Friday, August 31, 2012

දැන් නම් ඇති වෙලා මේ කරුමය විදලා .......................... දෙනකන් විසදුමක් ඉක්මනටම හිතලා.......................



සදෙව් ලොවට අධිපති සක් දෙවිදු මෙමා
දැන්නම් චන්දෙකුත් ළග ළග එනව තමා
දෙවිවරු හට මෙකල ඇති ගැටලුවද කිමා
හිතුනා බලන්නට පොඩ්ඩක් දෙකන් යොමා

පළවා හළෙමු වින කළ අසුරයො ගොන්න
නිදහස් ලොවක දැන් හැක රිසි සේ ඉන්න
දෙව් ලොව ඉන්නේ දෙවිවරු කළගුණ දන්න
එබැවින් බයක් නැත දෙව් හමුවට යන්න

පෙර වෙණ නදින් හැඩ වන විට වා තලය
අපෙ සුර ළදුන් නැටුවේ තැන් තැන් වලය
දැන් උන් නටන්නේ දී උපරිම ඵලය
"පරසතු පොකුණ සක් දෙව් රගහල" තුළය

වසවත් ලොවේ සිට තුසිතෙට යන්න පැයයි
අනෝතප්ත විල උඩ පාලම් හයයි
කඩුපුල් කුළුණෙ උස දැක්කත් හිතට බයයි
දෙව්ලොව දෙවිවරුන් මට ඇත්තෙන්ම ණයයි

පඩුපුල් අසුන වෙත මහ අබිමනින් ගියත්
කොච්චර මුත් දැනේ කොර වෙයි කියන බියත්
එබැවින් දෙපස හිදුවා දෙව් මඩුව වියත්
"සක් රජ දෙව් හමුව" නිසි ලෙස කළෙමි දියත්

මුහුණින් සිනා සී සිටියත් රජ අස්නේ
දෙවිවරු දකින කොට වැඩි වෙනවා රස්නේ
නැති වී යන්න පෙර මුහුණේ වූ දිස්නේ  
දෙව් ගැටයෙක් නැගිට ඇහුවා මුල් ප්රස්නේ

ගුරු වර්ජනේ තාමත් තිබු තැනම ඇත
ගෙදරම ඉදන් හොදටම ගැලවිලා දත
කැම්පස් පටන් ගන්නා පාටකුත් නැත
දෙනු මැන විසදුමක් සලසන අටින් සෙත

මේ දින වල දිගට සාකච්ඡා යනවා
ඉක්මන් විසදුමක් අපි ළගදිම දෙනවා
මගෙ දෙව් මඩුල්ලට ගැන හරි මොනවා
කීමට තිබේ නම් මම අවසර දෙනවා

පළමුව නැගිණි ගණ දෙවිදුගෙ මධුර හඩ
කරනවනම් කොච්චර තියෙනවද වැඩ
ලැබ දුන් නිවාඩුව අපතේ නොහැර ඉඩ
අතපසු වෙච්ච ඇක ටික දාගන්න ගොඩ

නෑ තමා කොහොමත් ගෙදරම ඉද්දී
සරස්වතිය කීවා පැද්දී පැද්දී
ඕකත් අවුලක්ද රියැලිටි ෂෝ එද්දී
කහවනු කෝටියක් මුල් දිනුමට දෙද්දී

කද සුරිදුගෙනි නැගුනේ ඉන් පසුව හඩ
ඕකත් පැනයක්ද ඔබ දැම්මාට උඩ
ගෙදරම කකා හිටියොත් නැති වෙනව හැඩ
ජිම් එකකට ගිහින් අඩු කරගන්න බඩ

ලක්ෂ්මිය නැගී සිටියා නෙත් අවට යොමා
ඉපැයීමට මුදල් දැන ගත යුතුයි තමා
කැම්පස් නැතත් දූලා ඇයි වෙන්නෙ පමා
ඇහි බැම ගැලෙවුවත් දැන් නම් සල්ලි තමා

