පෞද්ගලික විශ්ව විද්‍යාල භූමිකාව මෑතකදී අප ඉදිරිපිට රඟ දෙන්නට සමත් වන්නේ මහත් ආන්දෝලනාත්මක වටපිටාවක් ඇතිකරමින්ය. අයෙක් ඒ මත ‘ආශ්චර්යය’ මවන්නට උත්සාහ ගනියි. අයෙක් එය නිදහස් අධ්‍යාපනය බිලිගන්නා ‘යක්ෂයෙකු’ කරයි. අයෙක් ‘වර්ධනයද’ තවත් අයෙක් මර්ධනයද කතා කරයි. මෙය සටන් පාඨයක් වන්නට පටන් ගන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුලින් පැන ආ විරෝධය හා ඒ හා බැදුනු ඒකරාශී වීම් තුලය. මෑත අවධිය වන විට පෞද්ගලික විශ්ව විද්‍යාල සංකල්පය ව්‍යාප්ත වීම පිලිබදව රාජ්‍ය විශ්ව විද්‍යාල තුල අස්සක් මුල්ලක් නෑරම පැතිර ගොස්ය. ඊට රාජ්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විරෝධය දක්වන්නේ, එය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ හා නිදහස් අධ්‍යාපනයේ විනාශය ඒ තුලින් ජනිත වේ යැයි හෝ එම ප්‍රතිපත්ති විනාශය කරා ගෙන යයි යන අදහස් පෙරදැරිවය. රටේ ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවක් අ.පො.ස. උ. පෙල විභාගයට පෙනී සිට සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබුවත් සරසවි වරම් හිමි වන්නේ ඉතාමත් සීමිත පිරිසකටය. ඇතැම් ශිෂ්‍යයන්ට එම වරම අහිමි වන්නේ ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකිනි. නමුත් අප රටෙහි විශ්ව විද්‍යාල පාඨමාලා තුල ඇතැම් පාඨමාලා සදහා ලකුනකින් හෝ අඩු ලකුනු ප්‍රමාණයකින් සුදුසුකම් නොලබන ශිෂ්‍යයාට ඇතුලත් වීමට සිදුවන්නේ (තමන්ගේ රුචිකත්වය කෙසේ වෙතත් ) ඊට හාත්පසින්ම වෙනස් හෝ පාඨමාලා තත්වය පිලිබදව සෑහීමකට පත්විය නොහැකි පාඨමාලාවන් සදහාය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය තුල ඇති අඩුපාඩුද මේ සදහා බලපායි. කෙසේ හෝ මෙවැනි තත්වයක් තුල දක්ෂ බුද්ධිමත් බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි කොට්ඨාසයක් බවට පත්වේ. මොවුන්ට උසස් අධ්‍යාපනික වරම් ලැබීමට ඇති අයිතිය මෙන්ම රටේ බුද්ධි බලකාය තුලට හා සංවර්ධන ක්‍රියාවලිය තුලට මොවුන් යොමු කරවා ගැනීමේ වගකීමක් රජය සතුවේ. මෙවන් වටපිටාවක් තුල, මෙම ගැටළුව කොටස් 2කින් යුක්තව පිලිතුරු අපේක්ෂා කරයි. එකක් නම් එම ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියන්, තම අනාගතය සැලසුම් කිරීමට ගත යුතු පියවරයන්ය. අනෙක නම් මෙම ශිෂ්‍යයන් කෙරෙහි රජය දක්වන ක්‍රියා කලාපය හා වගකීම් සහගත ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවයය.
