Showing posts with label රස කතා. Show all posts
Showing posts with label රස කතා. Show all posts

Saturday, March 3, 2012

අඛණ්ඩ වැඩ වර්ජනේ.................


ඉගෙනීම පමණක්වු අපගේ විශ්වවිද්‍යාල ජිවිතයට නිවාඩුවක් විවේකයක් යනු සිතෙහි ඇති පීඩනය නිවා ගැනීමට මහඟු අවස්ථාවකි. එහෙයින් අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයට සුදානම්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපිද නිවාඩුවක් ලබා ගැනීම සඳහා සුදානම් වුනෙමු. සමහරුන් ඔවුන්ගේ ඇදුම් පොදිගසා ගම්බිම් කරා යෑමට සුදානම් විය. තවකෙක් මඟහැරුණු දේශන වල සටහන් සොයන්නට විය. තවකෙක් නිවාඩුපාඩුවේ තමන්ගේ සයනය සොයා වාර්තා කරන්නට විය. මේ සා වූ වැඩ අස්සේ අපේ බ්ලොග් එකට ලිපියක් ලිව්වා නම් හොඳයි කියා මට සිතින. ලිපිය ලියා අවසන් වනවාත් සමඟ අඛණ්ඩ වැඩ වර්ජනය දවසින් අවසන් විය. කරන්නට දෙයක් නැත. අඛණ්ඩ වැඩ වර්ජනය තවමත් අඛණ්ඩ යැයි සිතමින් මෙය කියවන්න....................................


                               මේ දවස් වල දඩෝරියා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය. ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුයි. බඩෙන් කාලක්වත් පිරෙන්නට ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැති නිසා විශ්වවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ වෙනදා මෙන් කවද්ද බලන්නට දඩෝරිය නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.

මුලින්ම හම්බුනේ ගහක් යටට් වී සාන්ත දාන්ත හීතල පිපිඤ්ඤා ගෙඩියක් මෙන් නිසොල්මනේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. දඩෝරියා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය.

"ලෙක්චර්ස් නැති නිසා හරි පාඩුයි නේද අයියෙ?"

"පිස්සුද ඕයි?" සිසුව නිකන් දාහට අරන් නිකම්ම දුන්න ගානට මැලවිලාය.

"එහෙනම් මෙච්චර දුකෙන් ඉන්නෙ??" දඩෝරියාටත් ඕන නැති කුනු ගොඩක් නැත.

"ලෙක්චර් තිබුනත් අපට හරියකට තේරෙන්නෑනෙ ඒ කියන මල විකර.ඒ උනත් මාසයක් ගානෙ හම්බුන 2500ත් මාස දෙකකින් හම්බුනෙ නැතුවහම අපි කොහොමද කාල ඇඳල ජීවත් වෙන්නෙ ඕයි?" කොල්ල ඉකි ගගහා අඬන්නට විය.

"මැතිතුමාට වත් කියල බැලුවෙ නැද්ද අයියෙ?

"පාහර බැල්ලිගෙ............"කොල්ලා බැන්නේ ඇමති තුමාටද ,තමාටද කියා හරි හැටි නොතේරුන නමුත් කොල්ලාට නහුටෙට තද වුන බව දැනගත් දඩෝරිය වචන පිටවෙනකොටම සතර පයට වෙර දී දුව ගොස් staff room එක පැත්තෙන් හිට ගත්තේය.

"එයාලට විතරක් පඩි වැඩි කරල හරි යනවද? අපි මේවට මොකුත් නොකරන එකමයි වැරදි.”
 "ඒකනෙ මෙයා, මම නම් කියන්නෙ එයාලට පඩි වැඩි කලොත් අපිත් ආයෙත් පටන් ගන්න ඕන ස්ට්‍රයික් එකක් හා නැද්ද?"
"ඒකනෙ, එයාලට ඔය කියන තරම් අග හිඟ නෑ අනේ.බොරුවටනේ ස්ට්‍රයික් කරන්නේ."

අන්තෝ ජටා බහී ජටා කිව්වලු. තව මාස ගානකට හරියට කෑම වේලක් ලැබෙන පාටක් පේන්නට නැති බැවින් දඩෝරියා හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

Work Shop එක පැත්තේ ලී ඉරන සද්දයක්වත් නැති බැවින් Instructorsලා Research එකක්වත් කරනවාද බලන්නට දඩෝරිය ඒ පැත්තට හොම්බ දැම්මේය.

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.ඒ කට්ටිය ජනෙල් දොරවල් හොඳටෝම ඇරගෙන කුනු කෙල පෙරාගෙන නිදිය.

"එපා......එපා......එපා......"බඩ තඩි කලු මිටි අන්කල් කාරයෙක් දැකපු හීනයකට හොඳටම බය වී කෑ ගහ ගෙන නැගිට්ටේ දඩෝරියා එතනින් කැපෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය.

"නරක හීනයක්වත් දැක්කද?" බල්ලෙක් වුනත් කරදරයකදී අහක බලාගෙන යාම හොඳ නැති නිසා දඩෝරියා ඇසුවේය.

