Sunday, September 30, 2012

සමාජ විහිළු...



ගිනි අව්ව දරා ගන්න බැරි වෙලාවක්. එත් මේ වෙලාවේ ඤාව්වයි කැවුම් මුණයි හිටියේ සිතල කඩාහැලෙන A/C කාමරේක.

“අනේ බලන්න මෙයා අපිට කියන කතා” කැවුම් මුණා හරිම හැඟීම් බරව කිව්වා.

“ඔන්න බලන්න මචෝ මං නම් ඔය වගකීමෙනුත් නිදහස්” ඤාව්වා සුපුරුදු හිනාවම දැම්මා.

“පුංචි ප්‍රතිඵලයක් වෙනස් වුණාට මොනවා වෙනවද” කැවුම් මුණා කේක් කෑල්ලක් අතට ගත්තා.

“හා හා චොකෝ කේක්, වැඩිපුර කෑවොත් පිම්පල් එයි” ඤාව්වා ආයෙත් හිනාවුණා.

“නෑ මෙයා නිතරම නාන හින්දා සැර අඩුයි.”

“හ්ම්, සොක්‍රටීස් ඉර ගිනිගෙන දැවෙන ගුලියක් කියලා කිව්වේ ඇයි දන්නේ නෑ. හරිම කුල්නෙ” ඤාව්වා කිව්වා.

“ඒක නෙමේ මොකක්ද අර result කතාව, ලියපු නැති විෂයන්ට result ඇවිත් කියන්නේ?”

“අය්යෝ, ඒක බොහොම පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්ලුනේ. මිනිස්සු පොඩි දේත් අල්ලන් කෑ ගහනවා.” කැවුම් මුණා මල් හිනාවක්‌ දැම්මේ හිත පිනායන විදිහට.

“ඔයාගේ හිනාවට සියලු දුක් කරදර නිවෙනවා අනේ, ඇයි මන්දා මේ ළමයින්ට බැරි ඔයාගේ හිනාව බලලා සැනසෙන්න.”

“නැතුව අනේ, මං කියන හුරතල් කතාවලට විතරක් නෙමේ ඔයාගේ කතාවලටත් ළමයි වශීවෙලා ඉන්නේ. ඒක නෙමෙයි අර ළමයි ඔයාට facebook එකේ දාලා තිබුණු අං තට්ටුව මාර හැඩයි නේද?”

“චියා මං ඒ පාටට ආසා නෑ . ලා නිලට හුරු රතු පාට තිබුණනම් ජාති” ඤාව්වා උත්තර දුන්නා.

“විශ්වවිද්‍යාලවල ආචාර්යවරුත් ස්ට්‍රියික්ලු නේද?” කැවුම් මුණා ඤාව්වා දිහා බලලා සිරියස්ව ඇහුවා.

“ඔන්න ඔයාටත් වැරදුණු තැන” ඤාව්වා බළල් නාදය පතුරලා මහා හඬින් හිනාවුණා. ඒක ස්ට්‍රියික් එකක් නෙමෙයි අනේ, පුංචි පහේ වැකේෂන් එකක්.

“ඒ කොහොමද” කැවුම් මුණාට ප්‍රශ්නයක් මතුවෙලා.

“අවුරුද්දක්ම වැඩකරලා කරලා අපේ දරුවන්ටයි දේශකවරුන්ටයි හුඟාක් මහන්සියි එයාලට නිවාඩුවකුත් එපායැ ඒකයි අපි වැඩිය ගණන් නොගෙන ඉන්නේ”

“ඒ වුණාට මේ හදිස්සියේ මොකද වැකේෂන්?” කැවුම් මුණා මෝඩ තාලෙට ඇහුවා.

“ඒක අපෙන් ළමයිට ස්ප්‍රයිස් එකක්”

“ඔයා නම් ජාති මෙයා. එත් ඇයි දන්නේ නෑ ළමයි පාරවල්වල බෙරිහන් දුන්නේ?” කැවුම් මුණා ආපහු ඇහුවා.

“අය්යෝ කැවුමා ඔයත් මහ මෝඩ ප්‍රශ්නනෙ අහන්නේ.එයාල මට thanks කළා. තරුණ උද්වේගකර ළමයි thanks කරන්නේ දැන් ඔය විදිහටනෙ.”

“ඉතිං කවද්ද ඔය වැකේෂන් එක ඉවර වෙන්නේ?” කැවුම් මුණට තවත් ලොකු ප්‍රශ්නයක්...

“මෙහෙමයි කැවුමා, අපි ඒ තීරනෙත් ළමයින්ට දීල තියෙන්නෙ. වැකේෂන් එක ඇති වුණාම එයාලම අපිට කියයි. මේකේ තියෙන විශේෂත්වය තමයි කැමතිනම් නොනිමි වැකේෂන් එකක් දක්වා දික්කර ගැනීමට හැකිවීම. අපි හැමවෙලේම හිතන්නේ අපේ මේ දරුවන්ගෙ අනාගතේ කැමති නම්, විවාහවෙලා දරු සුරතල් බලලාම, විශ්වවිද්‍යාල අධ්‍යාපනේ පස්සේ කැමති දවසක අවසන් කරන්නත් බැරියැ.”

