද, ටින් මාළු සඳහා රුපියල් මිලයන 15 000ක් ද, ආදී වශයෙන් රජය වැයකරන බව ඔබ දන්නෙහිද? මේ එකක් වත් නැවත්වීමට උත්සාහ නොකර අධ්‍යාපනයට අතපොවන්නේ ඇයි? උක්ත කර්මාන්ත සංවර්ධනයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර ගතහැකිව තිබියදීත් මෙලෙස අධ්‍යාපනය විකිණීමට දතකන්නේ කූට අරමුණක් නිසා නොවේද?

·         නිදහස් අධ්‍යාපනය යනු අපට නොමිලේ ලැබෙන දෙයක් නොවන නිසා
නිදහස් අධ්‍යාපනයට මුදල් යොදවන්නේ මේ රටේ ජනතාව විසින් රජයට ගෙවනු ලබන අති විශාල බදු මුදල් වලිනි. එම නිසා කොහෙත්ම නිදහස් අධ්‍යාපනය යනු නොමිලයේ ලැබෙන්නක් නොවේ. ඔබේ දෙමාපියන් ඇතුළු මේ රටේ සෑම පුරවැසියෙක්ම,අප ලබන්නාවූ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යම් මිලක් ගෙවා ඇත.

·         පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීම මගින් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර තරඟයක් ඇති නොවන නිසා
කෝටි ගණන් මුදල් හම්බකරන පෞද්ගලික විශ්වව්ද්‍යාලත්, නිරන්තර කප්පාදුවට ලක්වන රාජ්‍ය විශ්වවිද්‍යාලත්  අහසට පොලව වැනිය.

වසර
2006
2007
2008
2009
2010
උසස් අධ්‍යාපනයට වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස


0.452 %


0.384 %


0.348 %


0.329  %


0.305 %

ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි.  එසේනම් තවත් ඉදිරියට සිදුවන කප්පාදු හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල අනතුරේ නොවැටේ යයි තහවුරු කලහැක්කේ කාටද?

මේ අනුව ආණ්ඩුව කල යුත්තේ නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහල නංවා සරසවි බඳවාගැනීම් තවදුරටත් වැඩිකිරීමය.ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද පෞද්ගලීකරණය වී හමාරය. වර්තමානයේ ප්‍රවාහනයේ ඒකාධිකාරය හිමිව ඇත්තේ කාටද? “ශ්‍රී ලංගම” වැසී නැතත් රාජ්‍ය ප්‍රවාහනය දුර්වල බව නොදන්නේ කවුද? පෞද්ගලික රෝහල් ඇරඹෙන විට රජයේ රෝහල් වසා නොදමුවත් අද රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල් අතර පරතරය කෙතෙක්ද?

මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් මේ දෙයම විය නොහැකිද ? අද  A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ දමා මේ අර අදින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ( ‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981 රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමකි.

ප්‍රභාත් රෝමිත

Tuesday, January 3, 2012

ඔබත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රථිඵල භුක්ති විඳින්නෙක්ද?


1980 දශකයේ මහත් ආන්දෝලනයට  තුඩු දුන් පහත ගීතය මරා දැමුණු තම පුතුණුවන් වෙනුවෙන් මවකගේ සිතට නැගෙන සිතිවිලි ධාරාව හා මාතෘත්වයේ අර්ථය මොනවට පැහැදිලි කරන්නකි... එපමණක් නොව ලාංකීය තරුණයා සතු  නිර්භීතත්වය හා ආත්ම පරිත්‍යාගය මැනවින් විදහා පාන්නකි.

යධමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරුම යහළු යෙහිලියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතුණුවන්
එ ගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්

ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහා විරුවෙකි සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයට විශාරද නන්දා මාලිනියගේ මුවින් පිටවන උක්ත වදන් ලාංකීය නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට තම අමිල දිවි කුසුම පුද කල සිසු විරුවන්ට පිදෙන උපහාරයකි....
ඉතින් වර්තමානයේ අපට කරන්නට ඇත්තේ කුමක්ද?ඔවුන් රැක දුන් රුවන් කරඬුව තව දුරටත් ආරක්ෂා කිරීම පමණය.....

ප්‍රභාත් රෝමිත

Tuesday, December 27, 2011

දැනුවත්වන්න පෙළගැසෙන්න , මුහුණදෙමු අභියෝගයට ........


