Showing posts with label Free education. Show all posts
Showing posts with label Free education. Show all posts

Saturday, March 3, 2012

අඛණ්ඩ වැඩ වර්ජනේ.................


ඉගෙනීම පමණක්වු අපගේ විශ්වවිද්‍යාල ජිවිතයට නිවාඩුවක් විවේකයක් යනු සිතෙහි ඇති පීඩනය නිවා ගැනීමට මහඟු අවස්ථාවකි. එහෙයින් අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයට සුදානම්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපිද නිවාඩුවක් ලබා ගැනීම සඳහා සුදානම් වුනෙමු. සමහරුන් ඔවුන්ගේ ඇදුම් පොදිගසා ගම්බිම් කරා යෑමට සුදානම් විය. තවකෙක් මඟහැරුණු දේශන වල සටහන් සොයන්නට විය. තවකෙක් නිවාඩුපාඩුවේ තමන්ගේ සයනය සොයා වාර්තා කරන්නට විය. මේ සා වූ වැඩ අස්සේ අපේ බ්ලොග් එකට ලිපියක් ලිව්වා නම් හොඳයි කියා මට සිතින. ලිපිය ලියා අවසන් වනවාත් සමඟ අඛණ්ඩ වැඩ වර්ජනය දවසින් අවසන් විය. කරන්නට දෙයක් නැත. අඛණ්ඩ වැඩ වර්ජනය තවමත් අඛණ්ඩ යැයි සිතමින් මෙය කියවන්න....................................


                               මේ දවස් වල දඩෝරියා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය. ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුයි. බඩෙන් කාලක්වත් පිරෙන්නට ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැති නිසා විශ්වවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ වෙනදා මෙන් කවද්ද බලන්නට දඩෝරිය නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.

මුලින්ම හම්බුනේ ගහක් යටට් වී සාන්ත දාන්ත හීතල පිපිඤ්ඤා ගෙඩියක් මෙන් නිසොල්මනේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. දඩෝරියා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය.

"ලෙක්චර්ස් නැති නිසා හරි පාඩුයි නේද අයියෙ?"

"පිස්සුද ඕයි?" සිසුව නිකන් දාහට අරන් නිකම්ම දුන්න ගානට මැලවිලාය.

"එහෙනම් මෙච්චර දුකෙන් ඉන්නෙ??" දඩෝරියාටත් ඕන නැති කුනු ගොඩක් නැත.

"ලෙක්චර් තිබුනත් අපට හරියකට තේරෙන්නෑනෙ ඒ කියන මල විකර.ඒ උනත් මාසයක් ගානෙ හම්බුන 2500ත් මාස දෙකකින් හම්බුනෙ නැතුවහම අපි කොහොමද කාල ඇඳල ජීවත් වෙන්නෙ ඕයි?" කොල්ල ඉකි ගගහා අඬන්නට විය.

"මැතිතුමාට වත් කියල බැලුවෙ නැද්ද අයියෙ?

"පාහර බැල්ලිගෙ............"කොල්ලා බැන්නේ ඇමති තුමාටද ,තමාටද කියා හරි හැටි නොතේරුන නමුත් කොල්ලාට නහුටෙට තද වුන බව දැනගත් දඩෝරිය වචන පිටවෙනකොටම සතර පයට වෙර දී දුව ගොස් staff room එක පැත්තෙන් හිට ගත්තේය.

"එයාලට විතරක් පඩි වැඩි කරල හරි යනවද? අපි මේවට මොකුත් නොකරන එකමයි වැරදි.”
 "ඒකනෙ මෙයා, මම නම් කියන්නෙ එයාලට පඩි වැඩි කලොත් අපිත් ආයෙත් පටන් ගන්න ඕන ස්ට්‍රයික් එකක් හා නැද්ද?"
"ඒකනෙ, එයාලට ඔය කියන තරම් අග හිඟ නෑ අනේ.බොරුවටනේ ස්ට්‍රයික් කරන්නේ."

අන්තෝ ජටා බහී ජටා කිව්වලු. තව මාස ගානකට හරියට කෑම වේලක් ලැබෙන පාටක් පේන්නට නැති බැවින් දඩෝරියා හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

Work Shop එක පැත්තේ ලී ඉරන සද්දයක්වත් නැති බැවින් Instructorsලා Research එකක්වත් කරනවාද බලන්නට දඩෝරිය ඒ පැත්තට හොම්බ දැම්මේය.

