Sunday, February 26, 2017

අධ්‍යාපනය පෞද්ගලීකරණය නවතනු! අධ්‍යාපනයේ සම අයිතිය සුරකින අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙනෙනු!


මානව පරිණාමයේ මුල් අවධියේ පටන් මිනිසා විසින් කලින් කලට මුහුණ දෙන අත්දැකීම් මත පරිසරයේ යම් යම් දේ පිළිබඳව, ඒවායේ හැසිරීම පිළිබඳව යම් යම් කරුණු කාරණා උකහාගැනුනි. ඔවුන් එම කරුණු තම වර්ගයා අතරේ හුවමාරු කරගත්තෝය. එය ඔවුනට සමුහයක් ලෙස යම් යම් අරමුණු මුදුන්පත් කරගැනීමේ දී පිටිවහලක් විය. ඔවුන් එතනින් නැවතුනේ නැත. තම ඉදිරි පරම්පරාවේ පැවැත්ම තකා තම දරුවන්ට තමන් ඉගෙනගත් දෑ ඉගැන්වුවෝය. එලෙස පෙර පරම්පරාවෙන් ලැබුණු දේ ත් තම පරම්පරාව අත්විඳි දේ ත් ඉදිරි පරම්පරාවට ලැබීමට සැලස්වූවෝය. 


උදාහරණයක් ගෙන මෙලෙස විස්තර කරමු. මුල් අවධියේ මිනිසා ආහාර සඳහා දඩයම් සොයා වනයේ ඇවිදින විට ඉදිරියෙන් යන පුද්ගලයා නවාගෙන යන අතු රිකිලි පසු පස එන පුද්ගලයාගේ ශරීරයේ ගැටී තුවාල සිදුවුනි. එදා ඔවුන් නැවුණු අතු නැවත දිගහැරිමේදී ශරීරයේ වැදුනොත් අනතුරක් වන බව ඉගෙනගත්තෝය. තම සගයන්ට, දරුවන්ට එයින් ආරක්ෂාවන ලෙස ඉගැන්වුවෝය. කාලයත් සමග නැවුණු අතු වල යම් ශක්තියක් ඇති බව ඔවුන් අවබෝධ කරගත්තේය. එම දැනුම යොදාගෙන ඔවුන් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන ආහාර සඳහා දඩයම් සොයාගැනීමේ පහසුව තකා දුන්න වැනි ආයුධ නිර්මාණය කලෝය. එයින් නැවතුනේද නැත. ද්‍රව්‍ය වල ගැබ්වෙන එම ශක්ති හඳුනාගෙන හඳුනාගෙන ඒවායින් විවිධ විවිධ දෑ තැනුවෝය. තම කටයුතු පහසු කරගන්නා තත්වයකට එම දැනුම තාක්ෂණයක් ලෙස දියුණු කලෝය. අද වන විට ඒකක වශයෙන් ගණනය කිරීම් කර ශක්තිය භාවිතා කරන තත්වයට දියුණුවුයේ මුල් අවධියේ මිනිසා තමන් ඉගෙනගත් දේ ඉදිරි පරම්පරාවට දායාද කල නිසාවෙනි.

තාක්ෂනය, උපකරණ පමණක්ම නොවේ කලාව, සංස්කෘතිය හා දේශපාලනය ද දැනුම, අධ්‍යාපනය මතින් ගොඩනැගුනු ඒවාය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලැබෙන අත්දැකීම් වෙනස් වනවා සේම උකහාගන්නා දැනුම ද වෙනස් වේ. විවිධ ප්‍රදේශ වල කලාව, සංස්කෘතිය හා දේශපාලනය එකිනෙකට වෙනස් වන්නේද මේ නිසාවෙන්ම ය.

අයිසැක් නිවුටන්ට පෙර කිසිවෙකුවත් ගණිතය, විද්‍යාව පිලිබඳ න්‍යායයන් ගොඩ නැගුවේ නැතිනම් ගුරුත්වාකර්ෂණය පිලිබඳ න්‍යායය නිවුටන්ට ඉදිරිපත් කිරීමට නොහැක. එහිදී නිවුටන් සැලකිය යුතු කාර්ය භාර්යයක් සිදුකල ඇතත් පෙර ගොඩ නැගුනු දැනුම නොතිබුනේනම් ඔහුට එය සිදුකල නොහැකි බව අප කාටත් ප්‍රත්‍යක්‍ෂ කාරණයකි. එනම් දැනුමට තනි අයිතිකාරයෝ නැත. දැනුම ගොඩනැගෙන්නේ මුළු මහත් සමාජයයක් මතිනි. එනම් එහි අයිතිය ඇත්තේ ද සමාජයටමයි.