පෞද්ගලික විශ්ව විද්‍යාල භූමිකාව මෑතකදී අප ඉදිරිපිට රඟ දෙන්නට සමත් වන්නේ මහත් ආන්දෝලනාත්මක වටපිටාවක් ඇතිකරමින්ය. අයෙක් ඒ මත ‘ආශ්චර්යය’ මවන්නට උත්සාහ ගනියි. අයෙක් එය නිදහස් අධ්‍යාපනය බිලිගන්නා ‘යක්ෂයෙකු’ කරයි. අයෙක් ‘වර්ධනයද’ තවත් අයෙක් මර්ධනයද කතා කරයි. මෙය සටන් පාඨයක් වන්නට පටන් ගන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුලින් පැන ආ විරෝධය හා ඒ හා බැදුනු ඒකරාශී වීම් තුලය. මෑත අවධිය වන විට පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පය ව්‍යාප්ත වීම පිලිබදව රාජ්‍ය විශ්ව විද්‍යාල තුල අස්සක් මුල්ලක් නෑරම පැතිර ගොස්ය. ඊට රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විරෝධය දක්වන්නේ, එය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ හා නිදහස් අධ්‍යාපනයේ විනාශය ඒ තුලින් ජනිත වේ යැයි හෝ එම ප්‍රතිපත්ති විනාශය කරා ගෙන යයි යන අදහස් පෙරදැරිවය. රටේ ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවක් අ.පො.ස. උ. පෙල විභාගයට පෙනී සිට සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබුවත් සරසවි වරම් හිමි වන්නේ ඉතාමත් සීමිත පිරිසකටය. ඇතැම් ශිෂ්‍යයන්ට එම වරම අහිමි වන්නේ ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකිනි. නමුත් අප රටෙහි විශ්ව විද්‍යාල පාඨමාලා තුල ඇතැම් පාඨමාලා සදහා ලකුනකින් හෝ අඩු ලකුනු ප්‍රමාණයකින් සුදුසුකම් නොලබන ශිෂ්‍යයාට ඇතුලත් වීමට සිදුවන්නේ (තමන්ගේ රුචිකත්වය කෙසේ වෙතත් ) ඊට හාත්පසින්ම වෙනස් හෝ පාඨමාලා තත්වය පිලිබදව සෑහීමකට පත්විය නොහැකි පාඨමාලාවන් සදහාය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය තුල ඇති අඩුපාඩුද මේ සදහා බලපායි. කෙසේ හෝ මෙවැනි තත්වයක් තුල දක්ෂ බුද්ධිමත් බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි කොට්ඨාසයක් බවට පත්වේ. මොවුන්ට උසස් අධ්‍යාපනික වරම් ලැබීමට ඇති අයිතිය මෙන්ම රටේ බුද්ධි බලකාය තුලට හා සංවර්ධන ක්‍රියාවලිය තුලට මොවුන් යොමු කරවා ගැනීමේ වගකීමක් රජය සතුවේ. මෙවන් වටපිටාවක් තුල, මෙම ගැටළුව කොටස් 2කින් යුක්තව පිලිතුරු අපේක්ෂා කරයි. එකක් නම් එම ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියන්, තම අනාගතය සැලසුම් කිරීමට ගත යුතු පියවරයන්ය. අනෙක නම් මෙම ශිෂ්‍යයන් කෙරෙහි රජය දක්වන ක්‍රියා කලාපය හා වගකීම් සහගත ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවයය.

පලමු කාරනයේදී මෙම ශිෂ්‍ය ප්‍රජාව සතු විසදුම් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල හැරුනුකොට පවත්නා වෙනත් රාජ්‍ය උසස් අධ්‍යාපන අයතන වල අධ්‍යාපනය හැදෑරීම, දැනට තමන් සතු රැකියාවක නියුතු වීම, විදේශ රටක අධ්‍යාපනය හැදෑරීම හෝ වෙනත් විසදුම්ය. මෙහිදී අප මූලිකව කතා කල යුතු වන්නේ විදේශ අධ්‍යාපනය සදහා යොමු වන ශිෂ්‍ය ප්‍රජාව පිලිබදවයි. විදේශ රටක අධ්‍යාපනය ලබා ගැනීමේදී අප ඒ සදහා මුදල්මය වටිනාකමක් ලබා දිය යුතුය. ඒ සදහා විශාල බරපැනක් යෙදීමට ඔවුන්ගේ දෙමාපියන්ට සිදුවේ. ඔවුන් යොමුවන්නේ මුදල් ගෙවා ඉගෙනගන්නා විශ්ව විද්‍යාල හෝ වෙනත් ආයතන වලටය. ඒ තුල රටේ විශාල ධනස්කන්ධයක් විදේශ රට වලට වාර්ශිකව ඇදී යමින් පවතී. මෙම කාර්යය ශ්‍රී ලංකාව වැනි රටක සෑම අයෙකුටම දැරිය නොහැක. ආදයම් බෙදී යාමේ විෂමතාවයන් ඇති පරිසරයක් තුල, ජීවන බර දරාගෙන තම දරුවාගේ අධ්‍යාපනය සදහා විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට නොහැකි දෙමව්පියන් අතිමහත්ය. නමුත් ඔවුනගේ බුද්ධිමත් දක්ෂ දරුවන්ටද මෙම උසස් අධ්‍යාපනික අයිතීන් හිමිවිය යුතුය. නැතහොත් රටේ ධනපතීන්ගේ දරුවන් පමණක් මෙම වරප්‍රසාද හිමිකරගන්නා තත්වයක් තුල වරප්‍රසාද අහිමි වන්නා වූ ජනතාව තුලින් මතු වන විරෝධය හා අසහනය (සමාජ විෂමතාවය) රට තුල කොතරම් කාර්යයක් කරයිද යන්න දෙවරක් සිතා බැලීමට අවශ්‍ය නැත. ඉතිහාසය ඒ සදහා අවශ්‍ය තරම් සාක්ෂි සපයනු ඇත. මේ සදහා රජය යෝජනා කර ඇති ප්‍රධාන විසදුමක් ලෙස ඔවුන් දක්වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමය. ඔවුනගේ ප්‍රධාන තර්කය වන්නේ රටින් පිටත යන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරිකරගැනීම ( මීට අමතරව වලක්වාගතහැකි විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස රටින් පිටතට යයි. එය අධ්‍යාපනය සම්බන්ධ වූ විට සුලු ප්‍රතිශතයකි.) හා රටේ ඉතිරිවන ශිෂ්‍ය ප්‍රජාවටද විදේශ අධ්‍යාපනික වරප්‍රසාද හිමිකරදීමය. පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් හා රාජ්‍ය විශ්ව විද්‍යාල හා වෙනත් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුලත් වීමට නොහැකි සිසු පරපුර වෙනුවෙන් මෙය සුභවාදී ධනාත්මක මැදිහත්වීමක් වන්නට පුලුවන. නමුත්, විදේශීය මොඩලය අමු අමුවේම ශ්‍රී ලාංකික සමාජගත කිරීම හා එහි මුදල්මය වටිනාකම බහුතර ධනපතීන් නොවන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට උපයෝගී නොවන බව පැහැදිලිය. පෞද්ගලික විශ්ව විද්‍යාල සදහා යම් ප්‍රතිශතයකට ඇතුල් වීමේදී සහ ශිෂ්‍යත්ව හෝ වෙන යම් ක්‍රම යොදා ඇති බව කීවද මෙම පනතේ විනිවිදභාවය, එමගින් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත එල්ල වන බලපෑම හා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය කෙරෙහි ඇතිවන බලපෑමද සලකා බැලිය යුතුය.