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.ඒ කට්ටිය ජනෙල් දොරවල් හොඳටෝම ඇරගෙන කුනු කෙල පෙරාගෙන නිදිය.

"එපා......එපා......එපා......"බඩ තඩි කලු මිටි අන්කල් කාරයෙක් දැකපු හීනයකට හොඳටම බය වී කෑ ගහ ගෙන නැගිට්ටේ දඩෝරියා එතනින් කැපෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය.

"නරක හීනයක්වත් දැක්කද?" බල්ලෙක් වුනත් කරදරයකදී අහක බලාගෙන යාම හොඳ නැති නිසා දඩෝරියා ඇසුවේය.

"මහ භයානක එකක්. විශ්වවිද්‍යාල සේරගෙම ඉන්න ළමයි පාරට බැහැල මන්දිරේට දුවගෙන ගියා. මැතිතුමායි ඇමතිතුමායි දෙන්නවම අල්ලගෙන ගිහින් ගෝල්ෆේස් එක ගාවින් මුහුදට තල්ලු කරන්න හැදුවනෙ."

"පව් අනේ, අසරණ මහ ඇමතිතුමා. අංකල් ඒකද බය වුනේ?"

"නෑ බන්, එතකොටම මහ ඇමති තුමා කිව්වනෙ කියන ඕන දෙයක් දෙන්නම් මාව මුහුදට දාන්න එපා කියල."

අනෙක් පැත්තට හැරුනු බුවා නැවතත් ගොරවමින් නිදාගන්නට වූයෙන් දඩෝරියා පාරට බැස්සේ මැතිතුමාගේ ගෙවල් පැත්තට කිට්ටු කරන්නට හිතාගෙනය.

බරාස් ගා වැටුන බ්‍රේක් පාරක් නිසා උතුර දකුණ මාරු වූ දඩෝරියා වටපිට බැලුවේ බලු වෑන් එකවත් ආවාද කියලාය.මේ දවස්වල සීසන් එක නිසා බලු වෑන් එකක් වටේ කැරකෙන බව කිව්වේ අල්ලපු වැටේ කන් කොටා ය.මොනවා උනත් විශ්වවිද්‍යාලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලොකු සර් විද්‍යාලෙ හිටි හැම බල්ලෙක්ටම පිස්සු බලු බේත් විද්දේ ගිය සතියේය.මොනවා උනත් උන්දෑ රත්තරං මනුස්සයාය.

නැවතුන ඉන්ටර්කූලර් එකේ වීදුරුව පාත් වී ලොකු සර්ගෙ පින් පාට මූන එලියට ආවේය.

“දඩෝරියා කොහෙටද යන්නේ?”

“මැතිතුමා හම්බෙන්න කියලා සර්”

“නැගපන්. නැගපන්. මාත් මේ යන්නෙ ඒ පැත්තෙ”

 “උඹ මොකද ඒ පැත්තේ යන්නේ?” ලොකු සර් ඇහුවේ මූණ දෙල් කරගෙනය.

“මේ දවස්වල කන්න බොන්න හරි හිගයි සර්.” දඩෝරියා නගුටෙන් ටයන්න ගසා ඒ මත වාඩි උණේය.

“උඹ බය වෙන්නෙපා . මැතිතුමා අලුතෙන් විශ්වවිද්‍යාල වගයක් හදන්න යනවනේ. එතුමා කිවුවා මටත් එකක් දෙන්නම් කියල. එතකොට මම උඹව එහෙට එක්කන් යන්නම්කෝ. එතකොට මේ වගේ ජරාව කන්න ඕන නෑ.”

“ඔව්  ඉතින් ඔබතුමාල මේ කන විදිහට කාගෙන ‍කාගෙන ගියොත් අපි‍ට කන්න කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ තමා.” දඩෝරියා ඇඟට පතට නොදැනි කියා දැම්මේය.

“හැමදාම මෙහෙම ස්ට්‍රයික් කරන එකත් හරි නෑ නේද සර්.”

“මේකනෙ බං. ස්ට්‍රයික් කරනකන් විශ්වවිද්‍යාල වහල තියනවනෙ. එතකොට අපට පුලුවන්නෙ පෞද්ගලික උපාධි කඩේකට ගිහිල්ල මොනා හරි උගන්නල කීයක් හරි හොයාගන්න. අනෙක මැතිතුමාම කිවුවනෙ එහෙම කලාට වරදක් නෑ කියල”

මේ කතා අහගෙන තවදුරටත් කාර් එකේ යාම එපා වුණ දඩෝරියා කොල්ලුපිටිය හන්දියෙන් පාරට පැන්නේය.