පලමු කාරනයේදී මෙම ශිෂ්‍ය ප්‍රජාව සතු විසදුම් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල හැරුනුකොට පවත්නා වෙනත් රාජ්‍ය උසස් අධ්‍යාපන අයතන වල අධ්‍යාපනය හැදෑරීම, දැනට තමන් සතු රැකියාවක නියුතු වීම, විදේශ රටක අධ්‍යාපනය හැදෑරීම හෝ වෙනත් විසදුම්ය. මෙහිදී අප මූලිකව කතා කල යුතු වන්නේ විදේශ අධ්‍යාපනය සදහා යොමු වන ශිෂ්‍ය ප්‍රජාව පිලිබදවයි. විදේශ රටක අධ්‍යාපනය ලබා ගැනීමේදී අප ඒ සදහා මුදල්මය වටිනාකමක් ලබා දිය යුතුය. ඒ සදහා විශාල බරපැනක් යෙදීමට ඔවුන්ගේ දෙමාපියන්ට සිදුවේ. ඔවුන් යොමුවන්නේ මුදල් ගෙවා ඉගෙනගන්නා විශ්ව විද්‍යාල හෝ වෙනත් ආයතන වලටය. ඒ තුල රටේ විශාල ධනස්කන්ධයක් විදේශ රට වලට වාර්ශිකව ඇදී යමින් පවතී. මෙම කාර්යය ශ්‍රී ලංකාව වැනි රටක සෑම අයෙකුටම දැරිය නොහැක. ආදයම් බෙදී යාමේ විෂමතාවයන් ඇති පරිසරයක් තුල, ජීවන බර දරාගෙන තම දරුවාගේ අධ්‍යාපනය සදහා විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට නොහැකි දෙමව්පියන් අතිමහත්ය. නමුත් ඔවුනගේ බුද්ධිමත් දක්ෂ දරුවන්ටද මෙම උසස් අධ්‍යාපනික අයිතීන් හිමිවිය යුතුය. නැතහොත් රටේ ධනපතීන්ගේ දරුවන් පමණක් මෙම වරප්‍රසාද හිමිකරගන්නා තත්වයක් තුල වරප්‍රසාද අහිමි වන්නා වූ ජනතාව තුලින් මතු වන විරෝධය හා අසහනය (සමාජ විෂමතාවය) රට තුල කොතරම් කාර්යයක් කරයිද යන්න දෙවරක් සිතා බැලීමට අවශ්‍ය නැත. ඉතිහාසය ඒ සදහා අවශ්‍ය තරම් සාක්ෂි සපයනු ඇත. මේ සදහා රජය යෝජනා කර ඇති ප්‍රධාන විසදුමක් ලෙස ඔවුන් දක්වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමය. ඔවුනගේ ප්‍රධාන තර්කය වන්නේ රටින් පිටත යන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරිකරගැනීම ( මීට අමතරව වලක්වාගතහැකි විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අනවශ්‍ය ලෙස රටින් පිටතට යයි. එය අධ්‍යාපනය සම්බන්ධ වූ විට සුලු ප්‍රතිශතයකි.) හා රටේ ඉතිරිවන ශිෂ්‍ය ප්‍රජාවටද විදේශ අධ්‍යාපනික වරප්‍රසාද හිමිකරදීමය. පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් හා රාජ්‍ය විශ්ව විද්‍යාල හා වෙනත් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුලත් වීමට නොහැකි සිසු පරපුර වෙනුවෙන් මෙය සුභවාදී ධනාත්මක මැදිහත්වීමක් වන්නට පුලුවන. නමුත්, විදේශීය මොඩලය අමු අමුවේම ශ්‍රී ලාංකික සමාජගත කිරීම හා එහි මුදල්මය වටිනාකම බහුතර ධනපතීන් නොවන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට උපයෝගී නොවන බව පැහැදිලිය. පෞද්ගලික විශ්ව විද්‍යාල සදහා යම් ප්‍රතිශතයකට ඇතුල් වීමේදී සහ ශිෂ්‍යත්ව හෝ වෙන යම් ක්‍රම යොදා ඇති බව කීවද මෙම පනතේ විනිවිදභාවය, එමගින් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත එල්ල වන බලපෑම හා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය කෙරෙහි ඇතිවන බලපෑමද සලකා බැලිය යුතුය.
2012 ජනවාරි පාර්ලිමේන්තු ගත කිරීමට නියමිත පනතේ අඩංගු කරුණු :-
‘උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව, ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රදානය කිරීමේ පනත’ (Qualification Framework, Quality Assurance and Accreditation of Higher Educational Institutions Act) ලෙසින් හදුන්වනු ලබන නවපනත අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම උසස් අධ්‍යාපන ආයතන වල කටයුතු ‘අධීක්ෂණය හා නියාමනය සඳහා මණ්ඩලයක්’පිහිටුවීමට නියමිතය. දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල කටයුතු මෙහෙයවීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගිනි. ඉහත කී මණ්ඩලය ඊටත් ඉහලින් බලාත්මක වේදැයි විමසා බැලිය යුතුය.
