Saturday, March 3, 2012

අඛණ්ඩ වැඩ වර්ජනේ.................


ඉගෙනීම පමණක්වු අපගේ විශ්වවිද්‍යාල ජිවිතයට නිවාඩුවක් විවේකයක් යනු සිතෙහි ඇති පීඩනය නිවා ගැනීමට මහඟු අවස්ථාවකි. එහෙයින් අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයට සුදානම්වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අපිද නිවාඩුවක් ලබා ගැනීම සඳහා සුදානම් වුනෙමු. සමහරුන් ඔවුන්ගේ ඇදුම් පොදිගසා ගම්බිම් කරා යෑමට සුදානම් විය. තවකෙක් මඟහැරුණු දේශන වල සටහන් සොයන්නට විය. තවකෙක් නිවාඩුපාඩුවේ තමන්ගේ සයනය සොයා වාර්තා කරන්නට විය. මේ සා වූ වැඩ අස්සේ අපේ බ්ලොග් එකට ලිපියක් ලිව්වා නම් හොඳයි කියා මට සිතින. ලිපිය ලියා අවසන් වනවාත් සමඟ අඛණ්ඩ වැඩ වර්ජනය දවසින් අවසන් විය. කරන්නට දෙයක් නැත. අඛණ්ඩ වැඩ වර්ජනය තවමත් අඛණ්ඩ යැයි සිතමින් මෙය කියවන්න....................................


                               මේ දවස් වල දඩෝරියා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය. ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුයි. බඩෙන් කාලක්වත් පිරෙන්නට ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැති නිසා විශ්වවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ වෙනදා මෙන් කවද්ද බලන්නට දඩෝරිය නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.

මුලින්ම හම්බුනේ ගහක් යටට් වී සාන්ත දාන්ත හීතල පිපිඤ්ඤා ගෙඩියක් මෙන් නිසොල්මනේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. දඩෝරියා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය.

"ලෙක්චර්ස් නැති නිසා හරි පාඩුයි නේද අයියෙ?"

"පිස්සුද ඕයි?" සිසුව නිකන් දාහට අරන් නිකම්ම දුන්න ගානට මැලවිලාය.

"එහෙනම් මෙච්චර දුකෙන් ඉන්නෙ??" දඩෝරියාටත් ඕන නැති කුනු ගොඩක් නැත.

"ලෙක්චර් තිබුනත් අපට හරියකට තේරෙන්නෑනෙ ඒ කියන මල විකර.ඒ උනත් මාසයක් ගානෙ හම්බුන 2500ත් මාස දෙකකින් හම්බුනෙ නැතුවහම අපි කොහොමද කාල ඇඳල ජීවත් වෙන්නෙ ඕයි?" කොල්ල ඉකි ගගහා අඬන්නට විය.

"මැතිතුමාට වත් කියල බැලුවෙ නැද්ද අයියෙ?

"පාහර බැල්ලිගෙ............"කොල්ලා බැන්නේ ඇමති තුමාටද ,තමාටද කියා හරි හැටි නොතේරුන නමුත් කොල්ලාට නහුටෙට තද වුන බව දැනගත් දඩෝරිය වචන පිටවෙනකොටම සතර පයට වෙර දී දුව ගොස් staff room එක පැත්තෙන් හිට ගත්තේය.

"එයාලට විතරක් පඩි වැඩි කරල හරි යනවද? අපි මේවට මොකුත් නොකරන එකමයි වැරදි.”
 "ඒකනෙ මෙයා, මම නම් කියන්නෙ එයාලට පඩි වැඩි කලොත් අපිත් ආයෙත් පටන් ගන්න ඕන ස්ට්‍රයික් එකක් හා නැද්ද?"
"ඒකනෙ, එයාලට ඔය කියන තරම් අග හිඟ නෑ අනේ.බොරුවටනේ ස්ට්‍රයික් කරන්නේ."

අන්තෝ ජටා බහී ජටා කිව්වලු. තව මාස ගානකට හරියට කෑම වේලක් ලැබෙන පාටක් පේන්නට නැති බැවින් දඩෝරියා හෙමිහිට එතනින් ලිස්සා ගියේය.

Work Shop එක පැත්තේ ලී ඉරන සද්දයක්වත් නැති බැවින් Instructorsලා Research එකක්වත් කරනවාද බලන්නට දඩෝරිය ඒ පැත්තට හොම්බ දැම්මේය.

කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු.ඒ කට්ටිය ජනෙල් දොරවල් හොඳටෝම ඇරගෙන කුනු කෙල පෙරාගෙන නිදිය.