අධ්‍යාපන ක්‍රමය ගොඩනැගුනේ මෙසේය. සමාජය මතින්ය. අධ්‍යාපනය ලබා දීමේ අරමුණ වූයේ සමාජය විසින් ඉගෙන ගත දෑ සමාජයේම ප්‍රගමනය වෙනුවෙන් යෙදවීමයි. අධ්‍යාපනය ලබා දීම ආයෝජනයකි. එහි ප්‍රතිපල සමස්ත ජනයාටමයි. 

අධ්‍යාපනය ගොඩ නැගුනේ සමාජය මතින් නම් අධ්‍යාපනයේ අයිතිය ඇත්තේ සමාජයට නම් අධ්‍යාපනයේ අරමුණ සමාජ ප්‍රගමනය නම් අපට ඔබෙන් අසන්නට ඇත්තේ මෙපමණකි. එනම්, අධ්‍යාපනය විකුනන්නේ කෙසේද? විකිණීමේ අයිතිය ඇත්තේ කාටද? අධ්‍යාපනය විකිණීම හරහා අධ්‍යාපනයේ අරමුණු ඉටුවේ ද?

මෙහි දී ඔබ කාටත් ඒත්තු ගැන්වෙන කාරණය නම් අධ්‍යාපනය යනු අලෙවි භාණ්ඩයක් නොවන බවය. විකිණීම හරහා අධ්‍යාපනයේ සමාජයමය කාර්යභාරය ද ඉටු නොවෙන බව ඔබට හොඳින්ම ඒත්තු ගැන්වෙනු ඇත.

මෙපනක් ඒත්තු ගැන්වූවාට ප්‍රමාණවත් නොවන බව ද දනිමු. මුදලට ශරීර අවයව පවා විකුණන තරම් ප්‍රාථමික තත්වයකට ඇද වැටී ඇති සමාජය අධ්‍යාපනය විකිණීම පිළිබඳව මුනිවත රැකීම පිළිබඳව අපි පුදුම නොවෙමු. නමුත් අධ්‍යාපනය ලැබීමේ අයිතිය සිමාකිරිම හරහා සමාජය මීටත් වඩා පරිහානියට පත්වන බව හොඳින්ම දනිමු. එය සිදුවනු දැක දැක නිහඬව සිටීමට තරම් අපි නිවට නොවෙමු.

අපගේ අරගලය පෞද්ගලික උපාධි කඩවලට තම සේසතම වියදම් කර තමන්ගේ සමාජ පන්තිය ඉහලට ගැනීමට වෙර දරන අපගේම සහෝදරයින්ට එරෙහිව නොවේ. අධ්‍යාපන කප්පාදු ක්‍රම හරහා ඔවුන්ගේ අයිතිය උදුරාගන්නා පාලකයාට එරෙහිවයි. මුදල් බලයෙන් සියල්ල තමා සතු කරගන්නට මාන බලන ධනපතියාට එරෙහිවයි. 

පිරිසක් ධනය එක්රැස් කිරීමේ අරමුණින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරමින් සිටින්නෝය.

තවත් පිරිසක් තම ධන බලය උපයෝගී කරගනිමින් මුදල් වලට සුසුදුකම් මිලදී ගන්නෝය.

පාලකයා තමා මත ඇති වගකීමෙන් නිදහස් වීමට ඒවාට රුකුල් දෙන්නෝය.


විය යුත්තේ විකිණීම නොවේ. 

සරසවි බඳවා ගැනීම් ඉහල දැමීමයි. 

අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන ඉහල දැමීමයි.

රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් සමග සමගාමිව අධ්‍යාපන ක්‍රමය විධිමත් කිරීමයි. 


සොයුරනි,

ධනපතියාගේත් පාලකයාගේත් අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්තියට එරෙහිව පෙළ ගැහෙමු!

සැමගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඬ නගමු!


පාලකයිනි,

අධ්‍යාපනය පෞද්ගලීකරණය නවතනු!

අධ්‍යාපනයේ සම අයිතිය සුරකින අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙනෙනු!




දුෂාන් පසිඳු තිවංක,

ලේකම්,
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.

SAITM නීතිගත කිරීමේ කුමන්ත්‍රණය පරදවමු!


2017 ජනවාරි 30

ගෞරවණිය ස්වාමීන්වහන්ස/පුජක තුමනි,
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය,

අධ්‍යාපනය විකිණීමේ ගැටලුවේ උග්‍රතම අවස්ථාවට එළඹ ඇත. එනම් අධ්‍යාපනය විකිණීමේ නියමු ව්‍යාපෘතිය වන SAITM මුදලට උපාධි විකුණන ආයතනය නීතිගත කරවාගැනීම සඳහා SAITM සිසුවියක් විසින් අධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. එහි තීන්දුව ජනවාරි මස 31 වෙනි දා SAITM ට පක්ෂපාති වන ලෙස ලබා ගැනීමට SAITM මුදලාලිලා සහ ආණ්ඩුව අර අදිමින් සිටින මොහොතක ඔබව මෙසේ ආමන්ත්‍රණය කරමු.

SAITM යනු ආරම්භයේදී ම ඔවුන්ට නොමැති සුදුසුකම් පෙන්වමින් සිසුන් මුලා කිරීමකට ලක් කල ආයතනයකි. එමෙන්ම SAITM තුල වෛද්‍ය විද්‍යාලයක් සතුව පැවතිය යුතු ප්‍රමිතිය නොමැති බව සහ SAITM උපාධිය පිළි නොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) මගින් ද ප්‍රකාශ කර ඇත. එවන් පසුබිමකදී මෙය නීතිගත කර පවත්වාගෙන යාමේ සැලැස්මක් හොර රහසේ ක්‍රියාත්මක වේ.

SAITM ආරම්භ කරනුයේ උසස් පෙළ කඩයිමෙන් වෛද්‍ය විද්යාලයකට තේරී පත් නොවුනු නමුත් Z Score එක කඩයිම් ලකුණට ආසන්න සිසුන්ට නැතහොත් දශමෙන් මග හැරුණු සිසුන්ට වෛද්‍ය වරයකු වීමේ අවස්තාවක් සලසා දීමේ අරමුණින් යන්න අමුලික බොරුවකි. ඒ මක්නිසාද යත් දශමෙන් මග හැරුණු සිසුන්ගෙන් කීයෙන් කී දෙනෙකුට ලක්ෂ 120 ක් වැනි ඇති විශාල මුදලක් වියදම් කිරීමට හැකි ද යන්න ගැටලුවක් වන බැවිනි. නිදසුනක් ලෙස සාමාන්‍ය රැකියාවක නියුතුවුවකුගේ මාසික වැටුප දල වශයෙන් රුපියල් 30,000 ක් ලෙස ගනිමු. ආහාර ඇතුළු මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට රු. 15,000 ක් වැය වුනේ යැයි සිතන්න. ඉතිරිය රු. 15,000 යි. ලක්ෂ 120 ක් එකතු කිරීම සඳහා ආසන්න වශයෙන් අවුරුදු 66 කට අධික කාලයක් ගතවේ. මාසිකව රුපියල් 100,000 බැගින් එකතු කල ද අවුරුදු 10 ක් මුදල් එකතු කල යුතුය. එනම් මෙය සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්තාවක් සලසන ආයතනයක් නොව මුදල් හිමි බලවතුන්ට සුදුසුකම් මිලදී ගැනීමට හැකි ලාබ ලබන ආයතනයක් බව මැනවින් පැහැදිලි වේ.