මුන් ටික එක දිගට ගොන් විසදුම් දෙනවා
තව මෙය දිගට ගියොතින් නම් කෙල වෙනවා
හිතමින් සිටියදී මම කරමිද මොනවා
දෙව් ගැටයාම මේ විදිහට පවසනවා

දැන් නම් ඇති වෙලා මේ කරුමය විදලා
දෙනකන් විසදුමක් ඉක්මනටම හිතලා
ලෙක්චස් නැති නිසා අපි ගෙදරම ඉදලා
ගානක් හොයගන්නම් ඇඩ් ක්ලික් කරලා

සදෙව් ලොවට අධිපති(චමිඳු මිහිරංග)

Tuesday, August 28, 2012

බුද්ධිමය සංවාද



දැන් හැමදේම උඩු යටිකුරු වෙලා. හීන පේන්නෙත් කණපිටට. නිරායාසයෙන්ම මගේ අහිංසක හිත ඇදිලා ගියේ ඊයේ දවාලෙ මං දැක්ක පිස්සු හැදිලා සඳ බොඳවෙන ජාතියේ චාම් හීනෙකට.
මී හරක් ජෝඩුවක්‌ සුපර් මාකට් එකක ඉඳගෙන කතා කරනවා.

“මචෝ, මේ දවස්වල රසම රස කෑම ජාතිය මොකක්ද එක මී හරකෙක් අහපි.”

“ම්හ්, අධ්‍යාපනේ තමා රසම, එකෙත් ජාතිම කොටස තම රිසල්ට් කියන්නේ, මං ආසම ඒ හරියට.”

“මාත් ඕක අහල තියනවා. ඇත්තම කියපං බං පුන්නක්කුවලටත්  වඩා පට්ටද?” පලවෙනි මී හරකා අනිත් එකාගෙන් අපහු අහනවා.

“අනේ මචෝ, මට හරි ආසයි මැරෙන්න කලින් ඇමතියෙක් වෙන්න”

“ඉතින් ආණ්ඩුවෙන් හරි විපක්සෙන් හරි නාම යෝජනා දුන්නොත් හරිනේ”

“එත් අනේ ජනී ජනයා අපට ඡන්දෙ දෙයිද?”

මේ ප්‍රශ්නෙට පළවෙනි මී හරකා තප්පුලලා හිනාවුණා.

“මොහ්, මොහ්, මොහ්”

“අනේ මැට්ටෝ කතා සාප්පුවේ ඉන්නෙත් අපේම උන්නේ. අපි දෙන්නත් එතෙන්ට වැඩි නෑ. ජනී ජනයා අකමැති උනොත් අපි අර ලිස්ට් එකෙන්වත් යමුකො”

“නායක වෘෂභ රාජ කැමති වෙයිද?”

“එයාට ඕවා ගාණක් නෑ බං, අධ්‍යපනෙත් ඇඳගෙන නානවනෙ” එක මී හරකෙක් කිව්වා.

“අපරාදේ කන්න තියන එක” අනිත් හරකා බොහොම දුකින් කිව්වා.

“මේ දවස්වල රස්නෙ හින්ද වෙන්න ඇති”

ඔන්න එතකොටම මට උඩ ගිහින් ඇහැරුණා. වෙලාව අමුම අමු දවල් දොළහයි. මං නිව්ස් දැම්මා. ස්ට්‍රයික් එක ගැන වගක්වත් නෑ. Z score ගැන හාවක්හුවක් නෑ. ප්‍රවෘත්ති මුල ඉඳලා අගටම මල්මාලා දාලා හිනාවෙන දර්ශන, මුල්ගල් තැබීම්, රගර් මැච්.....

“ඇත්තටම ඇයි දන්නෑ නේද පච පෙට්ටියේ ඔය ඉස්ට්‍රයික් ගැන යන්නේ නැත්තේ” මී හරකෙක් ආයෙත් අහපි.

“පච පෙට්ටිවල, පත්තර කඩදාසිවල ලියන්න තරම් අධ්‍යාපනයත් ඉතුරු වෙලා නෑලු බං. දැන් හැමෝම කාලා ඉවරලු ඒක.”