ඉහත මණ්ඩලයසමාජිකයින් 11කින් සමන්විත වන අතර ඇමතිවරයා විසින් සෘජුවම 4 දෙනෙකුද නිල බලයෙන් 7දෙනෙකුද පත්වේ. ඇමතිවරයා පත්කරන 3දෙනෙක් උසස් අධ්‍යාපන ආයතනයක ( රාජ්‍ය හෝ පෞද්ගලික විය හැක) ඉහලම තනතුරු දරන අය වෙති. නිලබලයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිද විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ ( දැනට නීත්‍යානුකූල නොවන ව්‍යුහයකි) සභාපතිද ඇතුලත්ය. ඇතැම් විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පත්වන්නේ කෙසේදැයි හා දේශපාලනික ඇඟිලි ගැසීම් විශ්ව විද්‍යාල වලට අරුමයක් නොවේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිද මෙම මණ්ඩලයට ඇතුලත්ය. එම තනතුරු 2 හැරුනු විට අනෙකුත් පත්වීම් 9ම කෙසේවේදැයි ප්‍රශ්ණාර්තයක් ඉතිරිකරනු ඇත. 11න් 9ක්ම තම කාර්යභාරය කුමන න්‍යායපත්‍ර යටතේ ඉටුකරනු ඇත්ද යන්න ගැටළුවකි. එමෙන්ම ඔවුන්ගෙන් කෙනෙකු මෙහි සභාපතීත්වයද හිමිකරගැනීමට ඉඩප්‍රස්ථාව ඇත. මෙම මණ්ඩලයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වෙනුවෙන් වෙන් වූ එකම පුද්ගලයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතීත්වය පමණක් නම්, රාජ්‍ය විශ්ව විද්‍යාල පවතින දේශපාලනික, ආර්ථික රටාව තුල සුරැකීමට ඔහු/ඇය විශ්මකර්ම ඉදිරිපත්කරන්නෙකුගේ භූමිකාව ඉටුකල යුතුය.
යෝජිත මණ්ඩලයේ කාර්යභාරයන් අතර උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මකභාවය නියාමනය කිරීම, එම ආයතන පිලිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම, විවිධ අධ්‍යාපනික ආයතනවල සුදුසුකම් සංසන්දනය කිරීම, විදේශ උපාධි/ ඩිප්ලෝමා පිලිගැනීම ආදිය වේ.
රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇති ගුණාත්මකභාවය පරීක්ෂාකරන්නේද මෙම මණ්ඩලය මගිනි. මුදල්මය වටිනාකම් පමණක් ඇති පාඨමාලා මේ අනුව ඉදිරියට පවතිනු ඇත. රටක සංස්කෘතිය, අනන්‍යතාවය සුරකින දේශීය චින්තකයන් මේ අනුව රටට දායාද නොවනු ඇත. සංස්කෘත, පාලි , පුරාවිද්‍යාව , ඉතිහාසය වැනි විෂය පථයන් මගින් විදේශ/ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ප්‍රතිලාභයක් අයත් නොවන්නේ නම් ඒවාට කුමක් වන්නේදැයි යන්න අමුතුවෙන් කියාදිය යුතු නොවේ. එවිට ශ්‍රී ලාංකික ප්‍රෞඪ ජාතිය , අතීත අභිමානයක් , තාක්ෂණික ශිල්ප දේශීය දැනුම ගැන විශේෂඥයන් නොව අල්ප මාත්‍රයක ඇහුම්කන්දෙන්නෙකුද සොයා ගත හැකිවේද?
වෘත්තීය ආයතන නියෝජිතයන් ලෙස වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තීන් පමණක් තෝරා ගැනීම අනෙකුත් වෘත්තීන් වලට සිදුවන අසාධාරනයකි. එය හුදෙක් මුදල්මය වටිනාකම් මත දිවෙන පාඨමාලා සඳහා පමණක් ඉණිමන් බැඳීමකි. ( මෙම කාරණා සම්බන්ධයෙන් යෙදෙන පාසල් අධ්‍යාපන පනතක සංශෝධන ගැනද ප්‍රතිපත්ති සැකසෙමින් ඇත.)
මණ්ඩලයට එයටම වෙන්වූ අරමුදලක් පවත්වාගෙන යා හැකි අතර එයට පාර්ලිමේන්තුව මගින්ද, ශ්‍රී ලංකාවෙන් හෝ පිටතින් ආධාර හෝ ණය වශයෙන්ද , මණ්ඩලය මගින් සපයන සේවා මගින්ද මුදල් ලැබෙනු ඇත. අරමුදලේ මුදල් ආයෝජනය කිරීමටද මණ්ඩලයට අයත් නිශ්චල හෝ චංචල දේපල ( විශ්ව විද්‍යාල සතු භෞතික හෝ මානව සම්පත්) බදු දීමට , උකස් කිරීමට හෝ විකිනීමට බලය ඇත. මීට ප්‍රථමයෙන් මෙම පෞද්ගලික ආයතන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇත. මෙය එම පනත හෝ ආයෝජන මණ්ඩල පනත මගින් හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ඉටුකරවා ගැනීමට අසීරු වූ බොහෝ දේ මෙම පනත මගින් ඉටු කරවා ගැනීමට යත්න දැරීමකි.
මෙම පනතින් යෝජිත අනෙක් ප්‍රධාන කරුන වන්නේ .රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසමක්. (Council for Non-State Higher Educational Institutions) පිහිටුවීමයි. උසස් අධ්‍යාපනය සැපයීමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන ලියාපදිංචිය, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය ධෛර්යමත් කිරීම, දියුණු කිරීම හා එයට ආධාර සැපයීම , අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදි රජයට උපදෙස් දීම මෙහි කාර්යභාරයන් වනුඇත.