සිදුවිය යුත්තේ කිසිඳු බේදයකින් තොරව සැමට අධ්‍යාපන අවස්ථා ලැබෙන පරිදි අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි. වැඩි සිසුන් ප්‍රමාණයකට උසස් අධ්‍යාපන වරම් ලබා දීමට හැකිවන ලෙස රාජ්‍ය අධ්‍යාපන ආයතන දියුණු කිරීමයි. වසරින් වසර සරසවි වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල දැමීමයි. එම සිසුන් රටේ ආර්ථිකය නගා සිටුවීමට යොදා ගැනීමට අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින් අධ්‍යාපනය හා සමගාමිව අනෙකුත් ක්ෂේත්‍ර නියාමනය කිරීමයි. නමුත් තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙය පවත්වාගෙන යන්නේ සැඟවුණු අරමුණක් පෙරදැඩි කරගෙන බව අමුතුවෙන් තේරුම් ගත යුතු කරුණක් නොවේ.

තව දුරටත් සිසුන් මුලාකරමින් SAITM හරහා සිදුවන මෙම ක්‍රියාවලිය වහා නතර කල යුතුය. එමෙන්ම එම රැවටීමට ලක් වූ සිසුන්ට ද සාධාරණයක් ඉටු කර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සුරක්ෂිත කල යුතුය යන්න අපගේ අදහසයි. 

නැතහොත් පෞද්ගලික ප්‍රවාහන සේවා නිසා ලංගම කඩා වැටීම සිදු වුවා සේම පෞද්ගලික රෝහල් නිසා නිදහස් සෞඛ්‍යය සේවය කඩා වැටුනා සේම නිදහස් අධ්‍යාපනයත් සම්පුර්ණයෙන්ම කඩා වැටෙන දවස වැඩි ඇතක නොවේ. මක්නිසාද යත් දැනටමත් රජයේ විශ්වවිද්‍යාල වලට අයවැයෙන් වෙන්කරන මුදල් කප්පාදු කරමින් පවතී. 2017 වර්ෂයේ දී මොරටුව විශ්වවිද්‍යාලයට පමණක් අයවැයෙන් වාර්ෂිකව වෙන් කරන මුදලින් රුපියල් මිලියන 450 ක් කප්පාදු කර ඇත. එමෙන්ම වැඩි වරප්‍රසාද හමුවේ ආචාර්යවරු රාජ්‍ය විශ්වවිද්‍යාල හැරදමා කෙමෙන් කෙමෙන් පෞද්ගලික ආයතන වල ඉගැන්වීම් කටයුතු වලට නැඹුරු වෙමින් පවතී. 

එම නිසා අනෙක් ඒවාට සිදු වුවා සේම නිදහස් අධ්‍යාපනය කඩා වැටීමට මත්තෙන් අධ්‍යාපනය විකුණන ප්‍රතිපත්තිය අහෝසි කල යුතුය. තව තවත් අධ්‍යාපන අවස්ථා විවර කරමින් නිදහස් අධ්‍යාපනය විධිමත්ව පවත්වාගෙන යා යුතුය. එමෙන්ම ලාබ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය විකුණන ආයතනයකින් කිසිවිටෙක ප්‍රමිතියක් බලාපොරොත්තු නොවිය හැකි නිසා පෞද්ගලිකරණය, අධ්‍යාපන ක්‍රමයේ හිදැස් වලට පිළිතුරක් නොවන බව තරයේ සිහි තබාගත යුතුය.

නිදහස් අධ්‍යාපනය කඩාවැටෙන්නට පෙර එය ආරක්ෂා කර ගැනීමට ඔබ අප සැම එක්ව සටන් කලයුතු කාලය එළඹ ඇත. මතු පරපුර වෙනුවෙන් එය රැක දීම අප සතු වගකීමකි.

ඔබේ දරුවාගේ මතු අනාගතේ වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය සුරකිමු!

නිදහස් අධ්‍යාපනයට වල කපන කුමන්ත්‍රණ පැරදවීමට පෙළගැසෙමු!

දුෂාන් පසිඳු තිවංක,
ලේකම්,
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.

Saturday, January 9, 2016

වර්තමාන අධ්‍යාපන පද්ධතිය අනාගතය උදෙසා සකස් විය යුත්තේ කෙසේද?