A/C නිසා කරවුන මොළේ බුරුල් වෙන්නට හච්චිං දෙක තුනක් අරින කොටම මහඇමතිතුමා මතක් උන නිසා ‍දඩොරියා අරලිය ගහ මන්දිරේ පැත්තට හැරුණේය. ලිප්ටන් වටරවුම පැත්තේ ඉඳන් එන පෙලපාලියක හඬ ඇහුන නිසා දඩෝරියා පොඩ්ඩක් නැවතුනේය.රතුරත්න මල්ලිලා බෝඩ් කෑලි උස්සගෙන වැටවල් පෙරලගෙන කෑ ගහගෙන අරලිය ගහ මන්දිරේ පැත්තට එන්නේය.ඉස්සරහින්ම ආවේ කාස රෝගියෙක් වගේ කෙට්ටුම කෙට්ටු උසම උස පොරක්ය.

"කැම්පස් වහල තියෙන එක ගැන මොකද කියන්නෙ?"

මාධ්‍යවේදියෙක් මෑන්ව වට කරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කරති.

"මේ ඡන්දෙ දවස් ටිකේ ඕක වහල තියපු එක කොච්චර දෙයක්ද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!!!"

"ඒ කිව්වෙ?"

මාධ්‍යවේදීන්ගෙ කකුල් අතරින් රිංගා ගිය දඩෝරියා ඇසුවේ ඇත්තටම ඒ කතාව නොතේරුණ නිසයි.

“ අයියෝ සිම්පල්නේ. පළවෙනි එක අපට පෝස්ටර් ටික අලවගන්න අමතර වියදමක් යන එක නතර උණා. දෙක අපට මේකෙන් ඡනදෙට හොද සටන් පාඨයක් හම්බුණා.”

මෙහෙම කියපු පොර බෝඩ් ලෑල්ලක් අරගෙන ආයෙත් පිකටින් එකට සෙට් උණා.

පිකටින් එක නිසා ඉස්සරහ දොර වහල තිබුණත් කුණු කාණුවක් දිගේ බඩගාගෙන ගිහින් මහඇමති මන්දිරේ පස්ස පැත්තෙන් මතුවෙන්න දඩෝරියට පුලුවන් උණා. දඩෝරියා යනකොට මැතිතුමයි මහ ඇමතිතුමයි දෙන්නම මන්දිරේ ඉස්සරහ පඩිපෙළ උඩට වෙලා කල්පනා කරනවා.

“ආ දඩොරියා, ළමයෙක්වත් විශ්වවිද්‍යාල දාගන්නද?”

දඩෝරියා දැක්ක ගමන්ම ඇමතිතුමා සුපුරුදු පනාව දාන ගමන්ම ඇහුවා.

“යන්න තියෙනව නම් කොච්චර එකක්ද?? ඒත් ඉතින් ඕකට ගියොත් මැරෙන්න කලින් ඕකෙන් එලියට එන්න පුලුවන් වෙයිද සර්?”

විශ්වවිද්‍යාල බල්ලට ගිය බව දන්නවා උනත් ඌ නොදන්න ගානට ඇහුවා.

“ඒකත් ඇත්ත තමා. අවුරුදු 7ක් 8ක් යනකොට උඹලා මැරිලත් තියෙයි තමා” මහ ඇමතිතුමත් උගුරෙ රැල් බුරුල් ඇරියා.

“නෑ නෑ සර්... දැන් එහෙම වෙන්නෑ.. අපි ‍‍පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවහම අවුරුදු 4ක උපාධිය තුනෙන් උනත් කරල එලියට ආවහැකිනෙ”

“අපේ කැම්පස් ආයෙ පටන් ගන්න එකක් නැද්ද සර්?” දඩෝරියා ප්‍රශ්නේ කෙලින්ම මහ ඇමතිතුමාට දැම්මා. ප්‍රශ්නේ ඇහුවා විතරයි එතුමා බිම පෙරලි පෙරලි අඩන්න වුණා.

“ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ? මම අවුරුදු 5ක් යනකන් මෙන මල යකෙක්ටවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ. අයියෝ ඇයි මට මෙහෙම කරන්නේ....? මම කොහොමද මුන්ට පඩි වැඩි කරන්නේ....?”