මෙහි සාමාජික සංඛ්‍යාව 13කි. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියෝජනය කරමින් 2කුත් වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකරන ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගත් ආයතන වලින් එක් අයෙකු බැගින් 3ක් , ඇමතිවරයා විසින් නියෝජිතයන් 7ක් අයත්ය. එම 7දෙනා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා නිල බලයෙන් පත් වන 6ක් අඩංගු වේ.
මෙම මණ්ඩල, කොමිසම් හෝ ආයතන වල ව්‍යුහය හා න්‍යායපත්‍රයන් කුමන ආකාරයේ වේද එමගින් අප රටෙහි අධ්‍යාපන ප්‍රතිපත්ති හා එහි පෝෂිතයන් කුමන න්‍යායපත්‍ර යටතේ හැඩගැසෙන්නේද යන්න විමසා බැලිය යුතුය. එය වෙනත් රටක අධ්‍යාපන ක්‍රමයක් ආනයනය කිරීමක්, අත්හදා බැලීමක් පවා විය හැක. දේශීය අධ්‍යාපනයට හා චින්තනයට කුමකින් කුමක් සිදුවේද? උසස් අධ්‍යාපන ඇමතිතුමා පවසන පරිදි රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල සමග තරඟයක නියැලෙනු අතර එමගින් ගුණාත්මකභාවය ඉහලයනු ඇත. තරඟයක නියැලෙනු තබා කෙලින් සිටගැනීමටවත් නොහැකි රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියක් අපට හිමිකල අදූරදර්ශී දේශපාලනික නායකත්වය එම තරගයට යාමට සුදුසු වටපිටාවක් අපට ලබාදෙන්නේනම් මැනවි. ඉන්පසු ඕනෑම තරගයකට ශ්‍රී ලාංකික දරුවන් සුදුසු වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට මුදල් ගෝනි ගණන් වැය කරමින් පෝෂණය වන පෞද්ගලික විශ්ව විද්‍යාල හා අන්ත අසරණ දුප්පත් වූ රාජ්‍ය විශ්ව විද්‍යාල එක මට්ටමේ තබා සැසඳීම කිසිසේත්ම කල නොහැක. එය ඇමතිතුමාගේ ටෙලිකොම් දුරකතන උදාහරණය වන අලෙවි කළ හැකි භාණ්ඩයක් ලෙස අධ්‍යාපනයද සිතා සිටින්නේ නම් එය මුලාවකි. විදේශ රටවල පවත්නා පෞද්ගලික විශ්ව විද්‍යාලද මුලුමනින්ම ලාභය පදනම් කරගත් ඒවා නොවේ. එහෙයින් එම සිල්ලර වෙලඳාම ප්‍රායෝගික නොවන බව තේරුම් ගත යුතුය.
කෙසේ හෝ මෙම පනත එලඹෙන ජනවාරියේ හෝ නුදුරු දිනක පාර්ලිමේන්තුගත වනු ඇත. එය හොඳ හෝ නරක හෝ අත උස්සවා සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකිවේවි. මන්ද 2/3 බහුතරය ඔවුන් සමග බැවිනි. නමුත් මම ඔබට මතක් කර දෙන්නේ, 1981දී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ( දැන් රාගම වෛද්‍ය පීඨය - කැලණිය වි.වි.) පිහිටුවනු ලැබූ අවස්ථාවේ 5/6ක ව්‍යවස්ථාදායක බලය අභිබවමින් මහජනබලය නැගී සිටියාක් මෙන් මෙම අසීලාචාර පනත මගින් නිදහස් අධ්‍යාපනය ඉහලම අවස්ථාව වන රාජ්‍ය විශ්ව විද්‍යාල රැක ගැනීම සඳහා නැගෙන රාවයට ශක්තිය දිරිය ලබා දෙමින් විචාරවත් අධ්‍යාපනික ක්‍රමයකට රට යොමු කරමු යන්නයි. නිදහස් අධ්‍යාපනික රටාව තුල උපරිම ඵල නෙලා ඇති ඔබ මේ සඳහා ඔබගේ බුද්ධිය මෙහෙයවීමට කාරුණික වන්න. එය ශ්‍රී ලාංකික ජාතිය ඔබ ඉදිරියේ තබා ඇති වගකීමයි.
(අන්තර්ජාලය, පුවත්පත්, පුද්ගල සම්බන්ධතා මෙම ලිපිය සැකසීමේදී උපයෝගී කරගන්නා ලදී)
සකස් කලේ : Mora E-Union වෙනුවෙන් චතුර ගණිමුල්ල.