ශ්‍රී ලංකාව නම් වූ මේ මේ කුඩා රට තුල එදා මෙදා තුර සිදුකලා වූ සිවිශේෂී ආයෝජනය වූ නිදහස් අධ්‍යාපනයේ  ප්‍රතිඵල ලෙස සමාජ ගත වන්නට නියමිත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ලෙස අප සතු සමාජ වගකීම ඉමහත්ය. රටක් ලෙස අනාගතය වෙනුවෙන් මෙම ආයෝජනයට දායක වූ මුළුමහත් සමාජයම අපගෙන් අපේක්ෂා කරන්නේ මුළු මහත් රටම, සමාජයම  නිවැරදි දිශානතියට  ඔවුන් මෙහෙයවා සියලු දෙනාගේ ජිවිත සමුර්දිමත් කිරීමේ වගකීම අප විසින් දරනු ඇති බවයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය යනු හුදෙක් විෂය කරුණු මතම පිහිටා සිටින පුද්ගලයෙකුට එහා ගිය වීවෘත සමාජ දැක්මකින් හෙබි පුද්ගලයෙකි. එනිසාම එවන් වූ අප උරමත ඇති තවත් එක් සමාජ වගකීමක් ඉටුකිරීමේ මුලික පියවර මෙසේ ආරම්භ වේ.

ශ්‍රී ලංකාව වැනි රටකට අධ්‍යාපන යනු සැබවින්ම වටිනා වස්තුවකි. එයිනුත් සුවිශේෂී අධ්‍යාපන ක්‍රමක් වූ නිදහස් අධ්‍යාපන පද්දතියක් අපට උරුම වීම සියලු දෙනාගේ වාසනාවකි. මිට දශක ගණනාවකට පෙර එවක සමාජ පසුබිම හා අනාගතය උදෙසා පැහැදිලි දැක්මක් ඇතිව සැලසුම් වූ සමාජ ප්‍රතිසංස්කරණයක් ලෙස මෙම නිදහස් අධ්‍යාපන සංකල්පය හදුන්වා දිය හැකිය. අතීතය එසේ වුවද වර්තමයේ ඔබට මට අත්දකින්නට ලැබෙන්නේ අධ්‍යාපන පද්දතියේ විශාල අර්බුධකාරී වතාරණයකි. මේ අර්බුදය පිළිබද විවිධ කතා බස්, තර්ක විතර්ක ඇති වුවද සමාජය තුලින් යම් යම් විරෝධතා මතු වුවද එවන් පෙලබවීම් සැබෑ විසදුමක් කරා යාමට ප්‍රමාණවත් වී නොමැත. එයට ප්‍රබලම හේතුව වී ඇත්තේ මේ පිළිබද වූ ක්‍රියාමාර්ග හරි හැටි සමාජ ගත නොවීමේ ගැටලුවයි. එම අඩුපාඩුව ප්‍රයෝජනයට ගන්නා දේශපාලන අධිකාරිය මෙම ගැටළු වෙනුවෙන් නිසි අවදානයක් යොමු නොකිරිම නිසාවෙන් අද වන විට අධ්‍යාපනයට නිසි ප්‍රතිපතියක් නොමැතිව ඉබාගාතේ යාමකට ලක්ව තිබේ.

ඒ නිසාවෙන් අප විශ්වාස කරන ප්‍රමුඛතම අවශ්‍යතාව වන්නේ ඉංජිනේරු පීඨ වලදී අපි ඍජුව මුහුණ පාන ගැටළු වලට පමණක් සිමා නොවී පෙරපාසලෙන් පටන් ගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම මතුව ඇති මෙම ගැටළු නිසි ලෙස සමාජ ගත කොට අධ්‍යාපනයේ හා රටේ යහපත් ඉදිරි ගමන වෙනුවෙන් පුළුල් සමාජ මතයක් ගොඩ නැගීමයි.

ඒ වෙනුවෙන්

“ඈත හද්දා පිටිසර පොල්අතු පැලක ඉපිද දැනුමින් ලෝකය පුබුදු කරන්නට සංචිත සක්‍යතාවෙන් යුතු දුගී දුප්පත් දරුවන්ගේ සිට රටේ ඉහලම පැලැන්තියේ පුරවැසියාගේ දරුවන්ටද සමාන අධ්‍යාපන අවස්ථා හිමි විය යුතු අතර පවතින අධ්‍යාපනයේ අර්බුධ වලට නිසි විසදුම් ලබා ගැනීමට පෙළ ගැසිය යුතුය.”