“එතකොට ඔය හුචැස් අධ්‍යපනෙත් අපේ වෘෂභරාජලා කාලා දාලාද?”

“කාලා ඉවරමත් නෑලු, අපේ ජෝඩුවක් ඒක අනනව කියලා තමා ආරංචි.”

“කතා සාප්පුවේ අය හැම වගකිමකින්ම නිදහස් බං, සල්ලිත් ලැබෙනවා, පිටරට යන්නත් පුළුවන්.”

“ඒක නෙමේ හරිම ගිරිස්මයි කූල් ඩ්‍රින්ක් එකක්වත් බොමුකෝ.” එක මී හරකෙක්යෝජනා කළා.

“බැහැ මෙයා බිල් ඇමති පැය තුනහමාරකට විතරක් බලේ නැති කරලනේ.”

“අර මොකද?”

“විෂ්ප විද්‍යාල ළමයි අයිස් පැකට් බීලා ලෙඩ වෙනවලු.අනිත් ඒක හැමදාම වැඩ කරන මිනිස්සුන්ට පැය තුනක විරාමයක් දවසකට ලබා දෙන්නලු. උතුම් පරමාර්ථයක් එහෙම නේද? ඒ විතරක් නෙමේ අර මහ විභාග ලියන ළමයි වැඩිපුර පාඩම් කරලා ලෙඩවෙයි කියලා බල ඇමතිට බයයිලු.”

“ඇත්ත, ඇත්ත රට සංවර්ධනයට ශ්‍රම බලකාය ලෙඩ නොවී ඉන්න එපායැ”

“අනේ බලන්න කතා සාප්පුවේ අය මිනිස්සු ගැන ගොඩාරියක් හිතනවා. විශේෂයෙන්ම ළමයි ගැන.”

“ඒක හරි ළමයි නම් හරිම වාසනාවන්තයි. ආයෙත් විෂ්ප විද්‍යාල වලට ළමයි ගද්දි ඩබොල් බැජ් ගන්නවා කියලා තමා ආරංචිය.. ”

“එතකොට ඒවා ඇතුලෙ ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැද්ද?”

“ආයෙ පිස්සුවක් ඇතැ , කතා සාප්පුවෙ අය මොළකාරයෝ. ඔය ඩබොල් බැච් ගන්න තව අවුරුදු පහක්වත් යනවා. එතකොට බඳින අය බැඳලා, රට යන අය රට ගිහින් මැරෙන අය මැරිලා ...” එක මී හරකෙක් කියාගෙන ගියා.

“එතකොට?”

“ප්‍රතිඵලවලින් වගේම සොබාවික වරණයෙන් තේරෙන අපේ දරුවො ටිකක් විෂ්ප විද්‍යාලවලට යයි.”

“ආ මට තේරුණා, මාරයිනේ. සොබාදහමට අනුව...” අනිත් මී හරකටත් මාර හැපි.

“එතකොට ඔය විෂ්ප විද්‍යාලවල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නෙ?” එක මී හරකෙක් බැරෑරුම්ව ඇහුවා.

“අය්යෝ, එතන ප්‍රශ්නයක් නෑ. බොහෝම පැහැදිලි පිළිතුරක් විතරයි තියෙන්නේ.”අනිත් මී හරකා බොහෝම සැහැල්ලුවෙන් කිව්වා.

“පිළිතුර...?” ඒ මොකක්ද?

“පිළිතුර තමා කාලය.”

“ඒ කිව්වේ?”

“එපා වුණාම හැමෝටම ස්ට්‍රයික් එක කාලයක් එක්කම නැතිවෙලා යයි”

“එපා වුණේ නැත්තම්???”

“එහෙම වුණොත් කාලය විතරක් යයි”

“එතකොට???”

“හා හා වැඩිපුර ප්‍රශ්න අහන්න එපා ඕනෑවට වඩා ප්‍රශ්න ගැන හිතුවාම උමතු වෙනවා කියල බුදුබනෙත් තියනවලු.”

“ඒ වුණාට අප්පා...”

“අනේ මෝඩ ගොනෝ, ගොනෙක් වුණාට උම්බෑ කියන්න එපා” එක මී හරකෙක් කියනවා.