"මහ භයානක එකක්. විශ්වවිද්‍යාල සේරගෙම ඉන්න ළමයි පාරට බැහැල මන්දිරේට දුවගෙන ගියා. මැතිතුමායි ඇමතිතුමායි දෙන්නවම අල්ලගෙන ගිහින් ගෝල්ෆේස් එක ගාවින් මුහුදට තල්ලු කරන්න හැදුවනෙ."

"පව් අනේ, අසරණ මහ ඇමතිතුමා. අංකල් ඒකද බය වුනේ?"

"නෑ බන්, එතකොටම මහ ඇමති තුමා කිව්වනෙ කියන ඕන දෙයක් දෙන්නම් මාව මුහුදට දාන්න එපා කියල."

අනෙක් පැත්තට හැරුනු බුවා නැවතත් ගොරවමින් නිදාගන්නට වූයෙන් දඩෝරියා පාරට බැස්සේ මැතිතුමාගේ ගෙවල් පැත්තට කිට්ටු කරන්නට හිතාගෙනය.

බරාස් ගා වැටුන බ්‍රේක් පාරක් නිසා උතුර දකුණ මාරු වූ දඩෝරියා වටපිට බැලුවේ බලු වෑන් එකවත් ආවාද කියලාය.මේ දවස්වල සීසන් එක නිසා බලු වෑන් එකක් වටේ කැරකෙන බව කිව්වේ අල්ලපු වැටේ කන් කොටා ය.මොනවා උනත් විශ්වවිද්‍යාලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලොකු සර් විද්‍යාලෙ හිටි හැම බල්ලෙක්ටම පිස්සු බලු බේත් විද්දේ ගිය සතියේය.මොනවා උනත් උන්දෑ රත්තරං මනුස්සයාය.

නැවතුන ඉන්ටර්කූලර් එකේ වීදුරුව පාත් වී ලොකු සර්ගෙ පින් පාට මූන එලියට ආවේය.

“දඩෝරියා කොහෙටද යන්නේ?”

“මැතිතුමා හම්බෙන්න කියලා සර්”

“නැගපන්. නැගපන්. මාත් මේ යන්නෙ ඒ පැත්තෙ”

 “උඹ මොකද ඒ පැත්තේ යන්නේ?” ලොකු සර් ඇහුවේ මූණ දෙල් කරගෙනය.

“මේ දවස්වල කන්න බොන්න හරි හිගයි සර්.” දඩෝරියා නගුටෙන් ටයන්න ගසා ඒ මත වාඩි උණේය.

“උඹ බය වෙන්නෙපා . මැතිතුමා අලුතෙන් විශ්වවිද්‍යාල වගයක් හදන්න යනවනේ. එතුමා කිවුවා මටත් එකක් දෙන්නම් කියල. එතකොට මම උඹව එහෙට එක්කන් යන්නම්කෝ. එතකොට මේ වගේ ජරාව කන්න ඕන නෑ.”

“ඔව්  ඉතින් ඔබතුමාල මේ කන විදිහට කාගෙන ‍කාගෙන ගියොත් අපි‍ට කන්න කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ තමා.” දඩෝරියා ඇඟට පතට නොදැනි කියා දැම්මේය.

“හැමදාම මෙහෙම ස්ට්‍රයික් කරන එකත් හරි නෑ නේද සර්.”

“මේකනෙ බං. ස්ට්‍රයික් කරනකන් විශ්වවිද්‍යාල වහල තියනවනෙ. එතකොට අපට පුලුවන්නෙ පෞද්ගලික උපාධි කඩේකට ගිහිල්ල මොනා හරි උගන්නල කීයක් හරි හොයාගන්න. අනෙක මැතිතුමාම කිවුවනෙ එහෙම කලාට වරදක් නෑ කියල”

මේ කතා අහගෙන තවදුරටත් කාර් එකේ යාම එපා වුණ දඩෝරියා කොල්ලුපිටිය හන්දියෙන් පාරට පැන්නේය.

A/C නිසා කරවුන මොළේ බුරුල් වෙන්නට හච්චිං දෙක තුනක් අරින කොටම මහඇමතිතුමා මතක් උන නිසා ‍දඩොරියා අරලිය ගහ මන්දිරේ පැත්තට හැරුණේය. ලිප්ටන් වටරවුම පැත්තේ ඉඳන් එන පෙලපාලියක හඬ ඇහුන නිසා දඩෝරියා පොඩ්ඩක් නැවතුනේය.රතුරත්න මල්ලිලා බෝඩ් කෑලි උස්සගෙන වැටවල් පෙරලගෙන කෑ ගහගෙන අරලිය ගහ මන්දිරේ පැත්තට එන්නේය.ඉස්සරහින්ම ආවේ කාස රෝගියෙක් වගේ කෙට්ටුම කෙට්ටු උසම උස පොරක්ය.

"කැම්පස් වහල තියෙන එක ගැන මොකද කියන්නෙ?"

මාධ්‍යවේදියෙක් මෑන්ව වට කරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කරති.

"මේ ඡන්දෙ දවස් ටිකේ ඕක වහල තියපු එක කොච්චර දෙයක්ද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!!!"

"ඒ කිව්වෙ?"