මහ ඇමති තුමා පොඩි එකෙක් වගේ අඬනවා,මැතිතුමා මහ ඇමති තුමාව අල්ලගෙන වත්තන් කරගත්තා.
"කිසි දේකට බය වෙන්න එපා,ලබන සතිය වෙනකොට 36%කින් පඩි වැඩි කරල, අපි රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරනවා"මැතිතුමා අභීතව සිංහ නාද කලා.

“මොකක්?????????????????”

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කළත් නුදුරු අනාගතයේ නැවතත් එන අඛණ්ඩ වැඩ වර්ජනයක පෙරනිමිති දැක දඩෝරියා නිවෙස් බලා පිටත් විය.
                                                                                                            මතු සම්බන්ධයි.............
නුවන් සුරත් එදිරිසුරිය

Wednesday, January 11, 2012

යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට ඇත්තටම එරෙහි විය යුතුද?

                                                              මහා ශිෂ්‍ය සංගමය,
                                                          මොරටුව විශ්වවිද්‍යාලය.


දයාබර සොයුර සොයුරිය,
            ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රය අද වන විට තීරණාත්මක හා සුවිශේෂී මොහොතකට පැමිණ ඇත. තවද මෙය නිදහස් අධ්‍යාපනයේ කඩඉමක් නැතිනම් හැරුම් ලක්ෂ්‍යයක් බවට පරිවර්තනය වන යුගයකි. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් ඇරඹි මෙරට නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට අද මේ රටේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුදෙනාටම අධ්‍යාපන අයිතිය සමාන ලෙස භුක්තිවිදීමට වරම් හිමි වී තිබේ. මේ හේතු කොටගෙන දියුණු රටවල් අභිබවා සාක්ෂරතාවයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබාගැනීමට අපට හැකිවී තිබේ. මෙසේ සුවහසක් දරුවන්ගේ දෑස් පෑදු නිදහස් අධ්‍යාපන ක්‍රමය රජය විසින් කළුකඩ මුදලාලිලාට විකිණීමට උත්සාහදැරීම ඉතා භයානක තත්වයකි. සාරාංශව කිවහොත් අදවනවිට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියලු දෙනාටම සමව භුක්ති විඳීමට ඇති නිදහස් අධ්‍යාපනය, කිසිඳු ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත(‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සම්මත කොට මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් පමණක් බවට පත්කිරීමටය.
උක්ත පනත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය.

1.උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව,ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලය.(Sri Lanka Qualifications Framework, Quality Assurance and Accreditation Board.)

මණ්ඩලයේ සාමාජිකයන් 11 දෙනාගෙන්  සාමාජිකයින් දෙදෙනෙකු (සභාපති-ශ්‍රී ලංකා වෛද්‍ය සභාව/SLMC, සභාපති-ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය/IESL.මෙම නිලයන් සඳහා දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.) හැර ඉතිරි 9 දෙනාම දේශපාලන හැකියාවන් මත පත්වීම ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේශ්ත්‍රය දේශපාලන මඩ ගොහොරුව තුල එරීමට පාර කපන්නකි.

සියළුම උසස් අධ්‍යාපන ආයතන වල (රාජ්‍ය හෝ පුද්ගලික) කටයුතු අධීක්ෂණය මෙම මණ්ඩලය මගින් සිදු වේ.එමඟින්  වර්තමානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල අහෝසි වී යාම රාජ්‍ය විශ්වවිද්‍යාල වල පැවැත්මට එල්ල වන්නා වූ මරු පහරකි.මීට අමතරව උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරිම,උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම,ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම හා සමාගම් පනතින් හෝ අයෝජන මණ්ඩල පනතින් රජයට ඉටු කර ගැනීමට නොහැකි වූ විශ්ව විද්‍යාල සතු දේපල විකිණීමේ හා බදු දීමේ නෛතික බලය මෙම මණ්ඩලය සතු වේ.