උඹත් ගොනෙක් නෙ ඉතින් “මොහ් මොහ් මොහ්” අනිත් මී හරකත් හිනාවුණා.

“ඔව් ඉතින් කෑගහන්න එපා...”

මී හරක් දෙන්නම නිහඬ වුණා. දැන් දෙන්නම කතා සාප්පුව පැත්තට ඇදෙනවා.

මහ මැතිවරණය ඇරඹේ. මම අපහු උඩ ගිහින් ඇහැරුණා. එතකොටම විදුලියත් විසන්දි වුණා. ආ ලයිට් කපලා. මම පුටුවෙම තව ටිකක් ඇහැපියා ගත්තා, කව්රු හරි මාව නැගිට්ටවනකම්!!!

-මොරටු සරසවි සිසුවෙක්-

Tuesday, July 31, 2012

කියවන්න!!! දැනුවත් වෙන්න !!! මෙය අපේ පමණක් නොව, ඔබේත් රටේත් දැවෙන ප්‍රශ්නයක් ...


ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.

දරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, මේ බෙදපු පුංචි අත්පත්‍රිකාව යන ගමන් වීසි කරලා යන්න ඔබට හිතේවි. ඒත් අපි මේ කියන්න හදන දේට පොඩ්ඩක් ඇහුම්කන් දෙන එක කොච්චර වැදගත් ද කියලා ඔබට ම තේරේවි. අපි මේ කියන්න හදන්නෙ විශ්වවිද්‍යාලවලත්, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් ඇතිවෙලා තිබෙන වත්මන් අර්බුදය ගැනයි. මේ ප්‍රශ්නය බලපාන්නේ ආචාර්යවරුන්ටයි, ශිෂ්‍යයන් වන අපටයි විතරක් නෙමෙයි. ඔබට නොතේරුනාට මේක ඔබෙත් ප්‍රශ්නයක්. කොටින්ම මේක මුළු රටේම දැවෙන ප්‍රශ්නයක්. ඒත් තවම මේක ගොඩක් මිනිස්සුන්ට හරියට තේරිලා නෑ. පොඩි උදාහරණයකින් කියන්නද? කාඩ් කුට්ටමක් අරන් ඒකෙ හැම කොලයක්ම දෙකට නවල එකම අතකට හිටින විදියට රවුමට තියාගෙන යන්න. මෙහෙම තිබ්බම එක කාඩ් එකක් හරි පෙරලුනොත් කාඩ් ඔක්කොම ටික පෙරලීගෙන යනවා. දැන් හිතන්න ඒකෙ එක කාඩ් එකක් තියෙනවා යටින් පොඩ්ඩක් ඉරිලා වැටෙන්න ඔන්න මෙන්න. අනිත් කාඩ් වලට ඒ ගැන කිසිම ගානක් නෑ. මොකද වැටෙන්න යන්නේ තමන් නෙවෙයිනේ. ඒත් අර කාඩ් ඒක වැටුන ගමන් මොකද වෙන්නේ. ඊට ඉස්සරහින් තියෙන කාඩ් ඔක්කොම පෝලිමට වැටීගෙන යනවා. දැන් අනිත් කාඩ් බය වුණා තමනුත් වැටෙයි කියල. ඒත් අනිත් කාඩ්වලට හැරෙන්නවත් ඉඩක් තිබ්බේ නෑ. සේරම එතකොට පරක්කු වැඩියි. ඔන්න ඔය දේම තමයි අද අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයටත් වෙන්න යන්නේ. අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි අර අබලන් වෙලා පෙරලෙන්න ඔන්න මෙන්න තිබ්බ කාඩ් එක. අනික් මිනිස්සුත් මේක වැටෙන්න යන බව නොදැක්කා නෙවෙයි. ඒත් ඒගොල්ලෝ ඇඟ බේරගෙන මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි වගේ හිටියා. මේකෙන් කියන්න උත්සහ කලේ මේකයි. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැටුනොත් එදාට ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම වැටෙයි. හැමෝම මේක තමන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි කියල ඉඳීවි. ඒත් ඕක තේරුම් ගත්ත දාට ඔබත් පරක්කු වැඩි වේවි. හැබැයි තාම අපි පරක්කු නෑ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයට දැනට දෙමසකටත් අධික