Monday, July 18, 2011

බුද්ධිමතුන් වළපල්ලට යවන සරසවි අර්බුදය...

2010 ජුනි මස 29 වැනිදා

මගේ මතකයේ රැඳුණු දවසකි.එදා නවක සිසුන් ලෙස අප විශ්වවිද්‍යාල බිමට පා තැබුවේ බලාපොරොත්තු රැසක් සමඟිනි. එදා සිට වසරක්ම ගෙවී ගොස් අවසන්ය.එහෙත් අප සිටි තැනමය.වසරකට අධ්‍යන වාර දෙකක් නියමිතව තිබුණත් තවමත් අවසන් වූයේ එක් අධ්‍යන වාරයක් පමණි. දෙවැන්න ආරම්භ වූයේ වත් නැත. රටේ බුද්ධිමත් තරුණ පරපුර නොසලකා හැරීමේ පාලකයන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ එසේ ය.සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය ආණ්ඩුවේ න්‍යාය පත්‍රවලට තවමත් ඇතුළත්ව නැත.ඔවුන් මේ සම්බන්ධයෙන් නෑසුණු කන් ඇතිව සිටිති.

විශ්වවිද්‍යාල යනු රටක බුද්ධිය ඒකරාශී වන අධ්‍යාපන මධ්‍යස්ථානයකි.විශ්වවිද්‍යාල ආචාර්යවරු යනු එහි දැනුමේ කේන්ද්‍රයයි.රටේ ඉහළම බුද්ධිමතුන් නිපදවෙන්නේ ඔවුන් අතිනි.රටේ ඉහළම පිළිගැනීම හිමි විය යුත්තේ ඔවුනටය.විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉහළ වැටුප් ඉල්ලන්නේ මුදලට ඇති කෑදරකම නිසා නොවේ. ඔවුන්ට එය හිමි විය යුතු බැවිනි.පාලකයින්ට කඩේ යාම එකම සුදුසුකම වූ ඇතැම් සංස්ථා සභාපතිවරුන් ලක්ෂ ගණන් වැටුප් ලබා ගනිද්දී අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතයම කැප කළ මොවුන්ට ලැබෙන්නේ හිඟන වැටුපකි. ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවේ.

2008 වර්ෂයේ දී වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම අනුමත කළ වැටුප් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම ඔවුනගේ ඉල්ලීමයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් තලයට විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් සමපාත කිරීම මෙහි අරමුණයි.සාමාන්‍ය උපාධිධාරියකු මහ බැංකුවේ දී බැංකු සහකරුවෙකු ලෙස රු.58,000 ක වැටුපක් ලබද්දී පළමු පන්තියේ සාමාර්ථ සහිත,වසර ගණනාවක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨම මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ රු 57,755 ක වැටුපකි.

ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කළ විට ද ශ්‍රී ලංකාවේ පවතින්නේ පහළ වැටුප් තලයකි. විශේෂයෙන්ම දකුණු ආසියාවේ ඉතා පහළ ආදායම් සහිත රටවල් පවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුප් ගෙවනු ලබයි.රටේ ඒක පුද්ගල ආදායම හා සසඳන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුප් ගෙවීමට එම රටවල් කටයුතු කරයි.උදාහරණයක් ලෙස ඉන්දියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ වැටුප එරට ඒක පුද්ගල ආදායම මෙන් තුන්ගුණයකි.එහෙත් එය ශ්‍රී ලංකාවේදී තුනෙන් එකකට සීමා වී ඇත. ඉන්දියාවේ පවතින වැටුප් අනුපාතය පවත්වා ගන්නේ නම් මෙරට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුගේ වැටුප ඇ.ඩො.6000ක් පමණ විය යුතුය.එය ලංකා මුදලින් ලක්ෂ 7කට ආසන්න වේ.එහෙත් විශ්ව විද්‍යාල ආචාර්යවරු එපමණ වැටුප් ඉල්ලන්නේ නැත.ඔවුන් ඉල්ලන්නේ 2008 රාජ්‍ය සේවක කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණි.