2.රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසම.
 (Non-State Higher Educational Institutions Council)
උසස් අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන නැතිනම් සංවිධාන ලියාපදිංචි කිරීම,එම ආයතන දියුණු කිරීමට ආධාර සැපයීම ,අධ්‍යාපනික ප්‍රතිපත්ති වලදී රජයට උපදෙස්  දීම  වැනි බලතල රාශියක් සභාව සතු වේ.13 ක් වන සාමාජිකයින්ගෙන් සියළු දෙනාම පත්වන්නේ දේශපාලන හැකියාවන්(ජනාධිපති හෝ උසස් අධ්‍යාපන ඇමතිගේ) මත වීම ඛේදවාචයකි.
පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම ඉතා පහසුවෙන් කල හැක්කක් නොවේ.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සමාජ විද්වතුන්ගේ විද්වත් සංවාදයකින්  තොරව කෙටුම්පත් කල මෙම පනත සම්මත වුවහොත් නිදහස් අධ්‍යාපනය මුදලට විකිණෙන දිනය නුදුරේදී එළබෙනු ඇත.



වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල සතුව පහත පරිදි ගැටළු රාශියක් පවතී.එම එක් කාරණයක් වෙනුවෙන්වත් කිසිම විසඳුමක් උක්ත පනතින් නොලැබේ.එබැවින් ඒ පිළිබඳව අපි සැකෙවින් විමසා බලමු.

ඔබට මතක ඇති සරසවි ආචාර්යවරු තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා පසුගිය මැයි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය.ඉහත පනතට අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළහොත් මෙලෙස අඩු වටුප් ලබන ආචාර්යවරුන්, වැඩි වැටුප් ලබාදෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත ඇදී නොයනු ඇතැයි ඔබට තහවුරු කල හැකිද? උගත් ආචාර්යවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉවත් වීම තුලින් ඒවායේ අනාගත ඉරණම කෙබඳු වේදැයි කාට නම් කිව හැකිද? එබැවින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල එහි ගුණාත්මකතාවය ආරක්ෂා කිරීම රජය මඟින් සිදුකලයුතු අත්‍යවශ්‍යම කාරණයකි. නමුත් රජය සිදු කරන්නේ උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් තව දුරටත් කප්පාදු කිරීමක් නොවේද?

වසර
2006
2007
2008
2009
2010
උ.අ. සඳහා වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස


0.452%


0.384%


0.348%


0.329%


0.305%

ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි.  එසේනම් පනතට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල තවදුරටත් කප්පාදු නොවේයැයි තහවුරු කලහැක්කේ කාටද?
එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුලට ගොඩබසින්නේ ආයෝජන මණ්ඩලයෙන් (BOI) ලබාදෙන බදු සහන පදනම් කරගෙනය. තවද පෞද්ගලික විශ්වව්ද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජිකයින් සඳහා වැටුප් ආදී නොයෙකුත් ක්‍රම තුලින් විදේශ විනිමය පිට රටට ඇදීයාම නොවැලැක්වීය හැක්කකි. ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද ප්‍රමිතියකින් තොරව පෞද්ගලීකරණය වී හමාරය. මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් ඉහත පනතින් මේ දෙයම විය නොහැකිද ? අද A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳදමා මේ අර අදින්නේ අර්ථයක් රහිත උක්ත පනත සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමක් සහ යුතුකමක් නොවන්නේද?

මදක් සිතන්න...........
(The Leaflet which has been distributed on 11-01-2012 by the MSU)

Sunday, January 8, 2012

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............. අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........

සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු                    මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර                   තමා
දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී                     පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි            "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන               විට
මට වැටහුණා හො හැටි ඉක්මනෙහි               කොට
සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය                         පිට
එන්නට හදනවා ඇතුළට කඩන්                        වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන                        රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන                   ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු              ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා                 විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම                      ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක්                    මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම                   හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු             මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති                       හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට                       කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක                     රන්දා
පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද                         මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ               ගතිය
කෑ ගැහුවාට හැටි අවුලක්                        නැතිය
හැදුවේ සූත්රය නිදි මරමින්                          සතිය
ඒකට යොදා ගත්තේ අපි                        ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත්         කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ  බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව        ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන්                      වළේ

මාතලීට ඇත දැන් හොදටම                       කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල                 ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට                      එබිලා
ඩ්රයිවින් පේපරේ කුණු කූඩෙක                 තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ                        දූට
බය වුණු පාර අද මේ සිදු උන                       දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු                  ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම්                    කාට

පංචසිකට හැදිලලු කැක්කුම                      ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට                       තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද            හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස්                  බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල                      ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර                   කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට               ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම්                   මේවා

යන විට සබාවේ ඔය විදිහට                       ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ                       බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට                  බලධාරි
අන්තපුරේටලු ඇත්තේ                          තේරි


සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)