2012 ජනවාරි පාර්ලිමේන්තු ගත කිරීමට නියමිත පනතේ අඩංගු කරුණු :-

උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව, ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රදානය කිරීමේ පනත’ (Qualification Framework, Quality Assurance and Accreditation of Higher Educational Institutions Act) ලෙසින් හදුන්වනු ලබන නවපනත අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම උසස් අධ්‍යාපන ආයතන වල කටයුතු අධීක්ෂණය හා නියාමනය සඳහා මණ්ඩලයක්පිහිටුවීමට නියමිතය. දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල කටයුතු මෙහෙයවීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගිනි. ඉහත කී මණ්ඩලය ඊටත් ඉහලින් බලාත්මක වේදැයි විමසා බැලිය යුතුය.

ඉහත මණ්ඩලයසමාජිකයින් 11කින් සමන්විත වන අතර ඇමතිවරයා විසින් සෘජුවම 4 දෙනෙකුද නිල බලයෙන් 7දෙනෙකුද පත්වේ. ඇමතිවරයා පත්කරන 3දෙනෙක් උසස් අධ්‍යාපන ආයතනයක ( රාජ්‍ය හෝ පෞද්ගලික විය හැක) ඉහලම තනතුරු දරන අය වෙති. නිලබලයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිද විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ ( දැනට නීත්‍යානුකූල නොවන ව්‍යුහයකි) සභාපතිද ඇතුලත්ය. ඇතැම් විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පත්වන්නේ කෙසේදැයි හා දේශපාලනික ඇඟිලි ගැසීම් විශ්ව විද්‍යාල වලට අරුමයක් නොවේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිද මෙම මණ්ඩලයට ඇතුලත්ය. එම තනතුරු 2 හැරුනු විට අනෙකුත් පත්වීම් 9ම කෙසේවේදැයි ප්‍රශ්ණාර්තයක් ඉතිරිකරනු ඇත. 11න් 9ක්ම තම කාර්යභාරය කුමන න්‍යායපත්‍ර යටතේ ඉටුකරනු ඇත්ද යන්න ගැටළුවකි. එමෙන්ම ඔවුන්ගෙන් කෙනෙකු මෙහි සභාපතීත්වයද හිමිකරගැනීමට ඉඩප්‍රස්ථාව ඇත. මෙම මණ්ඩලයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වෙනුවෙන් වෙන් වූ එකම පුද්ගලයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතීත්වය පමණක් නම්, රාජ්‍ය විශ්ව විද්‍යාල පවතින දේශපාලනික, ආර්ථික රටාව තුල සුරැකීමට ඔහු/ඇය විශ්මකර්ම ඉදිරිපත්කරන්නෙකුගේ භූමිකාව ඉටුකල යුතුය.

යෝජිත මණ්ඩලයේ කාර්යභාරයන් අතර උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මකභාවය නියාමනය කිරීම, එම ආයතන පිලිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම, විවිධ අධ්‍යාපනික ආයතනවල සුදුසුකම් සංසන්දනය කිරීම, විදේශ උපාධි/ ඩිප්ලෝමා පිලිගැනීම ආදිය වේ.
රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති ගුණාත්මකභාවය පරීක්ෂාකරන්නේද මෙම මණ්ඩලය මගිනි. මුදල්මය වටිනාකම් පමණක් ඇති පාඨමාලා මේ අනුව ඉදිරියට පවතිනු ඇත. රටක සංස්කෘතිය, අනන්‍යතාවය සුරකින දේශීය චින්තකයන් මේ අනුව රටට දායාද නොවනු ඇත. සංස්කෘත, පාලි , පුරාවිද්‍යාව , ඉතිහාසය වැනි විෂය පථයන් මගින් විදේශ/ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ප්‍රතිලාභයක් අයත් නොවන්නේ නම් ඒවාට කුමක් වන්නේදැයි යන්න අමුතුවෙන් කියාදිය යුතු නොවේ. එවිට ශ්‍රී ලාංකික ප්‍රෞඪ ජාතිය , අතීත අභිමානයක් , තාක්ෂණික ශිල්ප දේශීය දැනුම ගැන විශේෂඥයන් නොව අල්ප මාත්‍රයක ඇහුම්කන්දෙන්නෙකුද සොයා ගත හැකිවේද?
වෘත්තීය ආයතන නියෝජිතයන් ලෙස වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තීන් පමණක් තෝරා ගැනීම අනෙකුත් වෘත්තීන් වලට සිදුවන අසාධාරනයකි. එය හුදෙක් මුදල්මය වටිනාකම් මත දිවෙන පාඨමාලා සඳහා පමණක් ඉණිමන් බැඳීමකි. ( මෙම කාරණා සම්බන්ධයෙන් යෙදෙන පාසල් අධ්‍යාපන පනතක සංශෝධන ගැනද ප්‍රතිපත්ති සැකසෙමින් ඇත.)
මණ්ඩලයට එයටම වෙන්වූ අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර එයට පාර්ලිමේන්තුව මගින්ද, ශ්‍රී ලංකාවෙන් හෝ පිටතින් ආධාර හෝ ණය වශයෙන්ද , මණ්ඩලය මගින් සපයන සේවා මගින්ද මුදල් ලැබෙනු ඇත. අරමුදලේ මුදල් ආයෝජනය කිරීමටද මණ්ඩලයට අයත් නිශ්චල හෝ චංචල දේපල ( විශ්ව විද්‍යාල සතු භෞතික හෝ මානව සම්පත්) බදු දීමට , උකස් කිරීමට හෝ විකිනීමට බලය ඇත.  මීට ප්‍රථමයෙන් මෙම පෞද්ගලික ආයතන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇත. මෙය එම පනත හෝ ආයෝජන මණ්ඩල පනත මගින් හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ඉටුකරවා ගැනීමට අසීරු වූ බොහෝ දේ මෙම පනත මගින් ඉටු කරවා ගැනීමට යත්න දැරීමකි.