කාලයක් ගතවෙලා. පසුගිය වසරෙත් මේ වගේම ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයක් පැවත්වුනා. ඒත් ඔවුන්ගේ ඉල්ලීම්වලට අද වන තුරුත් සාධාරණයක් ඉටුවෙලා නෑ. මේ වෙලාවේදී අපි හිතලා බලන්න ඕනේ වැදගත්ම දේ තමයි ඇයි ආචාර්යවරුන්ට මේ විදිහට වැඩ වර්ජනයකට යන්න සිද්ධ වුනේ කියලා. පිටින් පේන දේට වඩා ගැඹුරින් සලකා බැලිය යුතු කරුණු කාරණා ගොඩක් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලේ තියෙනවා. අපි මොහොතකට එකම අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් ඇති විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු සහ පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයෙකු සසඳා බලමු. විශ්වවිද්‍යාල ආචාර්යවරයා මසකට රුපියල් 80000ක පමණ වැටුපක් ගනිද්දී පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයා නිලනිවාස නිලරථ වැනි සියලු දීමනා එක්ක මසකට රුපියල් ලක්ෂ දෙක තුනක අදායමක් උපයනවා. ඉන්දියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ලබන වැටුපෙන් අඩක්වත් අපේ ආචර්යවරයෙක්ට ලැබෙන්නේ නෑ. තමන්ට ලැබෙන සොච්චම් පඩිය අතහැරලා රට යන්න පුළුවන්කම තියෙද්දිත් ඔහු තම සේවාව අපේ රටට ලබා දෙන්නෙ ඇයි? ඒ ඔහු අපේ රටට ආදරේ නිසා නේද? නමුත් මේ වෙන කෙනහිලිකම් දිගටම පැවතුනොත් අනාගතේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල උගන්නන්න කවුරුවත් නැති වේවි. එහෙම වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාල වැහිල යාවි. ඒක බලපාන්නෙ ඔබේ ආදරණීය දරුවාට නෙවෙයිද? අවුරුද්දකට මිලියන 2000ක් වෙන්කරලා නායකත්ව පුහුණුවක් තිබ්බ. අපි මෙහෙම හිතමු. ලංකාවේ වැඩිම උනොත් විශ්වවිද්‍යාල අචාර්යවරුයි කාර්ය මණ්ඩල නිලධාරීනුයි 10000ක් ඉන්නව කියමු. ඔය මිලියන 2000, 10000න් බෙදුවම එක්කෙනෙක්ට රුපියල් ලක්ෂ 2 ගානේ වැටෙනවනේ. අපි අහන්නෙ එලොවටත් මෙලොවටත් වැඩක් නැති නායකත්ව පුහුණුවක් දෙන වේලා ඔය ලක්ෂ දෙකෙන් ඒ මිනිස්සුන්ගේ පඩි වැඩි කරා නම් මොකද වෙන්නෙ.

මෙහිදී ආචාර්යවරුන් පුල පුලා මතුකරන තවත් කාරණයක් තමයි ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වෙන් කරන මුදල් ප්‍රතිශතය ප්‍රමාණවත් නැහැයි කියන එක. අන්ත අසරණ ඉතියෝපියවෙත් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික අදායමෙන් 4.8%ක් වෙන් කරද්දී අපේ රටේ වෙන් කරලා තියෙන්නේ 1.8%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයක්. එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුව රටක අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික අදායමෙන් 6%ක් වත් වෙන් විය යුතුයි. රටේ ජනතාවගෙන් අයකරන අධික බදු මුදල්වලින් මෙම අවශ්‍යතාවය පහසුවන්ම සපුරාලන්න හැකියාව තියෙද්දිත් එහෙම නොකරන එක අපිට ප්‍රශ්නයක්....