මාධ්‍යවේදීන්ගෙ කකුල් අතරින් රිංගා ගිය දඩෝරියා ඇසුවේ ඇත්තටම ඒ කතාව නොතේරුණ නිසයි.

“ අයියෝ සිම්පල්නේ. පළවෙනි එක අපට පෝස්ටර් ටික අලවගන්න අමතර වියදමක් යන එක නතර උණා. දෙක අපට මේකෙන් ඡනදෙට හොද සටන් පාඨයක් හම්බුණා.”

මෙහෙම කියපු පොර බෝඩ් ලෑල්ලක් අරගෙන ආයෙත් පිකටින් එකට සෙට් උණා.

පිකටින් එක නිසා ඉස්සරහ දොර වහල තිබුණත් කුණු කාණුවක් දිගේ බඩගාගෙන ගිහින් මහඇමති මන්දිරේ පස්ස පැත්තෙන් මතුවෙන්න දඩෝරියට පුලුවන් උණා. දඩෝරියා යනකොට මැතිතුමයි මහ ඇමතිතුමයි දෙන්නම මන්දිරේ ඉස්සරහ පඩිපෙළ උඩට වෙලා කල්පනා කරනවා.

“ආ දඩොරියා, ළමයෙක්වත් විශ්වවිද්‍යාල දාගන්නද?”

දඩෝරියා දැක්ක ගමන්ම ඇමතිතුමා සුපුරුදු පනාව දාන ගමන්ම ඇහුවා.

“යන්න තියෙනව නම් කොච්චර එකක්ද?? ඒත් ඉතින් ඕකට ගියොත් මැරෙන්න කලින් ඕකෙන් එලියට එන්න පුලුවන් වෙයිද සර්?”

විශ්වවිද්‍යාල බල්ලට ගිය බව දන්නවා උනත් ඌ නොදන්න ගානට ඇහුවා.

“ඒකත් ඇත්ත තමා. අවුරුදු 7ක් 8ක් යනකොට උඹලා මැරිලත් තියෙයි තමා” මහ ඇමතිතුමත් උගුරෙ රැල් බුරුල් ඇරියා.

“නෑ නෑ සර්... දැන් එහෙම වෙන්නෑ.. අපි ‍‍පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවහම අවුරුදු 4ක උපාධිය තුනෙන් උනත් කරල එලියට ආවහැකිනෙ”

“අපේ කැම්පස් ආයෙ පටන් ගන්න එකක් නැද්ද සර්?” දඩෝරියා ප්‍රශ්නේ කෙලින්ම මහ ඇමතිතුමාට දැම්මා. ප්‍රශ්නේ ඇහුවා විතරයි එතුමා බිම පෙරලි පෙරලි අඩන්න වුණා.

“ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ? මම අවුරුදු 5ක් යනකන් මෙන මල යකෙක්ටවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ. අයියෝ ඇයි මට මෙහෙම කරන්නේ....? මම කොහොමද මුන්ට පඩි වැඩි කරන්නේ....?”

මහ ඇමති තුමා පොඩි එකෙක් වගේ අඬනවා,මැතිතුමා මහ ඇමති තුමාව අල්ලගෙන වත්තන් කරගත්තා.
"කිසි දේකට බය වෙන්න එපා,ලබන සතිය වෙනකොට 36%කින් පඩි වැඩි කරල, අපි රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරනවා"මැතිතුමා අභීතව සිංහ නාද කලා.

“මොකක්?????????????????”

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කළත් නුදුරු අනාගතයේ නැවතත් එන අඛණ්ඩ වැඩ වර්ජනයක පෙරනිමිති දැක දඩෝරියා නිවෙස් බලා පිටත් විය.
                                                                                                            මතු සම්බන්ධයි.............
නුවන් සුරත් එදිරිසුරිය

Thursday, February 2, 2012

පෙන්ගුයින් හා වේවැල


“ක්රාස්....ක්රාස්....”
   
සිහින ලොවින් මා බිමට ඇද දමා, පශ්චාත් භාගය ධරණි තලයේ  සිප ගැන්වීමට තරම් ඒ නුහුරු හඬ ප්‍රමාණවත් විණ. නොබෝ දිනකින් එළඹෙන විභාගය හමුවේ අකමැත්තෙන් වුවද මුහුණ දීමට මට කටයුතු සම්පාදනය වී හමාරය. එවැනි මොහොතක සිහින ලොවේ කරක් ගසමින් අල්ලාපයේ යෙදීම තරම් නොවුවද, සිහින කොදව්වෙන් මා ඉවත් කරගෙන පැමිණි ගොඩ උඩ අයියා කෙරෙහි පහන් හැඟීමක් ඇතිවුණේ මට නොවේ.