මෙම පනතින් යෝජිත අනෙක් ප්‍රධාන කරුන වන්නේ .රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසමක්. (Council for Non-State Higher Educational Institutions) පිහිටුවීමයි. උසස් අධ්‍යාපනය සැපයීමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන ලියාපදිංචිය, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය ධෛර්යමත් කිරීම, දියුණු කිරීම හා එයට ආධාර සැපයීම , අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදි රජයට උපදෙස් දීම මෙහි කාර්යභාරයන් වනුඇත.
මෙහි සාමාජික සංඛ්‍යාව 13කි. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියෝජනය කරමින් 2කුත් වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකරන ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගත් ආයතන වලින් එක් අයෙකු බැගින් 3ක් , ඇමතිවරයා විසින් නියෝජිතයන් 7ක් අයත්ය. එම 7දෙනා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා නිල බලයෙන් පත් වන 6ක් අඩංගු වේ.
මෙම මණ්ඩල, කොමිසම් හෝ ආයතන වල ව්‍යුහය හා න්‍යායපත්‍රයන් කුමන ආකාරයේ වේද එමගින් අප රටෙහි අධ්‍යාපන ප්‍රතිපත්ති හා එහි පෝෂිතයන් කුමන න්‍යායපත්‍ර යටතේ හැඩගැසෙන්නේද යන්න විමසා බැලිය යුතුය. එය වෙනත් රටක අධ්‍යාපන ක්‍රමයක් ආනයනය කිරීමක්, අත්හදා බැලීමක් පවා විය හැක. දේශීය අධ්‍යාපනයට හා චින්තනයට කුමකින් කුමක් සිදුවේද? උසස් අධ්‍යාපන ඇමතිතුමා පවසන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල සමග තරඟයක නියැලෙනු අතර එමගින් ගුණාත්මකභාවය ඉහලයනු ඇත. තරඟයක නියැලෙනු තබා කෙලින් සිටගැනීමටවත් නොහැකි රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියක් අපට හිමිකල අදූරදර්ශී දේශපාලනික නායකත්වය එම තරගයට යාමට සුදුසු වටපිටාවක් අපට ලබාදෙන්නේනම් මැනවි. ඉන්පසු ඕනෑම තරගයකට ශ්‍රී ලාංකික දරුවන් සුදුසු වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට මුදල් ගෝනි ගණන් වැය කරමින් පෝෂණය වන පෞද්ගලික විශ්ව විද්‍යාල හා අන්ත අසරණ දුප්පත් වූ රාජ්‍ය විශ්ව විද්‍යාල එක මට්ටමේ තබා සැසඳීම කිසිසේත්ම කල නොහැක. එය ඇමතිතුමාගේ ටෙලිකොම් දුරකතන උදාහරණය වන අලෙවි කළ හැකි භාණ්ඩයක් ලෙස අධ්‍යාපනයද සිතා සිටින්නේ නම් එය මුලාවකි. විදේශ රටවල පවත්නා පෞද්ගලික විශ්ව විද්‍යාලද මුලුමනින්ම ලාභය පදනම් කරගත් ඒවා නොවේ. එහෙයින් එම සිල්ලර වෙලඳාම ප්‍රායෝගික නොවන බව තේරුම් ගත යුතුය.

කෙසේ හෝ මෙම පනත එලඹෙන ජනවාරියේ හෝ නුදුරු දිනක පාර්ලිමේන්තුගත වනු ඇත. එය හොඳ හෝ නරක හෝ අත උස්සවා සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකිවේවි. මන්ද 2/3 බහුතරය ඔවුන් සමග බැවිනි. නමුත් මම ඔබට මතක් කර දෙන්නේ, 1981දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ( දැන් රාගම වෛද්‍ය පීඨය - කැලණිය වි.වි.) පිහිටුවනු ලැබූ අවස්ථාවේ 5/6ක ව්‍යවස්ථාදායක බලය අභිබවමින් මහජනබලය නැගී සිටියාක් මෙන් මෙම අසීලාචාර පනත මගින් නිදහස් අධ්‍යාපනය ඉහලම අවස්ථාව වන රාජ්‍ය විශ්ව විද්‍යාල රැක ගැනීම සඳහා නැගෙන රාවයට ශක්තිය දිරිය ලබා දෙමින් විචාරවත් අධ්‍යාපනික ක්‍රමයකට රට යොමු කරමු යන්නයි. නිදහස් අධ්‍යාපනික රටාව තුල උපරිම ඵල නෙලා ඇති ඔබ මේ සඳහා ඔබගේ බුද්ධිය මෙහෙයවීමට කාරුණික වන්න. එය ශ්‍රී ලාංකික ජාතිය ඔබ ඉදිරියේ තබා ඇති වගකීමයි.
(අන්තර්ජාලය, පුවත්පත්, පුද්ගල සම්බන්ධතා මෙම ලිපිය සැකසීමේදී උපයෝගී කරගන්නා ලදී)

සකස් කලේ : Mora E-Union ‍‍වෙනුවෙන් චතුර ගණිමුල්ල.