ඇමතිවරයා කියන පරිදි විශ්වවිද්‍යාල කිසි වැඩක් නැති සුදු අලි නොවේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඩු ප්‍රමිතිය පරීක්ෂා කර එය නිවැරදි කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවයි. ලංකාවේ අදටත් බොහෝ පර්යේෂණ කටයුතු සිදු කෙරෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළය.එසේ නොමැතිව නිකම් හිඳිමින් පඩි ගන්නා ඇතැම් සංස්ථා සභාපතිවරුන්ගේ වායුසමනය කළ කාමර තුළ හෝ ආණ්ඩුවේ ව්‍යාපෘති වලින් කොමිස් ගසා පෝසත් වන ඇතැම් කොන්ත්‍රාත්කාරයන්ගේ නිවෙස් තුළ නොවේ.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සාධාරණ යැයි අප කියන්නේ එබැවිනි.

2008 මාර්තු මාසයේ දී මුලින්ම මෙම වැටුප් ප්‍රශ්නය පැන නැඟුණි.ඉල්ලීම් 14ක් මුල් කර ගනිමින් සිදු වූ තීරණාත්මක සාකච්ඡාවකින් පසු මාස තුනක් ඇතුළත වැටුප් ප්‍රශ්න විසඳීමට රජය එකඟ විය. 2008 අගෝස්තු මාසයේ දී නැවතත් ඉල්ලීම් ඉටු නොවූ නිසා ගැටළු ඇති විය.පොරොන්දු රාශියක් ලබා දීමෙන් නැවතත් අරගලය යටපත් කිරීමට තකතීරු පාලකයෝ සමත් වූහ.වසර දෙකක්ම විසඳීමක් නැති වැටුප් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට 2010 වසරේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කළේය.එවරද ඔවුනට බොරු පොරොන්දු වලින් සෑහීමකට පත් වීමට සිදු විය. 2010 වර්ෂයේ අයවැයෙන් සියළු ගැටළු විසඳන බව රජයේ පොරොන්දුව විය.අයවැය ආවේය. පොරොන්දු ඉටු නොවිණි. මේ වසරේ මැයි මස දී ස්වේඡ්චා තනතුරු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ආචාර්ය සංගමය එළැඹියේ අවසන් විසඳුමක් බලාපොරොත්තුවෙනි. එහෙත් කුහක ඇමතිවරයා ජනතාව මුළා කරමින් කියා සිටියේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අසාධාරණ පඩි වැඩි වීමක් ඉල්ලන බවය. පඩි වැඩි කිරීමට රජයට මුදල් නොමැති බව ඔවුන්ගේ තර්කය විය. ගත වූයේ සති දෙකකි. සංස්ථා, මණ්ඩල ප්‍රධානීන්ගේ වැටුප් 50% කින් ඉහළ දැමුණි. ඒ සඳහා මුදල්, ඇමතිවරුන් ගෙදරින් ගෙනෙන්නට ඇතැයි අපි නොසිතමු.මේ අරගලය ආරම්භ වූ දා පටන් ඇමතිවරයා හා ආණ්ඩුව සිදු කළේ ආචාර්ය සංගමයට අවලාද නැඟීමය.මේ සඳහා විසඳුමක් ලබා දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට ඔවුන්ට කිසිම අදහසක් නැත.මෙය අවසන් කිරීමට කාලය එළැඹ ඇත.මෙම අර්බුදය නිසා පීඩා විඳින්නේ අපේ රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන රටේ බුද්ධිමත් තරුණ පරම්පරාවයි.ශ්‍රී ලංකාව ලොව දියුණු රටක් බවට පත් කිරීමට නම් බුද්ධිමතුන්ට වැදගත් තැනක් හිමි විය යුතුමය. සිංගප්පූරුව, මැලේසියාව, චීනය වැනි රටවල් අද ලොව දියුණු රටවල් හා කරට කර තරඟ වදින්නේ ඔවුන් බුද්ධිමතුන් හෑල්ලු නොකල නිසා ය. වැඩිකල් නොගොස් මැටි සහිත මොළ ඇති ඇමතිවරුන්ට මොළේ පෑදී රට දිනවන රටේ බුද්ධිමත් පරපුරට කරන කෙණෙහිලිකම් නවතා සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය විසඳනු ඇතියි අපි අපේක්ෂා කරමු.



2 comments:

  1. Ape rate thakathhru deshapalakayanta owa terenne ne.gon hetta.

    ReplyDelete
  2. [kulta ] මෙහෙම කියනවා :
    බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව

    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි
    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි
    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්
    කිවුව වෙලාව- 2011

    ReplyDelete