ගොඩ උඩ මෑතකදී සිදුවූ නවීකරණය හමුවේ එයට තව දුරටත් ඒ නම නොගැලපෙන බව තීරණය කළේ තතු දන්නන් බව පීඨයේ ඇතැමෙකු කියනු මා අසා ඇත. එතැන් සිට එය ‘පෙන්ගුයින් කැෆේ’ නම් වන්නේය. ආපනශාලා වල දහසකුත් ප්‍රශ්නවලට අප මුහුණදී ඇති මෙවන් සමයක ඇතැම් විට ඔවුන් එම නම් තැබීම කළේ ඒවාට ඇති පිළිතුරක් වශයෙන් විය හැකිය. සමහර විට එම නම් තැබීම හරහා ගොඩ උඩ මෙතෙක් තේ හැන්දෙන් බෙදූ එළවලු මේස හැන්දෙන් බෙදෙනු ඇත. නිවුණු කෑම වෙනුවට නැවුම්, රස බොජුන් ෂෝකේස් එකට එනු ඇත. ඇතැම් විට ගොඩඋඩ ඉඩ පහසුකම් ද වැඩිවනු ඇත.ගොඩ උඩ තිබෙන සින්ක්වල වතුර බැස නොගියද එම ජල ප්‍රමාණය පෙන්ගුයින් කෙනෙකුට මඳක් මදිය. එබැවින් ආදර්ශ පෙන්ගුයින් ටිකක් හෝ ඇතැම් විට පෙන්ගුයින් පැටවුන් කිහිප දෙනෙකුගේ "පෙන්ගුයින් සුරතල්" බැලීමට අපට ඉදිරියේදී අවකාශ ලැබෙනු ඇත.

ඒ අපට ගොඩ උඩ නම්  තැබීමේ උත්සව සමයේදී සිතුණ හැටිය. ඒ සිතුවිලි කොතරම් දුරට යථාර්තයක්ව ඇත්දැයි සිතෙන විට ගොඩ උඩ කෙසේ වෙතත් මගේ ඇඟේ නම් පෙන්ගුයින්ලා නටන්න පටන් ගන්නේ නිරායාසයෙනි. මෙම ගොඩ උඩ ‘පෙන්ගුයින් කැෆේ’ ලෙස නොව "බුවල්ලා කැෆේ" ලෙස නම් කළත් මට රුදාවක්‌ නැත. මට රුදාව ඇත්තේ ඒ පෙන්ගුයින්ට නිසිලෙස සාත්තු නොකිරීම ගැනය. ඌට කුඩම්මාගේ සැළකිලිවත් නොමැති වීම ගැනය. කෙසේ වෙතත් ඒ නම් තැබුවන් මෙනෙහි කර ගොඩඋඩ අයියාට මෙතැන් සිට පෙන්ගුයින් අයියා යැයි පවසමි.

නුහුරු හඬින් තිගැස්සී ඉදිරිය බැලු මා ඉදිරිපස සිටින ඒ අසාමාන්‍ය පෞරුෂය අපේ ගොඩ උඩ අයියාගේය. සමාවන්න  පෙන්ගුයින් අයියාගේය. වැරදුනේ හිතේ තිබු තිගැස්සමටය. ඉද්ද ගැසුවාක් මෙන් මා ඉදිරියේ මට පිටුපා අයියා සිය අසාමාන්‍ය දේහ පෞරුෂය විදහාලමින් සිටගෙන සිටී. ඒ ආරෝහ පරිනාහ දේහය අඳුන් කුලක් මා දැක නැතිමුත් සිත්හි චිත්‍රනයට සමත්ය. පුන්සඳ වන් හිස් මුදුනේ ඉතිරිව ඇති කෙස්රොදවල් කෝපයෙන් නලියන ගමන්ය. හුරු පුරුදු නිල ඇඳුම වුවද කලබලයට අවුල්ව ගොසිනි. අඳුන් කුළෙන් දුම් පිටවෙන්නාක් මෙන් අයියාද තවමත් හතිලමින්ය.

රූප විද්‍යාව කෙළ පැමිණ නැති මුත් මේ එන්නේ  හොඳකට නොවන බව ඉවෙන් මෙන් මට දැනිණ. අයියා සිටින ඉසව්ව ළඟ පාතක සිසුවකු පවා නොමැත. මේස දෙක තුනක් එහායින් සිටින අපත්, තවත් පිරිසකුත් අයියා දෙස බලා ගත් වනමය. ගෙදරින් ආ දා පටන් කටක් පුරා උදේ හවස "පුතේ" කියන්නේ  අපේ පෙන්ගුයින් අයියා ය. ඇත්තම කියනවා නම් මම එම වදනට පෙම් කරමි. නිවුන බත් පිඟාන ‘පුතේ’ කියා දත් තිස් දෙකම පෙන්වා දික් කරද්දී කන්නට පෙරම බාගයක් බඩ පිරිලාය. පෙන්ගුයින් අක්කාගේ සුකුමාල හිනාව හා කෝල වදන් එක්වූ විට බත් වලට බඩේ ඇත්තේ සුළු ඉඩක් පමණි. හිත අයියා ළගට දිව ගොස් කිමදැයි ඇසීමට  බල කළද මම තවත් මොහොතක් ඉඳීමට ඉටා ගතිමි. ‘ක්‌රාස්...’ හඬ නැවතත් රැව්පිළි දුන්නේ ඔය අතරය. වඩා විමසිලිමත්ව බැලූ විට, අයියා සුරතින් වේවැලක් දරන බව දක්නට ලැබිණ.