Sunday, December 25, 2011

ගත්තු F3 මගේ යාළුවා ගනී පඩි අද මට වඩා.......... මීට වැඩියෙන් හම්බ කළ හැක ගියත් පිට වැසිකිළි පතා

පැතූ සිහිනය නිබඳ සිත් ගෙන සරසවියේ ආ මේ               සරා
හිසේ දුක් ගිණි නිවාලනමින් ඇය සමඟ ආවෙමි             හොරා
සිටියේ මිතුරන් පමණි මා ළඟ උනුත් නැත අද මා             කරා
කුමක් කරමිද නොදන්නෙමි අද ජීවිතය ඇත මා               මරා

ගියේ සරසවි ඩිග්රි ගන්නට සමාජයේ ගරුසරු                පතා
වසර හයකුත් සරසවියේ මා සිටියේ විද සැම දුක්             ඉතා
හිඟා කාමින් යදිමි රැකියා කියා හැකියා ගැන                  කතා
ගියොත් ගිය තැන සිටි යමෙක් අද ගොහින් private uni    පතා

ඩිග්රියක් යනු මුදල් පමණයි එයට නැත අද ගරු             කතා
දන්නේ අපිමයි වින්ද දුක්ගැහැ ලබාගන්නට එය              මනා
සුදුසුකම් නැත අපේ අය ළඟ ගලපමින් පිට uni             ගෙනා
වසර තුනකුත් ගතවෙමින් ඇත තාම job නැත මා             කරා

සිතමි දැන්නම් ඇයිද අරගල නොකලේ මේ පිලිබඳ        මෙමා
දුටුවේ නැත හෙට සිතුවේ අද ගැන පමණි මම අන් අය    ලෙසා
සිතෙයි දැන්නම් දමන්නට මම දමපු aca බල්ලට          සොයා
දුටුවදෝ ඔබ ඉගෙනුමට වැදි හෙනය කන්නන්ගර           මයා

සොයල සොයලා ගත්තේ ජොබ් එක එයත් හැකියාවට  නොමා
මක් කරන්නද වයස ගොස් ඇත සිතෙයි දැන්නං මම     ගොනා
ගත්තු F3 මගේ යාළුවා ගනී පඩි අද මට                          වඩා
මීට වැඩියෙන් හම්බ කළ හැක ගියත් පිට වැසිකිළි           පතා

Sunday, December 18, 2011

අපි කොයිබටද ?


මම ඔබෙන් ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් අහන්නද? “ ඔබ ඔබගැන තෘප්තිමත්ද ?”  ඔබට විවිධාකාර පිළිතුරු තියෙන්න පුළුවන්. ඔබ සමවයසේ තරුණ ප්‍රජාව සමඟ සංසන්දනය කරද්දී ඔබ තෘප්තිමත්ද කියා මම ඇසුවොත් අනිවාර්යෙන්ම ඔබේ පිළිතුර “ඕව්” කියා මම විස්වාස කරනවා. මෙලෙස පිළිතුරු දීමට ඔබට මට අතිශය සාධාරණ හේතු තියනවා. නිදහස් අධ්‍යාපනය ලබාගෙන ඒ හරහා එයටද වටිනාකමක් ලෙබෙන සේ හොඳින් ඉගෙනගෙන රටේ පිළිගත් සෑම විභාගයක්ම ඉහලින්ම සමත් වී, කැපකිරීම්, දහදිය මහන්සියෙන්, කුසගින්න ඇඳුම් පැළඳුම් ගැන නොසිතා, වතුර උගුරකින් කුස පුරවාගෙන නොවිඳිනා දුක් විඳලා, ගණිත අංශයෙන් ඉහලින්ම සමත්වෙලා, ඔබගේත් මගෙත් සිහිනයක්ව තිබූ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයටඇතුල් වී, තම දුප්පත් අම්මට තාත්තාට ආඩම්බරයක්, ඔවුන් හෙලූ දහඩියට වටිනාකමක් ලබාදෙන්නට සමත් වූ දුවෙක් පුතෙක් වශයෙන් ඔබ ඔබගෙන අතිශය තෘප්තිමත් ඇති. සමාජයේ ඉහලම පිළිගැනීමක් ඇති ඉංජිනේරු වෘත්තියට තව වසර කිහිපයකින් පියනගන මාවතට අවතීර්ණවී ඇති නිසා ඔබට ස්වයං අභිමානයක් ඇතුවාට නිසැකයි.