"එපා......එපා......එපා......"බඩ තඩි කලු මිටි අන්කල් කාරයෙක් දැකපු හීනයකට හොඳටම බය වී කෑ ගහ ගෙන නැගිට්ටේ දඩෝරියා එතනින් කැපෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය.

"නරක හීනයක්වත් දැක්කද?" බල්ලෙක් වුනත් කරදරයකදී අහක බලාගෙන යාම හොඳ නැති නිසා දඩෝරියා ඇසුවේය.

"මහ භයානක එකක්. විශ්වවිද්‍යාල සේරගෙම ඉන්න ළමයි පාරට බැහැල මන්දිරේට දුවගෙන ගියා. මැතිතුමායි ඇමතිතුමායි දෙන්නවම අල්ලගෙන ගිහින් ගෝල්ෆේස් එක ගාවින් මුහුදට තල්ලු කරන්න හැදුවනෙ."

"පව් අනේ, අසරණ මහ ඇමතිතුමා. අංකල් ඒකද බය වුනේ?"

"නෑ බන්, එතකොටම මහ ඇමති තුමා කිව්වනෙ කියන ඕන දෙයක් දෙන්නම් මාව මුහුදට දාන්න එපා කියල."

අනෙක් පැත්තට හැරුනු බුවා නැවතත් ගොරවමින් නිදාගන්නට වූයෙන් දඩෝරියා පාරට බැස්සේ මැතිතුමාගේ ගෙවල් පැත්තට කිට්ටු කරන්නට හිතාගෙනය.

බරාස් ගා වැටුන බ්‍රේක් පාරක් නිසා උතුර දකුණ මාරු වූ දඩෝරියා වටපිට බැලුවේ බලු වෑන් එකවත් ආවාද කියලාය.මේ දවස්වල සීසන් එක නිසා බලු වෑන් එකක් වටේ කැරකෙන බව කිව්වේ අල්ලපු වැටේ කන් කොටා ය.මොනවා උනත් විශ්වවිද්‍යාලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලොකු සර් විද්‍යාලෙ හිටි හැම බල්ලෙක්ටම පිස්සු බලු බේත් විද්දේ ගිය සතියේය.මොනවා උනත් උන්දෑ රත්තරං මනුස්සයාය.

නැවතුන ඉන්ටර්කූලර් එකේ වීදුරුව පාත් වී ලොකු සර්ගෙ පින් පාට මූන එලියට ආවේය.

“දඩෝරියා කොහෙටද යන්නේ?”

“මැතිතුමා හම්බෙන්න කියලා සර්”

“නැගපන්. නැගපන්. මාත් මේ යන්නෙ ඒ පැත්තෙ”

 “උඹ මොකද ඒ පැත්තේ යන්නේ?” ලොකු සර් ඇහුවේ මූණ දෙල් කරගෙනය.

“මේ දවස්වල කන්න බොන්න හරි හිගයි සර්.” දඩෝරියා නගුටෙන් ටයන්න ගසා ඒ මත වාඩි උණේය.

“උඹ බය වෙන්නෙපා . මැතිතුමා අලුතෙන් විශ්වවිද්‍යාල වගයක් හදන්න යනවනේ. එතුමා කිවුවා මටත් එකක් දෙන්නම් කියල. එතකොට මම උඹව එහෙට එක්කන් යන්නම්කෝ. එතකොට මේ වගේ ජරාව කන්න ඕන නෑ.”

“ඔව්  ඉතින් ඔබතුමාල මේ කන විදිහට කාගෙන ‍කාගෙන ගියොත් අපි‍ට කන්න කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ තමා.” දඩෝරියා ඇඟට පතට නොදැනි කියා දැම්මේය.

“හැමදාම මෙහෙම ස්ට්‍රයික් කරන එකත් හරි නෑ නේද සර්.”

“මේකනෙ බං. ස්ට්‍රයික් කරනකන් විශ්වවිද්‍යාල වහල තියනවනෙ. එතකොට අපට පුලුවන්නෙ පෞද්ගලික උපාධි කඩේකට ගිහිල්ල මොනා හරි උගන්නල කීයක් හරි හොයාගන්න. අනෙක මැතිතුමාම කිවුවනෙ එහෙම කලාට වරදක් නෑ කියල”

මේ කතා අහගෙන තවදුරටත් කාර් එකේ යාම එපා වුණ දඩෝරියා කොල්ලුපිටිය හන්දියෙන් පාරට පැන්නේය.