මා දන්නා පරිදි අයියා බස්තමක් පාවිච්චි කල යුතු වයසක නම් තවම නැත. අනේ මේ අහිංසකයාට කුමක් නම් සිදු වී ද? මගේ මෙමරිය auto refresh විය. මීට මොහොතකට පෙර මම අයියා ගහක් ගලක් මෙන් ඇවිදිනු දිටිමි. විලාසිතාවක් විලසින් අයියා වේවැලක් භාවිතා කරනු ඇතැයි සිතීමද උගහටය. සිද්ධි සමුදායේ සම්භාවිතාව එකින් එක පිරික්සන අතරතුර ඊට ඉඩ නොතබාම අයියා දනි පනි ගා මේස අතරින් ඉදිරියට දිව යන්නට විය. ඒ පංචස්කන්ධයේ බරට දක්ෂිණ අධිවේගයේ පාලමක දිව ගියේ නම් මහින්ද මාමාගේ ජන්ම දිනයේදී මාවත විවෘත කිරීම සිහිනයක්ම වනු ඇත. රා කළ හතක් ගිජිඳකුට පෙවිය හැකි නම් ඌ කොතරම් භිරාන්ත දසුනක් මවනු ඇත්දැයි සිතීම මට දැන් උගහට නොවේ. පෙන්ගුයින් කැෆේහි සියලු දෙනා මේ නෙත් දල්වා සිටින්නේ එළඹෙන මොහොතේ කුමකින් කුමක් සිදුවේදැයි සිතිය නොහැකිව ය. වේගයෙන් පෙරළුණු අයියා තම අයෝමය සුරත් බාහුව  ඔසවා, පරිසරයම ගිගුම් දෙමින් නැවතත් තම වේවැල් රාජයාගෙන් කුමකට දෝ තඩිබානු දිටිමි. ද්වන්ධ සටනේ අනෙක් තරඟකරු පිටියට අවතීර්ණව ඇති බව දුටුවේ එවරය. කුඩා කාලයේ අසා තිබුණු ගලිවර් හා ලිලිපුට්ටන්ගේ කතාවේ ලිලිපුට්ටන් ගලිවර් දුටු සැණින් කෙතරම් විස්මයාර්තයට, උභතෝකෝටිකයකට, භිරාන්තයකට ලක් වුණාදැයි සිතීම එවෙලේ අනෙකාගේ වත කමල දිටී නම් මොනවට පැහැදිලි වන්නට තිබිණ.

අයියා මෙතෙක් වෙලා දිව ගොස් ඇත්තේ කුඩා බැලූ පැටියෙකු පිටුපස්සේ බව පසක් වුයේ දැන්ය. වේවැලෙන් විටක මේසයටද, විටක බිමටද තඩිබාමින් අයියා  බලු කුක්කාව පෙන්ගුයින් කැෆේ සංකීර්ණයෙන් පිටමං කිරීමට තැත් කරයි. භිරාන්තවූ බලු කුක්කා කිසිත් සිතා ගත් නොහී, පස්සෙන් පස්සට දිව යන්නේ පණ ගැහෙමිණි. පස්සෙන් පස්සට ගිය කුක්කා අවසානයේ මුල්ලකට හිරවුණේ අසරණත්වයේ පතුලටම කිමිදීමෙන් අනතුරුවය. ඉනික්බිති එළඹුණ නිසොල්මනේ ක්ෂණය ඌ තම අවසන් කැමැත්ත මෙනෙහි කිරීමට වැය කළා විය හැකිය. එනමුදු පෙන්ගුයින් අයියා නොවේ ඌට එකක්වත් තැලුවේ. ඒ වෙනුවට ඌ අසළ පොළවට වැරෙන් පාරක් දෙකක් වේවැල ඔසවා පහර දෙද්දී අභය දානයලත් කුක්කා මර හඬළමින් කැෆේ පඩි පෙළ තරණය කර නොපෙනී ගියේය.

මීට ඉහතදී පෙන්ගුයින් කැෆේහි පිඟන්වල පූසකු හා බලු කුක්කකු ඉඳුල් රස බලන පින්තුරයක් සයිබර් අවකාශයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම පින්තුරය අන්තර්ජාලයේ පළවීම මා තුල යම් කළකිරීමක් ඇති කළද, මේ නිසාවත් අපේ PHI මහතාගේ ඇස් ඇරෙනු ඇතැයි මම සිතීමි. කණ කැස්බෑවා අර මොකෙන්ද හඳ දුටුවත් අපේ PHI නොවේ මෙම ගැටළු දුටුවේ. ලංකාවේ උසස්ම ප්‍රතිඵල ලැබ මෙහි පැමිණි අපට රන් තලියක හොවා රජ බොජුන් පිලිගැන්විය යුතු යැයි මම යෝජනා නොකරමි. එනමුත් බල්ලන් පූසන් ළෙවන පිඟන්වල හොවා කෑම පිලිගැන්වීම කෙතරම් දුරට තරම් දැයි සිතිය යුතුය. මා මෙවැන්නක් ලිවීමට අදහස් කළේ මටත් සිතා ගත නොහෙන ප්‍රශ්නයක විසඳුම් කොහිදැයි සෙවීමට ය. "ඇත්තටම වැරද්ද කොතනද?" ඒ මා මෙතැන් සිට ඔබට යොමු කරන පැනයයි.