නමුත් මිතුරනේ අප මදක් ගැඹුරට සිතා බලමුද? ඇත්තටම අපිට අපි ගැන තෘප්තිමත් වීමට පුලුවන්ද? ඉංජිනේරු  පිඨ ශිෂ්‍යයන් ලෙස ඔබ තෘප්තිමත්ද? අපට සැබෙවින්ම අපගැන ආඩම්බර වීමට පුලුවන්ද? ගණිත විෂය හදාරන සිසුන් විදිහට අපි හොඳින්ම දන්නවා ගණිත ගැටළුවක් විසඳාගැනීමට අපට කෙලසින්වත් එකම ක්‍රමයකට සිතීමෙන් හෝ කටපාඩම් කිරීමෙන් කල නොහැකිබව. ගණිත ගැටළුවක් විසඳීමේ සාර්ථක ක්‍රමවේදය වන්නේ අප දන්නා දත්ත ඇසුරෙන්, තාර්කික චින්තනය ඔස්සේ එය ලිහිල් කරගන්නා නිවැරදි මාර්ගය තීරණය කර ඒ ඔස්සේ ගොස් ක්‍රමවත්ව නිවැරදි පිළිතුර කරා ලඟාවීම. නමුත් ප්‍රායෝගිකව ඔබ,මම තාර්කික විශලේෂණය ඉංජිනේරු සිසුවෙකු ලෙස එදිනෙදා ජීවිතයේදී යොදාගන්නවද? ඒ වෙනුවට අප පුරුදු වී සිටින්නේ ඉතා පටු, මුග්ධ, අතාත්වික, පදනමක් නොමැති රාමුවලට කොටුවී හර්දසාක්ෂියක් නැති කුහක ආකල්පවල සිරකරුවන් වී , අග්‍රගන්‍ය වෘතියකට මග පෙන්වාදෙන තොතන්නකට පැමිණි ළදරුවන් සේ හැසිරෙමින්, තම තත්වය තම ක්‍රියාකාලපයන්ම බාල්දු වන අන්දමට හැසිරෙන, කොදෙව් මානසිකත්වයකින් ඇලී ගැලී ගිය සිසුවෙකුගේ භූමිකාව රඟදැක්වීම නොවේද? ඔබට ඔබේ ක්‍රියාකලාපය අනුමත කළහැකිද? කෙතරම් කේදනියද?

අප මදකට අපගේ මානය පැත්තකින් තබා ස්වයං විවේචනයේ යෙදෙමු. එදිනෙදා අප ජීවිතය ගෙවී යන ආකාරය මෙනෙහි කරමු. නවාතැනේ සිට සරසවියට පැමිණ, දේශනවලට සහභාගිවී සරසවියෙන් පිටව නවාතැනට ගොස් අධ්‍යයන කටයුතුවල යෙදීමට කම්මැලි සිතුනවිට  Facebook log වී  chat කරන සරල සිසුවකුගේ චරිතයකට පණ පොවන ඔබගේ සමාජීය ජීවිතය පිලිබඳ ඔබ තෘප්තිමත්ද? එසේත් නැතිනම් සරසවියට කැළලක් වනලෙස, අන්මත වලට ගරුකිරීමට නොදන්නා, නොමේරු,  ප්‍රාථමික ආකල්පමත මනස ක්‍රියාකාරකම් හසුරවන කලහකාරී චරිතයක් බවට පත්වී, අප රටේ බුද්ධිමත්ම සිසු කොට්ටාෂයන් සමාජයට ඉටුවිය යුතු වගකීම් යුතුකම් ඉෂ්ටකිරීමට හැකිවන්නේ කෙසේද ? අප බුද්ධිමත්බව අපට අන්අයට පෙන්වීමට හැක්කේ විභාග සහතිකපත්‍ර හරහා පමණක්නම් අප සතු බුද්ධිමත් බවේ හරය කුමක්ද?

සමාජය අද සරසවි සිසුවා නිර්වචනය කරන ආකාරය අපි දැන් විමසා බලමු. මහජනතාවට සරසවි සිසුවා රටට බරක් වූ කාලකන්නියෙකි, මුරණ්ඩු බේබද්දෙකි, සුළු දෙයටත් රන්ඩුවේ පැටලෙන කලහකාරයෙකි, දේශපාලන පක්ෂයකට කඩේයන රුකඩයකි. මිතුරනි, අවාසනාවකට ඔබත් මමත් ඒ කුලකයේ උපකුලකයක් වීමු. ඔබත් මමත් අනෙක් සරසවිවල සිසුන්ට වඩා මදක් වෙනස් වුවද ඒ වෙනස්කම අපව නව කුලකයකට ඔසවා තැබීමට තරම් ප්‍රමාණවත් නැත. රටේ ජාතික පුවත්පත්වල සරසවි සිසුන්ගේ අදහස් මහජනතාවට ගෙනයාමට ඉඩකඩ වෙන්කර ඇති නමුත් ඉංජිනේරු සිසුන්ගේ ලිපි කෙදිනක හෝ ඔබ දැක තිබේද? අප තවමත් පෝස්ටරයක අකුරු ඉරූ පමණින් රණ්ඩුවට පැටලී ඒ හරහා සරසවිය මාස ගණනක් වසා තබාගේනිමට තරම් දුරදිග නොබලා කටයුතු සිසුන් පිරිසක් නොවේද? පුද්ගලික තාක්ෂණ ආයතනවල සිසුන් එලෙස ගැටුම් ඇතිකරගන්නවා යැයි ඔබ අසා තිබේද? අපගේ ක්‍රියාකාරකම් මගින් සමාජයට ඉංජිනේරු වෘත්තීය පිලිබඳ යහපත් ආකල්පයක් ඇති වේද?විචාර බුද්ධියෙන් විමසා බලමු.