යන තේමාව යටතේ


කලින් කලට වෙනස් නොවන ක්‍රමවත් වූ අධ්‍යාපන ප්‍රතිපතියක් දිනාගැනීම.
අධ්‍යාපනය සදහා වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහල නංවාගැනීම.
රැකියා වෙළදපොල හා සමගාමිව රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහල නැංවීම.
පුද්ගලික විශ්ව විද්‍යාල බිහි වීමට  එරෙහිව හඩක් නැගීම.


මුලික කරුණු බවට පත් කරගෙන අධ්‍යාපනයේ අදට වඩා යහපත්  හෙටක් ගොඩ නගන්නට ඔබට අපි ආරාධනා කර සිටින්නෙමු.


චාමිකර සේනාරත්න,
සභාපති,
ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය - මොරටුව විශ්වවිද්‍යාලය


Wednesday, August 12, 2015

   නොදනීද තවම....

දෙනෙතින්ම නොව 
මනසින් දකින්නට 
ගතින්ම නොව
සිතින් විඳින්නට 
සවනින්ම නොව 
හදවතින් අසන්නට 
මට මෙන් ඔබටත් 
වරම් ඇති බව 
නොදනීද තවමත් 

---ෂමල්කා මධුභාෂි---

Wednesday, October 1, 2014

රකින්නම් ඔබ... - ( කාවින්ද තිරාණගම )

මහා මේඝ පසුකර
කටු අකුළු තරණය කර
දහතුන් වස අග,
මහේබත් වූ දෑතට
ලැබුණු තිළිණය
ඔබයි ....

ඇරඹුමවමි මලොව දකින්නට
ඇකමයහි තුරුළු වී,
මපන්නුවා ඔබ මට
මලෝකයම දිනන්නට,
හදවත් දකින්නට,
සරසවි මව්නි ඔබ....

ඔමබන් ලද ජීවමයන්,
මින් මතුත්
කැකුළු පුබුදන්න
ඉඩ මනොමදන උන් සමග
මපොර බදින්නේ ඔබ රකින්නට,
අවැසිනේ ප්‍රාණයත්
මුහු කරන්නේ ඔබ රකින්නට....

මලන්ගතුයි මෑණියනි
ඔබ හට....

                                                             - කාවින්ද තිරාණගම -

Sunday, September 30, 2012

සමාජ විහිළු...



ගිනි අව්ව දරා ගන්න බැරි වෙලාවක්. එත් මේ වෙලාවේ ඤාව්වයි කැවුම් මුණයි හිටියේ සිතල කඩාහැලෙන A/C කාමරේක.

“අනේ බලන්න මෙයා අපිට කියන කතා” කැවුම් මුණා හරිම හැඟීම් බරව කිව්වා.

“ඔන්න බලන්න මචෝ මං නම් ඔය වගකීමෙනුත් නිදහස්” ඤාව්වා සුපුරුදු හිනාවම දැම්මා.

“පුංචි ප්‍රතිඵලයක් වෙනස් වුණාට මොනවා වෙනවද” කැවුම් මුණා කේක් කෑල්ලක් අතට ගත්තා.

“හා හා චොකෝ කේක්, වැඩිපුර කෑවොත් පිම්පල් එයි” ඤාව්වා ආයෙත් හිනාවුණා.

“නෑ මෙයා නිතරම නාන හින්දා සැර අඩුයි.”

“හ්ම්, සොක්‍රටීස් ඉර ගිනිගෙන දැවෙන ගුලියක් කියලා කිව්වේ ඇයි දන්නේ නෑ. හරිම කුල්නෙ” ඤාව්වා කිව්වා.

“ඒක නෙමේ මොකක්ද අර result කතාව, ලියපු නැති විෂයන්ට result ඇවිත් කියන්නේ?”

“අය්යෝ, ඒක බොහොම පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්ලුනේ. මිනිස්සු පොඩි දේත් අල්ලන් කෑ ගහනවා.” කැවුම් මුණා මල් හිනාවක්‌ දැම්මේ හිත පිනායන විදිහට.

“ඔයාගේ හිනාවට සියලු දුක් කරදර නිවෙනවා අනේ, ඇයි මන්දා මේ ළමයින්ට බැරි ඔයාගේ හිනාව බලලා සැනසෙන්න.”