පැනයට පිළිතුරු සෙවූ මාගේ පළමු චූදිතයා එම බලු කුක්කාය. බල්ලකු වුවද උගේ බලු මොළයට ඌ කරන නොපනත්කම් පිලිබඳ වැටහීමක් තිබිය යුතුය. ඒ අතින් බලන කළ උගේ මේ හැසිරීම ජුගුප්සාජනකය. තමන්ගේ  වරිගයේ උන් අද රටේ ඉහළම තැන් වල කටයුතු කරන බව හේ දැනගත යුතුය. ජලවන්නාවේ උන්ගේ උන් මුළු රටටම බල පවත්වන්නට නීති කෙටුම්පත් සකසද්දි ඌට මීට වඩා නීතිගරුකව හැසිරීමේ වගකීමක් ඇත. ඒත් උගේ පැත්තෙන් බැලූ විට ජලවන්නාවේ උගේ උන් ද කෙතරම් නීති රීති තැනුවත් උනුන්ම ඒවා රිසි රිසි සේ කඩා බිඳ දමත්. එසේ නම් ඒ බලු ගතිය වීමට බැරි නැත.
වැරැද්ද අපේ සහෝදර ශිෂ්‍යන්ගේවත් ද? රටේ මිනිස්සුන්ට පාන්වත් කියා ගන්නට බැරි කල, සරසවි ශිෂ්‍යයන්ට  අතිගරු ජනපති ආශීර්වාදයෙන්, උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ මෙහෙයවීමෙන්, ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ උපදේශකත්වයෙන්, තාරුණ්‍යයට හොටක් සංවිධානයේ පුර්ණ අනුග්‍රහයෙන්, පෙන්ගුයින් අයියා විසින් රුපියල් 25 ට බත් පත ලබාදෙද්දී බල්ලන්ට බළලුන්ට කෑමට පිඟන්වල කෑම ඉතිරී කිරීම කොතෙක්නම් යුක්තිගරුකද? ඒ අතින් බලද්දී පිඟානේ බත් ඇටයක් නෑරම සූරා කා, ඇඟිල්ලද ලෙව කා, අවසානයේ පිඟාන ද ළෙව්වානම්, බල්ලන් බළලුන් අර පිඟන් සොයා පැමිණෙනු නොඇත. මෙතරම් ප්‍රණීත ආහාර ඉවතලන්නන් දේශ ද්‍රෝහීන් ලෙස ඇතැම් විට "විමසුමෙන් " හෙට දිනයේ හංවඩු ගැසුවොත් පුදුම වීමට දෙයක් නම් නැත. අබේසුන්දරලා කුමක් කියා හංවඩු ගැසුවත් සාගතයකටවත් කැම්පස් බතක් කෑ එවුන් "විමසුම" නැවත විමසන බව මම දනිමි. 

ආපනශාලා මෙබඳු තැනකට පත්වීමට PHI මහතා ප්‍රමුඛ නිලධාරීන් වගකිව යුතු යැයි මට සිතිණ.එහෙත් අනික් පසින් බලද්දී උන්ද රාජ්‍ය සේවකයෝය. ලොකු පුටුවල ඉන්නා නිලධාරීන් ප්‍රතිපත්තියක් ලෙස නොමනාව හැසිරෙද්දී මොවුන්ටද වැරැද්දක් කීමට උගහටය. ඔවුන්ගේ පැත්තෙන් බැලු විට ඔවුන් කාර්යාල පටිපාටිය අකුරටම පිළිපදී. කණිෂ්ඨ නිලධාරීන් ජෙෂ්ඨයන්ට, ඔවුන්ගේ ක්‍රියාවන්ට නිරන්තරව අවනත විය යුතුය; අනුකූල විය යුතුය. තවද දන්නා තරමින් PHI මහතාගේ පුතාවත් දුවවත් මොරටුවෙන් අකුරු නොකරති.ඒ නිසා හේ එතරම්ම කලබල විය යුතුද නැත. වැදු මව පියා තම අලුත උපන් දරුවා කාසි කොළ වලට විකුණන පසුබිමක අපේ PHI මහතා අනෙකුන්ගේ දරුවන්ට බල්ලන් බළලුන් ලෙවන පිඟානකින් බත් කෑමට සිදුවීම සැලකිල්ලට ගැනීමද නුවුවමනාය.