ඉතා විශාල ධාරිතාවක් සහිත අධ්‍යන කටයුතුවල යෙදී සිටින අපට  අද රටේ තත්වය පිලිබඳ අවධානය යොමු කිරීමට ඇත්තේ අල්ප කාලයක් බව පිළිගත හැකිමුත්, එසේ රටේ වර්තමාන හැසිරීම තේරුම් නොගෙන, ඒ හැසිරීමට සරිලන පරිදි ප්‍රතිචාර නොදක්වා තම අධ්‍යන කටයුතුවල පමණක් ඇලී ගැලී සිටීම පමණක් කලහොත්, තම අධ්‍යයන කටයුතු අවසන් වූ කල තමන් ලබාගත් දැනුමට සරිලන සමාජීය පිළිගැනීමක් ඔබට නොලැබෙන වටපිටාවක් රටේ පැවතුනහොත් එහි වගකීම ඔබ පිටද පැටවෙන බව සිහියේ තබාගන්න.

අද ශ්‍රීලංකාවේ අධ්‍යාපන අංශයේ නව ප්‍රවණතා පිලිබඳ ඔබ දැනුවත්ද? මෙතෙක් පවතී නිදහස් අධ්‍යාපන රටාව විවිධාකාර වෙනස්වීම්වලට බඳුන්වෙමින් සංක්‍රාන්ති සමයක පසුවන බව ඔබ දන්නවාද? එහි අවසන් ප්‍රථිඵල යහපත්ද අයහපත්ද? එම ප්‍රථිඵල අපට, අප බාල පරම්පරාවට බලපාන අන්දම පිළිබඳව විග්‍රහයක් ඔබ තුල පවතීද? පාලකයන් අරඹන නව අධ්‍යාපන ව්‍යාපෘති හරහා රටට අනාගතයේ ලැබෙන්නේ ප්‍රාග්ධන ලාභයක්ද? බුද්ධිමය ලාභයක්ද යන්න සිත බැලීමට ඔබ ඔබේ තාර්කික මනස භාවිත කර තිබේද? මේ නව ප්‍රවණතා පිලිබඳ ඔබේ විග්‍රහය සුභවාදීද?

රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළම තැන සිට පහල දක්වා පරිපාලනයේ අද ක්‍රියාකාරකම්වල අවංක අභිලාශය රටේ දූ දරුවන්ගේ අනාගත අභිවෘධිය උදෙසාම පමණක් යැයි සිතීමට තරම් අපි අවිචරශිලී නොවෙමු. හුදෙක් ඔවුන්ගේ සුඛ විහරණයට පමණක් ඔවුන් කටයුතු කරනබව මම ප්‍රකාශ කළහොත් ඔබත් ඊට අඩු වැඩි වශයෙන් එකඟ වනබව ප්‍රත්‍යක්ෂය. අප ඔවුන්ගේ අදුරදර්ශී ක්‍රියාමාර්ග හමුවේ මුනිවත රැකීම මගින් රටට ගම්‍ය වන්නේ අපද ඔවුන්ගේ ප්‍රතිපත්ති සංශෝදනයකින් තොරව අනුමත කරන බව නොවේද? රටේ මහජනතාව බුද්ධිමත් සිසුන් ලෙස අපගේ ප්‍රතිචාරය පිලිබඳ බලාසිටින බව අපි දනිමු. එසේනම් මෙම ප්‍රවණතා පිලිබඳ අප ශිෂ්‍ය ප්‍රජාව තුල කතිකාවතක් අරඹා ඒ හරහා බුද්ධිමත් ලෙස වර්තමාන ප්‍රවණතා විශ්ලේෂණය කොට අපගේ පොදු මතයක් ගොඩනගා ඒ මතය ඔස්සේ එම ක්‍රියාමාර්ග අනුමත කිරීම,  අඩුපාඩු පෙන්වාදීම හෝ විරුද්ධ වීම අප විසින් කලයුතු නොවේද? මෙලෙස සක්‍රියව ශිෂ්‍යයන් ලෙස බුද්ධිමත්ව සමාජයට, පාලකයන්ට ප්‍රතිචාර දැක්වීම මගින් අන් සරසවිවල සිසුන්ටද ආදර්ශයක් වන ලෙස කටයුතු කිරීමට අප යොමුවන්නේ කවදාද?

අප අක්‍රියව සිටීමේ ප්‍රථිඵලය වන්නේ නොබෝ කාලයකින් ඔබේ බාල සොහොයුරා සොයුරිය ඉතා දුක් ගැහට වින්ද උසස්පෙළ විභාගය ඉහලින්ම සමත් වී ඉංජිනේරු පීඨයට ඇතුලු වී අධ්‍යයන කටයුතුවල යෙදෙද්දී ඊට  යාබද අසුනේ සාමාන්‍යපෙළ විභාගයවත් හොඳින් සමත් නැති ඉංජිනේරු පීඨයට ඇතුල්වීමට ඇති අවම හා එකම සුදුසුකම ලෙස ධනවත් දෙමාපියන් දෙපළකගේ දරුවෙක් වීම පමණක් සලකා බලන ලද සිසුවෙකු වාඩිවී අධ්‍යයන කටයුතු වල යෙදෙන දිනයක් නොපවතී යයි ඔබට සහතික කර කිව හැකිද? වර්තමාන සමාජයේ දුප්පත් දෙමාපියන් කීදෙනෙක් තම දරුවන්ගේ අනාගතය පිළිබඳව මෙනෙහි කරමින් සුසුම් හෙළනවා ඇතිද? දුප්පත් පාසල් සිසුන් තම අනාගතය ගැන අඳුරු සිහින දකිනවා ඇතිද? ඔවුන්ට කලහැක්කේ සුසුම් හෙලීම පමණක් වුවද, එම අඳුරු සිහින මැකී යනලෙස සරසවි සිසුන් වශයෙන් අප යමක කල යුත්තේ අප සතුව සංවිධානාත්මක බුද්ධිමය පිරිස් ශක්තියක් හා හැකියාවක් ඇති බැවිණි. උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමා පවසන පරිදි තව නොබෝ දිනකින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා රටේ ඕනෑම සිසුවෙකුට මුදල් ගෙවා ලියාපදිංචි වී සංපූර්ණ කල හැකිය. එම සංශෝධන නිතිප්‍රකාරව ස්ථාපිත කල පසු ඊට විරුද්ධ වීමට නොසිට එම ප්‍රකාශයේ බරපතලකම තේරුම් ගෙන ඒ සඳහා දැන්  සිටම ක්‍රියාමාර්ගවලට යොමුනොවුනහොත් අප රටේ දුප්පත් සොයුරු සොයුරියන්ගේ අනාගතය වළලන මිනිපෙට්ටියට අපද ඇණයක් ගස සම්මාදම් වුවා නොවේද? මෙම කරුණු කි පමණින් විස්වාස කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුනොකර තාර්කිකව විශ්ලේෂණය කොට තීරණයකට පැමිණෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නේ මගේ දෘෂ්ටි කෝණයට අනුව මෙය බැරෑරුම් තත්වයක් ලෙස මට හැඟෙන බැවිණි.