“නැතුව අනේ, මං කියන හුරතල් කතාවලට විතරක් නෙමේ ඔයාගේ කතාවලටත් ළමයි වශීවෙලා ඉන්නේ. ඒක නෙමෙයි අර ළමයි ඔයාට facebook එකේ දාලා තිබුණු අං තට්ටුව මාර හැඩයි නේද?”

“චියා මං ඒ පාටට ආසා නෑ . ලා නිලට හුරු රතු පාට තිබුණනම් ජාති” ඤාව්වා උත්තර දුන්නා.

“විශ්වවිද්‍යාලවල ආචාර්යවරුත් ස්ට්‍රියික්ලු නේද?” කැවුම් මුණා ඤාව්වා දිහා බලලා සිරියස්ව ඇහුවා.

“ඔන්න ඔයාටත් වැරදුණු තැන” ඤාව්වා බළල් නාදය පතුරලා මහා හඬින් හිනාවුණා. ඒක ස්ට්‍රියික් එකක් නෙමෙයි අනේ, පුංචි පහේ වැකේෂන් එකක්.

“ඒ කොහොමද” කැවුම් මුණාට ප්‍රශ්නයක් මතුවෙලා.

“අවුරුද්දක්ම වැඩකරලා කරලා අපේ දරුවන්ටයි දේශකවරුන්ටයි හුඟාක් මහන්සියි එයාලට නිවාඩුවකුත් එපායැ ඒකයි අපි වැඩිය ගණන් නොගෙන ඉන්නේ”

“ඒ වුණාට මේ හදිස්සියේ මොකද වැකේෂන්?” කැවුම් මුණා මෝඩ තාලෙට ඇහුවා.

“ඒක අපෙන් ළමයිට ස්ප්‍රයිස් එකක්”

“ඔයා නම් ජාති මෙයා. එත් ඇයි දන්නේ නෑ ළමයි පාරවල්වල බෙරිහන් දුන්නේ?” කැවුම් මුණා ආපහු ඇහුවා.

“අය්යෝ කැවුමා ඔයත් මහ මෝඩ ප්‍රශ්නනෙ අහන්නේ.එයාල මට thanks කළා. තරුණ උද්වේගකර ළමයි thanks කරන්නේ දැන් ඔය විදිහටනෙ.”

“ඉතිං කවද්ද ඔය වැකේෂන් එක ඉවර වෙන්නේ?” කැවුම් මුණට තවත් ලොකු ප්‍රශ්නයක්...

“මෙහෙමයි කැවුමා, අපි ඒ තීරනෙත් ළමයින්ට දීල තියෙන්නෙ. වැකේෂන් එක ඇති වුණාම එයාලම අපිට කියයි. මේකේ තියෙන විශේෂත්වය තමයි කැමතිනම් නොනිමි වැකේෂන් එකක් දක්වා දික්කර ගැනීමට හැකිවීම. අපි හැමවෙලේම හිතන්නේ අපේ මේ දරුවන්ගෙ අනාගතේ කැමති නම්, විවාහවෙලා දරු සුරතල් බලලාම, විශ්වවිද්‍යාල අධ්‍යාපනේ පස්සේ කැමති දවසක අවසන් කරන්නත් බැරියැ.”

“එත් ඤාව් එයාලට සල්ලි?”

“ඇයි අනේ මහපොළ දෙන්නෙ? ඒකෙන් අවුරුද්දක්ම වුණත් ජිවත් වෙන්න බැරියැ.”

“එක අතකට ඒකත් ඇත්ත.”

“එක අතකට නෙමේ කැවුමා. හැම අතටම හොඳයි.” ඤාව්වාගේ මුණේ මල් පිපිලා වගේ.

“එක නෙවේ ඤාව්වා මේ පාර මහ කඩඉම් විභාගේ ලිව්ව ළමයින්ව කවද විතර කැම්පස්වලට ගනීද?”