“එත් ඤාව් එයාලට සල්ලි?”

“ඇයි අනේ මහපොළ දෙන්නෙ? ඒකෙන් අවුරුද්දක්ම වුණත් ජිවත් වෙන්න බැරියැ.”

“එක අතකට ඒකත් ඇත්ත.”

“එක අතකට නෙමේ කැවුමා. හැම අතටම හොඳයි.” ඤාව්වාගේ මුණේ මල් පිපිලා වගේ.

“එක නෙවේ ඤාව්වා මේ පාර මහ කඩඉම් විභාගේ ලිව්ව ළමයින්ව කවද විතර කැම්පස්වලට ගනීද?”

“අනේ කවදා ගියාම මොකෝ, ඔයා අහල නැද්ද මිනිහෙක් ජිවිත කාලෙම, ජිවිත කාලෙ පුරාම ඉගෙන ගන්නවා කියලා. ඕනේ නම් වැඩිපුර අවුරුදු තුන හතරක් යාවි. ඒක මොකක්ද ගෙදරට වෙලා දෙමාපියන්ටත් උදව් කරගෙන, පුරන් වුණ කුඹුරක් එහෙම කොටාගෙන සල්ලිත් හොයන්න පුළුවන්නේ. පස්සේ ඩිග්‍රිය කරගන්න බැරියැ. ඔය ඔස්ට්‍රේලියාව වගේවගේ දියුණු රටවල් එහෙමත් ඒ වගේනේ කරන්නෙ.”

“එතකොට උන්ගේ හොඳ කාලෙ ඉවරවෙයිද?”

“නෑ ඤාව් අවුලක් නෑ. එතකොට මේ ළමයි පරිනත වෙලා, තරුණ වයස පහුකලාමලුනේ සාමාන්‍යයෙන් නියම මොළේ පෑදෙනවා කියන්නේ. වර්තමාන සමහර විශ්වවිද්‍යාලවල ඉන්න ගිණි ගංජා කාරයෝ දැක්කාම මට හිතට දැනෙන්නේ, අවුරුදු 25 න් විතර පස්සේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගැනීම ගැන පනතක් ගෙනාවොත් හොඳයි කියලා.”

“ඒ විතරක් නෙමේ, එතකොට ප්‍රතිඵලවල ප්‍රශ්නයක් යන්තමට උද්ගත වුණත් දෙතුන් පාරක්ම බලලා සංශෝධනය කරලා, හිතේ සතුටින් ප්‍රතිඵලය භාර ගන්න පුළුවන්නේ, කැවුම් මුණා Nonstop එකේ කියාගෙන ගියා.”

“අනේ මාරයි. ඔයා මගේ හිත කියෙවුවා නේද?” ඤාව්වා සුපුරුදු ස්වරයෙන්ම හුරතල් වුණා.
“ඒ කියන්නේ, ඔයත් මං විදිහටයි හිතන්නේ කැවුම් මුණටත් හිනා ගියා.” දෙන්නටම හරි සතුටුයි.

ඒ විතරක් නෙමේ, එතන හිටපු පැපරාසි මල්ලිටත් හිනා ගියා. පැපරා මල්ලිගේ හිනාවට කැවුම් මුණයි ඤාව්වයි හැරිලා බැලුවා.

“අනේ නෝටි පැපරාසියෙක්” ඤාව්වා කිව්වා.

පැපරා මල්ලි කට කනට යනකල්ම හිනාවුණා.

“මල්ලී ඔයා කාලද ඉන්නේ.” කැවුම් මුණා චොක්ලට් කේක් කෑල්ලක් පැපරා මල්ලිට දික්කළා.

“කෑවා නම් තමයි.ඒත්...” පැපරා මල්ලි ටිකක් බොරුවට අදිමදි කරලා කේක් කෑල්ල කන්න ගත්තා.

“අපි ගැන බොරු එහෙම දාලා ජනී ජනයාගේ හිත විතරක් රිද්දන්න එපා.” කැවුම් මුණා විහිළුවට වගේ කිව්වා.

“අපි කන්න දුන්න ඇත හපා කන අය නෙමෙයි අය්යෝ” පැපරා මල්ලි හරිම ලැජ්ජාවෙන් කිව්වා.

අනේ බොරුවට ජනී ජනයා දැඟලුවට ඤාව් ඇමැතියි කැවුමා ඇමතියි කොච්චර චාම්ද, අහිංසකද? ඒ දෙන්නට විරුද්ධ වුණොත් මට පව් පිරෙයි. අනිත් එක කේතුමතී නුවර ටෙලි නාලිකාවලවත් මේ දෙන්නට බනින්නෙත් නෑනේ. එකෙනුත් තේරෙන්නේ මෙයාලගේ අහිංසකකම. පැපර මල්ලි හිතුවා.
හැබැයි ඇත්තටම ඤාව්වයි කැවුම් මුණයි ගැන විශ්ප විජ්ජාල ළමයින්ගේ හද පත්ලෙන්ම බුර බුරා නැගෙන ආදර ගෞරවය වැඩි කරන්න කැමති හින්දා පැපර මල්ලි සිද්ධිය ඒ හැටියෙන්ම ලියලා දැම්මා.

-මොරටු සරසවි ශිෂ්‍යාවක්‍--