Tuesday, August 28, 2012

බුද්ධිමය සංවාද



දැන් හැමදේම උඩු යටිකුරු වෙලා. හීන පේන්නෙත් කණපිටට. නිරායාසයෙන්ම මගේ අහිංසක හිත ඇදිලා ගියේ ඊයේ දවාලෙ මං දැක්ක පිස්සු හැදිලා සඳ බොඳවෙන ජාතියේ චාම් හීනෙකට.
මී හරක් ජෝඩුවක්‌ සුපර් මාකට් එකක ඉඳගෙන කතා කරනවා.

“මචෝ, මේ දවස්වල රසම රස කෑම ජාතිය මොකක්ද එක මී හරකෙක් අහපි.”

“ම්හ්, අධ්‍යාපනේ තමා රසම, එකෙත් ජාතිම කොටස තම රිසල්ට් කියන්නේ, මං ආසම ඒ හරියට.”

“මාත් ඕක අහල තියනවා. ඇත්තම කියපං බං පුන්නක්කුවලටත්  වඩා පට්ටද?” පලවෙනි මී හරකා අනිත් එකාගෙන් අපහු අහනවා.

“අනේ මචෝ, මට හරි ආසයි මැරෙන්න කලින් ඇමතියෙක් වෙන්න”

“ඉතින් ආණ්ඩුවෙන් හරි විපක්සෙන් හරි නාම යෝජනා දුන්නොත් හරිනේ”

“එත් අනේ ජනී ජනයා අපට ඡන්දෙ දෙයිද?”

මේ ප්‍රශ්නෙට පළවෙනි මී හරකා තප්පුලලා හිනාවුණා.

“මොහ්, මොහ්, මොහ්”

“අනේ මැට්ටෝ කතා සාප්පුවේ ඉන්නෙත් අපේම උන්නේ. අපි දෙන්නත් එතෙන්ට වැඩි නෑ. ජනී ජනයා අකමැති උනොත් අපි අර ලිස්ට් එකෙන්වත් යමුකො”

“නායක වෘෂභ රාජ කැමති වෙයිද?”

“එයාට ඕවා ගාණක් නෑ බං, අධ්‍යපනෙත් ඇඳගෙන නානවනෙ” එක මී හරකෙක් කිව්වා.

“අපරාදේ කන්න තියන එක” අනිත් හරකා බොහොම දුකින් කිව්වා.

“මේ දවස්වල රස්නෙ හින්ද වෙන්න ඇති”

ඔන්න එතකොටම මට උඩ ගිහින් ඇහැරුණා. වෙලාව අමුම අමු දවල් දොළහයි. මං නිව්ස් දැම්මා. ස්ට්‍රයික් එක ගැන වගක්වත් නෑ. Z score ගැන හාවක්හුවක් නෑ. ප්‍රවෘත්ති මුල ඉඳලා අගටම මල්මාලා දාලා හිනාවෙන දර්ශන, මුල්ගල් තැබීම්, රගර් මැච්.....

“ඇත්තටම ඇයි දන්නෑ නේද පච පෙට්ටියේ ඔය ඉස්ට්‍රයික් ගැන යන්නේ නැත්තේ” මී හරකෙක් ආයෙත් අහපි.

“පච පෙට්ටිවල, පත්තර කඩදාසිවල ලියන්න තරම් අධ්‍යාපනයත් ඉතුරු වෙලා නෑලු බං. දැන් හැමෝම කාලා ඉවරලු ඒක.”

“එතකොට ඔය හුචැස් අධ්‍යපනෙත් අපේ වෘෂභරාජලා කාලා දාලාද?”

“කාලා ඉවරමත් නෑලු, අපේ ජෝඩුවක් ඒක අනනව කියලා තමා ආරංචි.”

“කතා සාප්පුවේ අය හැම වගකිමකින්ම නිදහස් බං, සල්ලිත් ලැබෙනවා, පිටරට යන්නත් පුළුවන්.”

“ඒක නෙමේ හරිම ගිරිස්මයි කූල් ඩ්‍රින්ක් එකක්වත් බොමුකෝ.” එක මී හරකෙක්යෝජනා කළා.

“බැහැ මෙයා බිල් ඇමති පැය තුනහමාරකට විතරක් බලේ නැති කරලනේ.”