A/C නිසා කරවුන මොළේ බුරුල් වෙන්නට හච්චිං දෙක තුනක් අරින කොටම මහඇමතිතුමා මතක් උන නිසා ‍දඩොරියා අරලිය ගහ මන්දිරේ පැත්තට හැරුණේය. ලිප්ටන් වටරවුම පැත්තේ ඉඳන් එන පෙලපාලියක හඬ ඇහුන නිසා දඩෝරියා පොඩ්ඩක් නැවතුනේය.රතුරත්න මල්ලිලා බෝඩ් කෑලි උස්සගෙන වැටවල් පෙරලගෙන කෑ ගහගෙන අරලිය ගහ මන්දිරේ පැත්තට එන්නේය.ඉස්සරහින්ම ආවේ කාස රෝගියෙක් වගේ කෙට්ටුම කෙට්ටු උසම උස පොරක්ය.

"කැම්පස් වහල තියෙන එක ගැන මොකද කියන්නෙ?"

මාධ්‍යවේදියෙක් මෑන්ව වට කරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කරති.

"මේ ඡන්දෙ දවස් ටිකේ ඕක වහල තියපු එක කොච්චර දෙයක්ද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!!!"

"ඒ කිව්වෙ?"

මාධ්‍යවේදීන්ගෙ කකුල් අතරින් රිංගා ගිය දඩෝරියා ඇසුවේ ඇත්තටම ඒ කතාව නොතේරුණ නිසයි.

“ අයියෝ සිම්පල්නේ. පළවෙනි එක අපට පෝස්ටර් ටික අලවගන්න අමතර වියදමක් යන එක නතර උණා. දෙක අපට මේකෙන් ඡනදෙට හොද සටන් පාඨයක් හම්බුණා.”

මෙහෙම කියපු පොර බෝඩ් ලෑල්ලක් අරගෙන ආයෙත් පිකටින් එකට සෙට් උණා.

පිකටින් එක නිසා ඉස්සරහ දොර වහල තිබුණත් කුණු කාණුවක් දිගේ බඩගාගෙන ගිහින් මහඇමති මන්දිරේ පස්ස පැත්තෙන් මතුවෙන්න දඩෝරියට පුලුවන් උණා. දඩෝරියා යනකොට මැතිතුමයි මහ ඇමතිතුමයි දෙන්නම මන්දිරේ ඉස්සරහ පඩිපෙළ උඩට වෙලා කල්පනා කරනවා.

“ආ දඩොරියා, ළමයෙක්වත් විශ්වවිද්‍යාල දාගන්නද?”

දඩෝරියා දැක්ක ගමන්ම ඇමතිතුමා සුපුරුදු පනාව දාන ගමන්ම ඇහුවා.

“යන්න තියෙනව නම් කොච්චර එකක්ද?? ඒත් ඉතින් ඕකට ගියොත් මැරෙන්න කලින් ඕකෙන් එලියට එන්න පුලුවන් වෙයිද සර්?”

විශ්වවිද්‍යාල බල්ලට ගිය බව දන්නවා උනත් ඌ නොදන්න ගානට ඇහුවා.

“ඒකත් ඇත්ත තමා. අවුරුදු 7ක් 8ක් යනකොට උඹලා මැරිලත් තියෙයි තමා” මහ ඇමතිතුමත් උගුරෙ රැල් බුරුල් ඇරියා.

“නෑ නෑ සර්... දැන් එහෙම වෙන්නෑ.. අපි ‍‍පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවහම අවුරුදු 4ක උපාධිය තුනෙන් උනත් කරල එලියට ආවහැකිනෙ”

“අපේ කැම්පස් ආයෙ පටන් ගන්න එකක් නැද්ද සර්?” දඩෝරියා ප්‍රශ්නේ කෙලින්ම මහ ඇමතිතුමාට දැම්මා. ප්‍රශ්නේ ඇහුවා විතරයි එතුමා බිම පෙරලි පෙරලි අඩන්න වුණා.

“ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ? මම අවුරුදු 5ක් යනකන් මෙන මල යකෙක්ටවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ. අයියෝ ඇයි මට මෙහෙම කරන්නේ....? මම කොහොමද මුන්ට පඩි වැඩි කරන්නේ....?”

මහ ඇමති තුමා පොඩි එකෙක් වගේ අඬනවා,මැතිතුමා මහ ඇමති තුමාව අල්ලගෙන වත්තන් කරගත්තා.
"කිසි දේකට බය වෙන්න එපා,ලබන සතිය වෙනකොට 36%කින් පඩි වැඩි කරල, අපි රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරනවා"මැතිතුමා අභීතව සිංහ නාද කලා.

“මොකක්?????????????????”

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කළත් නුදුරු අනාගතයේ නැවතත් එන අඛණ්ඩ වැඩ වර්ජනයක පෙරනිමිති දැක දඩෝරියා නිවෙස් බලා පිටත් විය.
                                                                                                            මතු සම්බන්ධයි.............
නුවන් සුරත් එදිරිසුරිය