අප පිඨවල ආචාර්යවරුන්ගේ තත්වයද අපගේ තත්වයට නොදෙවෙනිය. ඔවුන් මහාචාර්ය ආචාර්යවරුන් බවට පත්වන්නේ ගුත්තිලයේ කවි කටපාඩම් කිරීමෙන් නොව තම මනස බුද්ධිය කැපකොට දරනලද විශාල පරිශ්‍රමයක ප්‍රථිඵලයක් වශයෙනි. ඔවුන්ට‍ තම බුද්ධි මට්ටමට සරිලන තත්වයක් ලබාදීමට ආණ්ඩුව සමත්ව තිබේද? පුද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට අනුග්‍රහය දැක්වීමට පෙර ඒවා සමග තරංග කල හැකි මට්ටමට අප විශ්වවිද්‍යාලවල භෞතික හා මානව සම්පත් සංවර්ධනයකොට රටේ අවශ්‍යතා වලට ගැලපෙන අන්දමින් පාඨමාලා වෙනස්කිරීම සිදු නොකර පුද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් අපට ඇතිවන්නේ ප්‍රතිලාභයක්ද යන ගැටලුව ඔබට පැන නොනගිද? අප විශ්ව විද්‍යාලය දියුණු මට්ටමට ගෙන ඉන්පසු පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම යම්තාක් සාධනීය දෙයක් වුවද ආණ්ඩුව කටයුතු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් න්‍යාය පත්‍රයකට අනුව බව පෙනී යයි.

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැත. මෙමෙ අවස්ථාවේ අපගේ බුද්ධිමත්භාවය, මුහුකුරා ගිය ස්වභාවය භාවිත කර ප්‍රායෝගික තලයේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම හරහා අපට අප රටට‍ හා අප අනාගත පරම්පරාවට මහඟු සේවයක් කල හැක. සුරක්ෂිත නිදහස් අධ්‍යාපනයක්‌ යටතේ, නිසි අධ්‍යාපනයක්‌, තම අධ්‍යාපන මට්ටමට ගරු කරන රටක සමාජයක් තුලදී ලබාගැනීමට අප අනාගත පරම්පරාවට හැකි වන දිනයේ, එම සුරක්ෂිත වටාපිටාව එකල ඇතිකිරීමට මුල් වුවන් ලෙස අපට මහත් අභිමානයෙන් කතාකිරීමට හැකිවනු ඇත. ඉංජිනේරු ශිෂ්‍යයන් මුල් වී එම වටපිටාව සකසා දීම පිළිබඳව එම සිසුන් හා දෙමව්පියන් අපට ගෞවරවය පුදකර සිටිනු ඇත. ඒ සමගම අද සමාජයේ අප පිලිබඳ ඇති අඳුරු චිත්‍රය උඩු යටිකුරු කර මනා දැක්මක් ඇති, රටට සමාජයට ඇල්මක් ඇති, අභිමානවත් පෞර්ෂයකින් හෙබි,  ප්‍රබුද්ධ, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේදී ධනාත්මක බලපෑමක් එල්ල කරන,වැදගත් ශිෂ්‍ය කොට්ටාසයක් ලෙස හා උසස් තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ ඉංජිනේරු ශිෂ්‍යයන් බවට පත්වීමට මෙම අවස්ථාවේ ක්‍රියාකිරීම අප සැමගේ යුතුකම බව සිහියට නගා ගනිමු.

මෙලෙස අපගේ අඩුපාඩු සදාගනිමින් අප චරිතය වඩාත් නිවැරදි මාර්ගයකට ගන්නා අතරතුර, අපගේ නිදහස් අධ්‍යාපනය සඳහා බදු මුදල් ගෙවන රටේ ජනතාව වෙත අපගේ ප්‍රතිඋපකාරය දැක්වීමට මේ සුදුසුම කාලයයි. උගත් සිසු පිරිසක් වශයෙන් රට තුල තම උගත්කම අගයන සමාජයක් බිහිකර ගැනීමට අපට නොහැකිනම් අපගේ උගත්කමේ ඵලයක්‌ නොමැත. අපගේ අඩුපාඩු පිලිබඳ ස්වයං විවේචනයක යෙදෙමින් සැවොම එක්වී නව කතිකාවතක් ගොඩනැගීමට කාලයයි මේ...