“අනේ කවදා ගියාම මොකෝ, ඔයා අහල නැද්ද මිනිහෙක් ජිවිත කාලෙම, ජිවිත කාලෙ පුරාම ඉගෙන ගන්නවා කියලා. ඕනේ නම් වැඩිපුර අවුරුදු තුන හතරක් යාවි. ඒක මොකක්ද ගෙදරට වෙලා දෙමාපියන්ටත් උදව් කරගෙන, පුරන් වුණ කුඹුරක් එහෙම කොටාගෙන සල්ලිත් හොයන්න පුළුවන්නේ. පස්සේ ඩිග්‍රිය කරගන්න බැරියැ. ඔය ඔස්ට්‍රේලියාව වගේවගේ දියුණු රටවල් එහෙමත් ඒ වගේනේ කරන්නෙ.”

“එතකොට උන්ගේ හොඳ කාලෙ ඉවරවෙයිද?”

“නෑ ඤාව් අවුලක් නෑ. එතකොට මේ ළමයි පරිනත වෙලා, තරුණ වයස පහුකලාමලුනේ සාමාන්‍යයෙන් නියම මොළේ පෑදෙනවා කියන්නේ. වර්තමාන සමහර විශ්වවිද්‍යාලවල ඉන්න ගිණි ගංජා කාරයෝ දැක්කාම මට හිතට දැනෙන්නේ, අවුරුදු 25 න් විතර පස්සේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගැනීම ගැන පනතක් ගෙනාවොත් හොඳයි කියලා.”

“ඒ විතරක් නෙමේ, එතකොට ප්‍රතිඵලවල ප්‍රශ්නයක් යන්තමට උද්ගත වුණත් දෙතුන් පාරක්ම බලලා සංශෝධනය කරලා, හිතේ සතුටින් ප්‍රතිඵලය භාර ගන්න පුළුවන්නේ, කැවුම් මුණා Nonstop එකේ කියාගෙන ගියා.”

“අනේ මාරයි. ඔයා මගේ හිත කියෙවුවා නේද?” ඤාව්වා සුපුරුදු ස්වරයෙන්ම හුරතල් වුණා.
“ඒ කියන්නේ, ඔයත් මං විදිහටයි හිතන්නේ කැවුම් මුණටත් හිනා ගියා.” දෙන්නටම හරි සතුටුයි.

ඒ විතරක් නෙමේ, එතන හිටපු පැපරාසි මල්ලිටත් හිනා ගියා. පැපරා මල්ලිගේ හිනාවට කැවුම් මුණයි ඤාව්වයි හැරිලා බැලුවා.

“අනේ නෝටි පැපරාසියෙක්” ඤාව්වා කිව්වා.

පැපරා මල්ලි කට කනට යනකල්ම හිනාවුණා.

“මල්ලී ඔයා කාලද ඉන්නේ.” කැවුම් මුණා චොක්ලට් කේක් කෑල්ලක් පැපරා මල්ලිට දික්කළා.

“කෑවා නම් තමයි.ඒත්...” පැපරා මල්ලි ටිකක් බොරුවට අදිමදි කරලා කේක් කෑල්ල කන්න ගත්තා.

“අපි ගැන බොරු එහෙම දාලා ජනී ජනයාගේ හිත විතරක් රිද්දන්න එපා.” කැවුම් මුණා විහිළුවට වගේ කිව්වා.

“අපි කන්න දුන්න ඇත හපා කන අය නෙමෙයි අය්යෝ” පැපරා මල්ලි හරිම ලැජ්ජාවෙන් කිව්වා.

අනේ බොරුවට ජනී ජනයා දැඟලුවට ඤාව් ඇමැතියි කැවුමා ඇමතියි කොච්චර චාම්ද, අහිංසකද? ඒ දෙන්නට විරුද්ධ වුණොත් මට පව් පිරෙයි. අනිත් එක කේතුමතී නුවර ටෙලි නාලිකාවලවත් මේ දෙන්නට බනින්නෙත් නෑනේ. එකෙනුත් තේරෙන්නේ මෙයාලගේ අහිංසකකම. පැපර මල්ලි හිතුවා.
හැබැයි ඇත්තටම ඤාව්වයි කැවුම් මුණයි ගැන විශ්ප විජ්ජාල ළමයින්ගේ හද පත්ලෙන්ම බුර බුරා නැගෙන ආදර ගෞරවය වැඩි කරන්න කැමති හින්දා පැපර මල්ලි සිද්ධිය ඒ හැටියෙන්ම ලියලා දැම්මා.

-මොරටු සරසවි ශිෂ්‍යාවක්‍--