වැරද්ද පීඨාධිපති, අංශාධිපති ප්‍රමුඛ කරගත් පරිපාලනයේ දැයි සිතුණේ ඊළඟටය. ඒත් මඳක් විපරම් කරද්දී මේ බලු ගැටළුව ගැන  ඔවුන් ශිෂ්‍ය නියෝජිතයන් සමග පවත්වන රැස්වීම්වලදී පුරුද්දක් ලෙස නිරතුරුවම සාකච්ඡාවට බඳුන් කරන බව දැනගන්නට ලැබුණ. කොතෙකුත් ශිෂ්‍ය ගැටළු පවතිද්දී මෙවන් ප්‍රශ්නයක් නිතිපතා පුරුද්දක් ලෙස විමසන පරිපාලනයක් සිටීම කොතරම් නම් භාග්‍යවන්තද? එසේනම් මේ වනවිට මාස ගණනක් මුළුල්ලේ, පැය විසි තිස් ගණනක් මෙම ගැටළුව සාකච්ඡාවට බඳුන්ව ඇත. ඒ අතින් බලද්දී විසඳුම් ලබාදීම කෙසේ වෙතත් එකම කාරණයක් හාරා අවුස්සමින්, නැවත නැවතත් විමසමින්, උඩ දමමින්, වටේ යමින් එම ගැටළුව අවබෝධ කර ගැනීමට ඔවුන් දරනා වෑයම අතීශය ප්‍රශංසනීයය. අනෙක් අතින් බල්ලන් පූසන් සමග එකම පිඟානක බත් කෑම නිසා විශ්ව විද්‍යාලයේ ශ්‍රේණිගතකිරීම් පහළ යන්නේද නැත. උපාධි සහතිකයේ වටිනාකම පහළ යන්නේද නැත. ඇතැම් විට ඔවුන් මේ හරහා ලබා දෙන සහතිකයේ ප්‍රමිතිය ඉහළ දැමීමට තැත් කරනවා විය හැක.ඒ හරහා ලබන වසරේ සිට අපේ සහෝදර ශිෂ්‍යයන්ට eco - friendly engineering ඩිග්රියක් වුවද ලැබීමට බැරි නැත.

මෙවන් දෙයක වගකීම පෙන්ගුයින් අයියා ඇතුළු පිරිස ගත යුතු දැයි බැලීමට මට සිතිණි. අපට මෙන්ම  අයියාට ඇත්තේ අත් දෙකකි. එසේනම් කවුන්ටරයේ කෑම විකුණන අයියාට එකවර කැන්ටිමේ මේස අස්කිරීම කළ නොහැක. තව තවත් සේවකයින් බඳවා ගතහොත් අත ඉතිරිවන සොච්චම් ලාභයටද හෙට දිනයේ අනිවාර්ය සේවා ලෙස හෙනහුරා කඩා පනිනු ඇත. ලාභ ඉපයීම පිණිස මහජන නියෝජිතයින් කුඩු විකුණන, ගණිකා ව්‍යාපාරය කරවන සිරි ලංකාවේ එම නියෝජිතයින්ව අපි නැවත නැවත කතිරය ගසා උස් පුටුවලට නිතරගයෙන්ම යවමු. කලින් දා වහලට ඇස්බැස්ටෝස්  ෂීට් දෙකක් දුන් විට, පාරට තාර කට්ටයක් දැමු විට අපි උන්ගේ සියලු අලුගුත්තේරු වැඩ අමතක කර ඉහළම මනාපයක් දී ආසනයේ ඉහලට ඔසවා තැබීමට පසු නොතවෙමු. එලෙස ඔවුන් විසින් ලාභ සෙවීමට කරන ඒ අවැඩ අප මනාපයෙන් අනුමත කරන සන්දර්භයක පෙන්ගුයින් අයියගේ ගුණ උදේ හවා  පචවාහිනියෙන් වැයිය හැකිය. ලාභ තකා ඔවුන් කරන අලුගුත්තේරුකම් සිහිවද්දි අයියා වරදක් කර ඇත්දැයි සිතීම පවා තරම් නොවේ. එකිනෙක ඉදිවන පුද්ගලික උපාධි කඩ හමුවේ තව කොතෙක් කල් මොරටුව තිබේදැයි පෙන්ගුයින් අයියාට සාධාරණ පැනයක් තිබෙනු නොඅනුමානය. බදු කාල සීමාවේ ඉම ඈතින් පෙනෙන කල්වත් ඉදීමට පෙරුම් පුරන ඒ අහිංසකයා මෙහිලා චෝදනාවට බඳුන් කිරීම අතිශය අසාධාරණය.

එකින් එකා වෙන වෙනම මගෙ ජූරි සභාවට ගෙන්නුවද නිසි වගඋත්තරකරුවකු මට සොයා ගත නොහීවීම මගෙ නොහැකියාවද, නොදැනුවත්කමද, එසේත් නැත්තම් වෙන මොකක්දැයි මම නොදනිමි. මට දැනෙනා සැටියට අප සැවොම වූ කලී මෙම දූෂිත සමාජ ක්‍රමයෙන්ම ජනිතවූ, එය මතම යැපෙන, එයින්ම පුහු ඊනියා වින්දනයක් ලබා එතකුදු නොනැවතී එයම ඉදිරියට දායාද කරන දූෂිතයෝය. අප කොතෙක් පිළිගැනීමට අකමැති වුවද ඔබත්,මමත් මෙම ක්‍රමයේ දූෂිතයෝය. අප මෙහිලා පමණක් නොව අන් සෑම තැනකදීම බෝලය අනෙකාට පාස් කිරීමට‍ දරන තැත නිරර්ථක වන්නේ එබැවිනි. එක් එක් අවස්ථාව තෘප්ත කිරීමෙහිලා දමන පැලැස්තරය නියම විසඳුමයයි ඒත්තු ගැන්වීමට තරම් මෙම ක්‍රමය සූක්ෂ්මය. වෙනසක් නොවී එදා සිට හෙට දක්වාම අපි අපටම ඇඟිල්ල දිගු කරමින් සිටිමු. අපම මවූ, අපම වැවූ, අපම දායාද කරන්නාවූ ගැටළුවට අපම ඇඟිල්ල දික්කිරීමට තරම් නිරලජ්ජිත එඩිතරකමක් මේ ක්‍රමයෙන් අපට උරුමව හමාරය. එබැවින් අපට අවශ්‍ය ක්ෂණයේදී පමණක් අපම ක්‍රමයෙන් වියුක්තව එකී ක්‍රමයම අනුකම්පා විරහිතව විවේචනය අපට දැන් හොඳ හැටි හුරු පුරුදුය.