ළගට උසස් පෙළ කරපු ළමයින්ගෙ ප්‍රතිඵල වලට කරපු වින්නැහිය. මුලින්ම සමහර ළමයින්ගෙ island rank එක ආවා district rank එකටත් වඩා අඩු වෙලා. දෙයියනේ රටේ ලෝකෙ වෙන්න පුලුවන් දෙයක්ද? අනිත් කාරණේ. විෂය නිර්දේශ දෙකක ළමයින් විභාගෙට ලිව්වනෙ. දෙගොල්ලන්ගෙම ලකුණුවල z-අගයන් එකම සුත්‍රයකින් ගණනය කළා. එහෙම කරන එක ගොන් වැඩක් කියල කලින් ලංකාවේ හිටි අධ්‍යාපන බලධාරීන්ට තෙරුණානම් ඇයි බන්දුල මහත්තයට ඕක තේරුම් ගන්න බැරි. මොකද කලින් ලංකාවේ විෂය නිර්දේශ වෙනස් වුණු වෙලාවල්වලදී විභාග තිබ්බෙ නැද්ද? හරි, ඊළගට ආයේ z-අගයන් වෙනස් කරලා ඊයේ පෙරෙයිදා ප්‍රතිපල ආවනෙ. පේපර් බලලත් ඉවරනම්, තිබ්බෙ z-අගයන්වල අවුලක් විතරක් නම්, මෙච්චර දවසක් පරක්කු කර කර ඕක තියාගෙන මොන මගුලක්ද කළේ. දැන් විභාගෙට සතියක් තියල මෙන්න බොලේ ප්‍රතිපලේ වෙනස් වෙලා එනව, කලින් කැම්පස් එකට තේරිලා උඩ පැන පැන හිටපු එකාගෙ රෑන්ක් එක බර ගානකින් අඩු වෙලා කියල. දැන් ඉතින් කරපංකෝ සති දෙකෙන් ඒ-ලෙවල්. අවුරුදු දෙක හමාරක් තිස්සේ ඉගෙනගත්ත දේවල් සති දෙකෙන් පාඩම් කරන්නද කියන්නේ. අපේ ඇස්.බී. මහත්තය කියනව තුන්වෙනි සැරේ කරපු අයට හතරවෙනි සැරෙත් කරන්න දෙනවලු. අවුරුදු හතරාමාරක් විතර කට්ට කාගෙන තුන්වෙනි සැරේ විභාගෙ කරපු එකා කරයි හතරවෙනි සැරෙත්. මෙන්න අදහන්න වටින මිනිස්සු.


ලංකාවේ ඉන්න අහිංසක දුප්පත් දරුවන්ගෙ දුක තේරුම් ගත්ත සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර කියන රත්තරන් මනුස්සයා, ඔබටත් මටත් ඔබේ දරුවටත් දායාද කරපු නිදහස් අධ්‍යාපනය නැති වෙන්න ඉඩ දීල නිකං ඔහේ බලන් ඉන්නද කියන්නේ? මේ ගැන මොකුත් නොකළොත් අද නොමිලේම අපි යන විශ්වවිද්‍යාලයට ඔබේ දරුවාව ඇතුලත් කරන්න රුපියල් ලක්ෂ 35ක්වත් යාවි. දරාගන්න පුළුවන් වේවිද?  සල්ලිකාරයන්ට නම් ඒක ගානක් නැතිවෙයි. ඒත් එතකොට අර කපරාදු කරලවත් නැති බිත්ති හතරට මැදිවෙලා, මදුරුවො තල තල, කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරලා විභාගෙ පාස් වෙච්ච දුප්පත් කොල්ලට මොකද වෙන්නෙ? ඌ පොල් කඩන්නද? කමක් නෑ, බැරිමනම් ඒකා පොල් කඩල හරි ජීවත් වෙයි. එතකොට අර උපාධියට මොකද වෙන්නෙ. සල්ලිකාර ලොකු ලොක්කන්ගෙ පුත්තු ටික පොරකාලා උපාධි ටික බෙදා ගනීවි. උන් ඒ.සී. කාමරවලට වෙලා සැප විඳ විඳ ඉඳියි. ඒ අතරේ ලෝකයක් වටින උඹලගෙ පොඩි එවුන් ටික උන්ට බැලමෙහෙවර කර කර ඉඳියි. ලංකාවේ හොඳම මොලගෙඩි ටික කැලේට පිපිලා කැලේටම පරවෙලා යාවි. කටවල් වහගෙන අත් දෙක බැඳගෙන ඔය විදියට බලාගෙන හිටියොත් නම්, සල්ලි වලට ඕනම ජරා වැඩක් කරන අපේ නායකයො “නිදහස් අධ්‍යාපනය” කියන මාණික්‍යය රට්ටුන්ට විකුණල දාන්න වැඩි කාලයක් යන එකක් නෑ.