“අර මොකද?”

“විෂ්ප විද්‍යාල ළමයි අයිස් පැකට් බීලා ලෙඩ වෙනවලු.අනිත් ඒක හැමදාම වැඩ කරන මිනිස්සුන්ට පැය තුනක විරාමයක් දවසකට ලබා දෙන්නලු. උතුම් පරමාර්ථයක් එහෙම නේද? ඒ විතරක් නෙමේ අර මහ විභාග ලියන ළමයි වැඩිපුර පාඩම් කරලා ලෙඩවෙයි කියලා බල ඇමතිට බයයිලු.”

“ඇත්ත, ඇත්ත රට සංවර්ධනයට ශ්‍රම බලකාය ලෙඩ නොවී ඉන්න එපායැ”

“අනේ බලන්න කතා සාප්පුවේ අය මිනිස්සු ගැන ගොඩාරියක් හිතනවා. විශේෂයෙන්ම ළමයි ගැන.”

“ඒක හරි ළමයි නම් හරිම වාසනාවන්තයි. ආයෙත් විෂ්ප විද්‍යාල වලට ළමයි ගද්දි ඩබොල් බැජ් ගන්නවා කියලා තමා ආරංචිය.. ”

“එතකොට ඒවා ඇතුලෙ ඉඩකඩ ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැද්ද?”

“ආයෙ පිස්සුවක් ඇතැ , කතා සාප්පුවෙ අය මොළකාරයෝ. ඔය ඩබොල් බැච් ගන්න තව අවුරුදු පහක්වත් යනවා. එතකොට බඳින අය බැඳලා, රට යන අය රට ගිහින් මැරෙන අය මැරිලා ...” එක මී හරකෙක් කියාගෙන ගියා.

“එතකොට?”

“ප්‍රතිඵලවලින් වගේම සොබාවික වරණයෙන් තේරෙන අපේ දරුවො ටිකක් විෂ්ප විද්‍යාලවලට යයි.”

“ආ මට තේරුණා, මාරයිනේ. සොබාදහමට අනුව...” අනිත් මී හරකටත් මාර හැපි.

“එතකොට ඔය විෂ්ප විද්‍යාලවල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නෙ?” එක මී හරකෙක් බැරෑරුම්ව ඇහුවා.

“අය්යෝ, එතන ප්‍රශ්නයක් නෑ. බොහෝම පැහැදිලි පිළිතුරක් විතරයි තියෙන්නේ.”අනිත් මී හරකා බොහෝම සැහැල්ලුවෙන් කිව්වා.

“පිළිතුර...?” ඒ මොකක්ද?

“පිළිතුර තමා කාලය.”

“ඒ කිව්වේ?”

“එපා වුණාම හැමෝටම ස්ට්‍රයික් එක කාලයක් එක්කම නැතිවෙලා යයි”

“එපා වුණේ නැත්තම්???”

“එහෙම වුණොත් කාලය විතරක් යයි”

“එතකොට???”

“හා හා වැඩිපුර ප්‍රශ්න අහන්න එපා ඕනෑවට වඩා ප්‍රශ්න ගැන හිතුවාම උමතු වෙනවා කියල බුදුබනෙත් තියනවලු.”

“ඒ වුණාට අප්පා...”

“අනේ මෝඩ ගොනෝ, ගොනෙක් වුණාට උම්බෑ කියන්න එපා” එක මී හරකෙක් කියනවා.

උඹත් ගොනෙක් නෙ ඉතින් “මොහ් මොහ් මොහ්” අනිත් මී හරකත් හිනාවුණා.

“ඔව් ඉතින් කෑගහන්න එපා...”

මී හරක් දෙන්නම නිහඬ වුණා. දැන් දෙන්නම කතා සාප්පුව පැත්තට ඇදෙනවා.

මහ මැතිවරණය ඇරඹේ. මම අපහු උඩ ගිහින් ඇහැරුණා. එතකොටම විදුලියත් විසන්දි වුණා. ආ ලයිට් කපලා. මම පුටුවෙම තව ටිකක් ඇහැපියා ගත්තා, කව්රු හරි මාව නැගිට්ටවනකම්!!!

-මොරටු සරසවි සිසුවෙක්-

No comments:

Post a Comment