එබැවින් ආදර සබඳ හැමදාමත්ම 
          ඔබ නිදොස්ය ...
                   ඔවුන් සදොස්ය......

දෙවන වසර සිසුවෙක්

Wednesday, July 27, 2011

බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක් බැඳන්............ කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ ඉඳන්..............


සදෙව් ලොවට අධිපති සක් දෙවිඳු            මෙමා
මගෙ පොඩි එකා යැවුවෙත් මොරටුවට       තමා
ලැබුණා දිනක් ලිපියක් නෙතු කදුළු         තෙමා
ඒමට නොහැකි බව ලද රැකියාව                දමා

.සී කාමරේ හරි හරියටලු                        ඉඩ
දේවිය කියනවා රස කර දමා                    හැඩ
සතුටුයි පුතා ගිය එක ගැන ඔහොම          ගොඩ
හිතුවා බලන්නට පුතු මනුලොවට               වැඩ

පුතුගේ යහළුවන් හට මෙය දෙන්න           කියා
කීවා බිසව ලොකු පොදියක් අතක             තියා
ලිපියේ එවූ විස්තරයට අනුව                   සොයා
ඔන්න ඉතින් මම නියමිත තැනට                ගියා

බාගෙට හදපු උපාධි කඩයකි                       ඒක
පැත්තක් හදා ඇත පැත්තක වැඩ               නේක
දැක්කම පිස්සු හැදෙනව නොවැ බොල       මේක
.සී කාමරය පුතුගේ වෙද                      කෝක

අදහා ගත නොහී දිස් වූ දසුන                       එම
යළිත් වරක් ඇස් පිහිදා බැලිමි                      මම
මැටීරියල් මිතුරෙක් පුතු වයසෙ                    සම
වළවල් කපනවා අඩිතාලමට                        බිම

මිතුරෙක් සිවිල් වැරහැලි රෙදි කඩක්        ඇඳන්
මෙක් කොල්ලෙක් එක්ක උස්සති යකඩ   කඳන්
බිල්ඩිම අසල ගහ යට පොඩි පැලක්         බැඳන්
කෙමිකල් කෙල්ල තේ හදනව ඇතුළේ     ඉඳන්

මේවද කරන්නේ යාළුවො                     පුතාගේ
කෙල කරගෙනද මන්දා මුන්                 විභාගේ
අවසන ට්රිකල් නොම වී ඇත                අභාගේ
පුතු බේරිලා පෙර පිනකට                     තමාගේ

ලෙක්චස් කට් කරන්නැති මුන් දිගට           එක
උන්ගෙම විහින් ලොස් වෙන්නැති නේද     ඇක
හේතුව විමසමින් මේ අය විදින                   දුක
බිල්ඩිම තුළට පා නැගුවෙමි යමෙකු            දැක

ඉස්සර ඉදන් ඇක දම දම දුක්                   වින්ද
සී.එස් කොල්ලො බිම අතු ගානව             මන්ද
මගෙ පුතු වරක් හොර රහසේ පෙම්          බැන්ද
ට්රොනික් කෙල්ල පිහිදයි දූවිලි                කන්ද
  
ලක්දිව මෙලෙස උපාධි කඩ                අරුණාම
මුදලට විකිණේවි කිවුවා                     හැමදේම
නිදහස් ඉගෙනුමේ මහ පාවා                        දීම
පඬුපුල් අසුන උණුවනු මතකයි                  තාම
  
ප්රයිවට් යුනිවර්සිටි ඇරඹෙන බව              කීවා
අපෙ කැම්පස් වැහෙනා බව මොර             ගෑවා
බලන් යද්දි ඇත්තද මන්දා                       මේවා
ඇති මෙහෙමවත් මගේ පුතා ගොඩ            ආවා
  
මෙච්චර කලක් දහ දුක් වින්දට               පස්සේ
ඇයි අපෙ කොල්ලො මේ තරමට පසු     බැස්සේ
ඔලුවත් කැරකෙනව මේ ජරමර              අස්සේ
යමි ඉදිරියට .සී කාමර                        ඔස්සේ

යන විට ඉදිරියට පුතු දැක ගැනුම              පතා
දුටු දර්ශනය මම කොහොමද ගන්නෙ        සිතා
බිම ඇණ තියන් නොකරම අන් කිසිදු        කතා
.සී එකක මළකඩ හූරනව                      පුතා