ය දැන් බොරුවට කෑගහන ලොකු ලොක්කොත් ඔය පුටුවලට අවේ මේ නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ඉගෙන ගෙන නෙවෙයිද? උන්ට දැන් මුල අමතක වෙලා. තමන් කොහොම හරි කරලා ඉනිමග දිගේ ගහට බඩගා ගත්තනෙ. ඒගොල්ලෝ කරන්නෙ වෙන එකෙක්ට නගින්න ඉඩ නොදී නිදහස් අධ්‍යාපනය කියන ඉනිමග කපල දානව වගේ හෙණ ගහන අපරාධයක් නෙවෙයිද? ගිය අවුරුද්දේ විශ්වවිද්‍යාලවලින් පටන් ගත්තු විනාශය අද උසස් පෙලටත් ගෙනත් තියෙනවා. හෙට ඔය විනාශය අරන් එන්නෙ අපේ රටේ පොඩි උන් ටික යන ඉස්කෝල ටිකට වෙන්න බැරිද? ආදරණීය අම්මේ තාත්තේ, පොඩ්ඩක් හිතන්න. කවදාවත් පාරට බහින්නෙ නෑ කියන ඒකායන අරමුණේ හිටපු මොරටුව සරසවියේ අපි අද පාරට බැස්සෙ, මේ ගැන එක සැරයක් දෙසැරයක් නෙමෙයි දහ වතාවක්වත් හිතලා. අපේ රටේ බස් ස්ට්‍රයික් එකක් කළොත් පහුවෙනිදම ඒක සාකච්චා කරලා විසඳනවා. මොකද ඒ ප්‍රශ්නේ ඇති වුණු ගමන් ලංකාවේ හැමකෙනෙක්ටම ඉක්මනටම ඒක දැනෙනවා. ඒත් මේ අර්බුදය තාම හරියට දැනිල තියෙන්නෙ ලංකාවේ කොටසකට විතරයි. ඒ මේ අර්බුදය ඍජුවම දැනෙන ආචාර්යවරු, අනධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ට පමණයි. තවම මේ අර්බුදයේ වක්‍ර කොටස්කාරයින් වෙන සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මේක හරියට දැනිල නෑ. ඒක දැනුනානම් රජය මෙච්චර සෙල්ලම් දාන්නෙත් නෑ. අපිට ඔය පාට පක්ෂ භේද නෑ කියල අපි කියන්නෙ දැඩි වගකීමක් ඇතුවයි. අපි අද ආවෙ දේශපාලන විරෝධතාවක නෙවෙයි. අපි ඉල්ලන එකම දේ රටේ විශ්වවිද්‍යාලවලට කරන මේ අපරාධය නවත්වන එකයි, රටේ අධ්‍යාපනයට සුරක්ෂිත අනාගතයකුයි විතරයි.


දරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, ඔබ මෙයට එකඟ වෙනවාද? ඔබ මේ ගැන දැනුවත් වී සිටියාද? ඔබේත් මගෙත් සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේත් මේ අධ්‍යාපනික අර්බුදය ගැන, දැනුවත් වන්න. අන් අයද දැනුවත් කරන්න. එපමණක් නොව ක්‍රියාකාරී වන්න.


(The Leaflet which has been distributed on 30-07-2012 by the EFSU,
Special thanks for Sanjaya Maduranga.)